මූලමධ්‍යමකකාරිකාවේ නිර්වාණ සංක්ලපය Concept of Nirvana in Mulamadhyama-karika



            භාරත වර්ෂය වනාහී සහස්‍ර ගණනක් පුරා අප්‍රමාණ චින්තකයන් ගණනක් විශ්වයට දායාද කළ දේශයක වන්නේ යැ. කෙනෙකු පරයා කෙනෙකු ගේ කීර්තිය සහ බුද්ධිමහිමය පැතිරී යන මහා චින්තකයන් ඒ අතරැ ජීවත්ත් වූ හ. ඍග්වේද ඍචයන් සංගහ කළ නම නොදන්නා චින්තකයන් ද, ඉන්ද්‍ර, යම, ගාර්ගීය ඈ නාමයෙන් අප වෙත පැමිණි උපනිෂද් චින්තකයන් ද සියල්ල වසා පැතිරුණූ හින්දු සමයේ ඒකාධීකාරය සෙලවූ භෞතික වාදි චාර්කවා ද, ඒ දෙදෙනාට ම අභියෝගයක් වූ ජෛනමහාවීරයෝ ද ඒ අතර වූ හ. පසු වැ, කඩා වැටෙමින යන සනාථන ධර්මයට පණ දී නව මුහුනුවරකින් නගා සිටවූ ශ්‍රී කෘෂ්න ලෙස අප අතරට පැමිනෙන සෙල්ලක්කාර සුන්දර චින්තකයා ද සම්භාව්‍ය යුගයන් සනිටුවහන් කරන ආදි ශඞ්කරාචාර්ය ආදී පිරිස ද ඒ අතර වන්නේ යැ. මේ සියලු දෙනා විවිධාකාර දර්ශනයන් චින්තනයන් විශ්වයට මානවයාට දායාද කර ඇතැ. නුමුත් එක් අවස්ථාවක දී මේසියලු චින්තනයන් එක් පසකට වන්නා වූ සියල්ල ඉදිරියේ තනිව නැගී සිටින්නා වූ අතුල්‍ය ආගමික දර්ශනයක් භාරත වර්ශයේ බිහි විය. ඒ බුද්ධ ධර්මය යි. බුදුන් වහන්සේ මේ සියල්ලන්ට ම වඩා පුර්ණ වශයෙන් වෙනස් චිනත්නයක් ඉදිරිපත් කළහ.
            සියලු දෙනා සදාකාලික වැ පවතින්නා වූ මොක්ෂයක් වෙනුවෙන් බුද්ධිය කර්මය ධර්මය පසුපස්සේ වැටී සිටි අවධියක බුදුන් වහන්සේ පරම ශූන්‍යයක් වූ මෝකෂයක් පිළිබඳ දේශනා කළ හ. සදාතනිකත්වය සෙවූ ආනන්දය ශූන්‍ය තුළ පවතින බැව් ගම් නියම්ගම්  වැඩම කරමින් දේශනා කළ බුදුන් වහන්සේ ගේ එම දේශනාවන් ගේ මූලික හරය එක් කුඩා කෘතියක් තුළ සංග්‍රහ කිරීම අසීරු කාරණයන් වන්නේ යැ. එසෙ කිසි දින කළ නො හකි වන්නා වූ කාර්යයකි. නුමුත් ව්‍ය.ව තෙවැනි සහ සිව්වැනි සියවස් අතරැ භාරත වර්ශයේ දක්ෂිණ භාරතයේ පහළ වු බෙහෝ විට බ්‍රාහ්මණ පවුලක උපන් බව සම්ප්‍රදාය විසින් පැවසෙන එක් අද්විතීය චින්තකයෙක් එම අසීරු කාර්යය ඉටු කැරැ ඇතැ. ඒ නම් නාගර්ජුණ පාදයන්  විසින් විරචික මූලමධ්‍යමකාරිකාව යැ. බුදුන් වහන්සේ කීයේ ධර්මය දකින්නට නම් ප්‍රතීත්‍යසමුත්පාදය දැකිය යුතු බව යැ. ඉදින් කාරිකව පුරා නාගර්ජුනපාදයන් සිදු කර ඇත්තේ ප්‍රතීත්‍යසමුත්පාදය ඉදිරිපත් කිරිම යැ. ඒ නයින් මේ සමස්ත බුද්ධ ධර්මය මැ එක් කරා වූ සාර ග්‍රන්ථයක් වන්නේ යැ.
            නාගර්ජුන පාදයන් විසින් කෘත මෙම කෘතියේ ඇතුළත් ඇතැම් උක්තීන් බෞද්ද ලොක්ය තුළ අද දක්වා මැ යම් කැළඹීමක් ඇති කිරීමට සම්ත් වූවා යැ යි කීමේ වරද නැති. එයට හේතුව නම් උන්වහන්සේ විසින් බුදුසමයට ‘ශූන්‍යය‘ ශබ්දය හදුන්වා දීමත් සමග නිවන විශව්ය ඇතුළු සියල්ල මැ ශූන්‍ය බව පැවසීමත්, විශේෂයෙන් මැ නිර්වාණය සහ සංසාරය අතර වෙනසක් නැතැයි පැවසීමත් යැ. මෙම ප්‍රකාශයන් දෙක මැ දෘශ්ටිමාත්‍රාවෙන් බෞද්ධ සංක්ලපයන්ට විරුද්ධ ආකාරයක් පෙණුනත් එවැන්නක් සත්‍ය වශයෙන් කාරිකාව තුළ දක්නට නැතැ.
            නාගර්ජුන පාදයන් විසින්ඉදිරිපත කෙරෙන නිර්වාණ සංකල්පය වටහා ගැනීමට නම් මුලින් මැ උන්වහන්සේ විසින් සංසාරය පිළිබඳ දක්වන්නා වූ අදහස් පිළිබද අවධානය යොමු කළ යුතු යැ. ඒ හැරැ එකලා වැ නිර්වාණය පිළිබඳ දක්වන කරුණු දැක්වීමෙන් පමණක් එය නිවැරදි වැ වටහා ගත නො හැකැ. පළමු පරිච්ඡේදය වන ප්‍රත්‍යය පරීක්ෂාවේ දී පළමුවෙන් වටහා ගත යුතු කරුණක් වෙත අවධානය යොමු කරවන්නේ යැ. එම පරිච්ඡේදය වෙන් වැ ඇත්තේ හේතු ප්‍රත්‍ය සහ ඵල අතර ඇති සම්බනධය වෙනුවෙන් යැ. එහි දී නාගර්ජුන පාදයන් ගේ අදහස වන්නේ මේ කිසිවක් ස්ව-භාවී හෙවත් අස්තිත්වයක් ඇති පැවැත්මක් ඇති දේ නො වන බව යැ.
එයින් පසු වඩා වැදගත් වන්නා වු කරුණු පැහැදිලි කිරීමක් පහලොස්වැනි පරිච්ඡේදයේ එන්නේ යැ. එනම් ස්ව-භාව පරීක්සෂාව යි. එහි දී පැහැදලි කර ඇත්තේ මේ සමස්ත විශ්වයේ මැ ඇත්තේ කෘතක වස්තූන් බව යැ. එනම් ඒ කිසිව් ස්ව-භායක් ඇති අස්තිත්වයක් ඇති වස්තූන් නො වන බව යැ.
“න සම්භවං ස්වභාවස්‍ය යුක්ත: ප්‍රත්‍යහෙතුභි:
හේතුප්‍රත්‍යසම්භූත: ස්වභාව: කෘතකො භවෙත්“ 15.1
            මෙය උක්ත පළමු පරිච්ඡේදයේ දක්නට ඇති කොටස් සමග ගැලැපිමෙන් පැහැදිලි වන්නේ නාගර්ජුන පාදයන් විසින් සමස්තයක් ලෙස විශ්වයේ පැවැත්මක් නැති බැව් ඉදිරිපත් කර ඇති බව යැ. නුමුත් එය හුදු ශූන්‍යයක් පිළිබඳ දැක්වීමක් නො වන්නේ යැ. ඒ බව පහලොස්වැනි පරිච්ඡේදයේ අවසන් ශ්ලෝකයන් ගෙන් ඉතා පැහැදිලිව වැ ඉදිරිපත් කැරැ ඇතැ.
අස්තීති ශාස්වතග්‍රාහො නාස්තීත්‍යුච්චේදදර්ශනම්
තස්මාදස්තිත්වනාස්තිත්වෙ නාශ්‍රියතෙ විචක්ෂණ:15.10
අස්ති යද්ධි ස්වභාවෙන න තන්නාස්තීති ශාස්වතම්
නාස්තීදානීමභූත්පූර්වමිත්‍යූච්ඡෙද: ප්‍රසජ්‍යෙත. 15.11
            මෙහි දී ඇත නැත යන අන්දෙක මැ ඉවත් කෙරෙන බැව් පැහැදිලි ව ම දක්වා ඇතැ. මෙම පරිච්ඡේදයේ මැ පසවැනි ශ්ලෝකයෙන් පැවසෙන්නේ භාවයක් නැති නම් අභාවයක් වන්නේ යැ යි   කෙසේ දැක්විය හැකි ද කියා යි. එහි පැහැදිලි කිරීම 11වැනි සිලොවේ එනනේ යැ. කිසිවක් නැති වන්නෙ එය පෙර දි පැවති නිසා යැ. එය උච්ඡේදය යි. වෙසෙසින් නැති වනනේ පවතින යමකි. නුමුත් කිසිවක් පවතින්නේ නැති නම් නැති වන්න ද කිසිවක් නැතැ. එනම් නාගර්ජුනපාදයන්ට අනුව විශ්වයයනු ඇත නැත යන අන්ත දෙකට දැමිය නොහැක්කකි. මක්නිසා ද යත් එයට අස්ථිත්වයක් නැති එනිසා නාස්තිත්වයක් ද නැතැ. මෙම පැහැදිලි කිරීම නිරවාණය පිළීබද නාගර්ජුන සංකල්පය තේරුම් ගනීමට බොහෝ වැදගත් වන්නේ යැ.
            නිවන පිළිබඳ දැක්වීමේ දී මුලින් මැ එ භාවයක් වන්නේ ද අභාවයක් වන්නේ ද යන්න පිළිබද කරුණු දක්වා ඇතැ. එහි දී භාවයක් නො වන බවට ඉදිරිපත් කෙරී ඇති මුල් මැ කරුණක් වන්නේ ජරාමරණද්වය නිර්වාණයේ නැති වීම යැ. මක්නිසා ද යත් ජරාමරනයෙන් තොර වූ භාවයක් දක්නට ලැබෙන්නේ නැතැ. එයින් පසු පහත දැක්වෙන ශ්ලෝකද්වය දක්වා ඇතැ.
භාවශ්චයදි නිර්වාණං නිර්වාණං සංස්කෘතං භවෙත්
නාසංස්කෘතො හි විද්‍යෙත භාව: ක්වචන කශ්චන.25.5
භාවශ්ච යදි නිර්වාණං මනුපාදාය තත් කථම්
නිර්වාණං නානුපාදාය කශ්චිත් භාවො හි විද්‍යතෙ.25.6
මෙහි දී පැහැදිලි ව මැ නිර්වණ සංක්ලපය මග භාවයේ ඇති විසංවාදී ස්වභාවය දක්වා ඇතැ. එනම් නිර්වාණය අවශ්‍යයෙන් ම අසංස්කෘත හෙවත් අසංඛත වන්නේ යැ. එනම් කිසිදු හේතුවක් ප්‍රත්‍යයක් මගින් නිර්මාණය වුණු සෑදුණු දෙයක් නො වන්නේ යැ. නුමුත් සියලු භාවයන් එසේ සංස්කෘත වන්නේ යැ. එසේ නම් නිවන භාවයකැ යි කීම විසංවාදී වන්නේ යැ. අසංස්කෘත දෙයක් නම් භාවයක් විය නො හැකි නිසා යැ ඒ.
දෙවැනි සිලොවෙන් නිවන භාවයකැ යි කීමේ දී ඇති වන, පෙරටත් වඩා වැදගත් වූ විසංවාදීත්වයක් පෙන්වන්නේ යැ. ඒ නම් නිවන නිරපේකෂ වීම සහ භාවයන් සාපේකෂ වීම යැ. භාවයක් නම් නිරන්තරයෙන් යමක් මතැ රැදෙන්නේ යැ. යමක් මතැ නො රැදෙන්නා වූ භාවක් විද්‍යමාන වන්නේ නැතැ.  නුමුත් නිවන වනාහී කිසිදු ආකාරයකින් කිිසිවක් මතැ නො රැදෙන්නේ යැ. ඉදින් නිවන භාවයක් විය නො හැකැ.   මයින් ආචාර්යයන් පැහැදිලි කරන්නේ නිවන කිසිදු ආකාරයකින් භාවයක් විය නො හැකි බව යැ. ඒ සමග මැ නැගෙන ප්‍රශ්නය වන්නේ, එසේ නම් නිවන භාවයක් නො වන්නේ ද යන්න යි.
මෙම සංකල්පය නාගර්ජුන පාදයන් පැහැදිලි කරන ආකාරය වටහා ගැනීමට නම් උනවහන්සේ ගේ තර්ක ක්‍රමය නිවැරදි ව වටහා ගත යුතු යැ. එය හොදනි් පැහැදිලි කර ඇති තැනක් නම් පළමු පත්‍ය පරීක්ෂාවේ නමවැනි ශ්ලෝකය. මෙහි එන විධිය වනාහී කාරිකාව පුරාම භාවිත කර ඇති විධිය යි. මේ අනුව මැ යි ශූක්‍යතාව වටහා ගත යත වන්නෙත් පෙර දැක්වූ පත්‍ය හේතු සංස්කෘත අසංස්කෘත ආදිය වටහා ගත යුතු වන්නේත්. පෙර දී භාවයන් හේතූන් නිසා උපන් දෑ ලෙස දක්වා ඇතැ. දැන් ගැටලුව වන්නේ අභාව හෙවත් නැති වීමක් ද යන්න පිළිබද ව යි. ඒ විෂයේ නාගර්ජුනපාදයන් ගේ පොදු පැහැදිලි කිරීම වන්නේ,
අනුප්පත්තෙෂු ධර්මෙෂු නිරොධො නොපපද්‍යතෙ
නානංතරං අථො යුක්තං නිරුද්ධෙ ප්‍රත්‍යයාශ්ච ක: .1.9
            (පෙර දැකවූ සේ) ඇති නො වූ දෙයක් විසයෙහි නැති වීමක් ගැන පැවසීම සුදුසු නැතැ. තව ද නැති දෙයක් විෂයේ අන්‍යතර වූ ප්‍රතයයන් ගැනැ කථෘ කිරීම දු සුදුසු නැතැ. මෙයින් පළමු කොටස අපට මෙහි දී වඩා වැගත් වන්නේ යැ. එනම් පෙර දී භාවයක් නෙ වන්නේ ලෙස දැක්වූ විට එයින් මැ පැහැදිලි වන්නෙ මෙය අභාවයක් ද නො වන බව යැ.
            මක්නිසා ද යත් ආභාවයක් වන්න නම් භාවයක් පැවතිය යුතු යැ. භාවයක් නැති තැනැ කුමක් නම් අභාව විය හැකි ද? ඊනියායෙන් භවයක් නො වන්නක් අභාව යැ යි කීම මැ විසංවාදි වන්නේ යැ. ඒ තර්කය මතැ පදනම් ව යැ හත්වැනි සිලොවෙන් පහත පරිදි දක්වා ඇත්තේ.
යදි භාවො න නිර්වාණමභාව: නිං භවිෂ්‍යති
නිර්වාණං යත්‍ර භාවො න නාභාවස්තත්‍ර විද්‍යතෙ .25.7
            භාවයක් නැති තැන අභාවයක් නම් කෙසේ විය හැකි ද යනු මෙහි භාවය වන්නේ යැ. එසෙ මැ මින් පසු එන සිලොවෙන් දක්වන්නේ අභාවය දු සාපේකෂ වන බව යැ. එනම් අභාවය පවා යමක් මත පවතින්නේ යැ. අවශ්‍යයෙන් මැ අභාවය වනාහී භාවය මත පවතන්නකි. ඉදින් නිර්වාණය නිරපේකෂ වන්නේ සාපේක්ෂ වූ අභාවය නිර්වාණය වීමේ හැකියාවක් නැතැ.
            මෙයින් පසු චතුශ්කෝටිකාකාරයෙන් නිවනබාවයක් සහ අභාවයක් වේ ද යන්නත් නිවන ඒ දෙක ම නොවේ ද යන්නත් වැනි ප්‍රශ්න සදහා පිළිතුරු දීම සිදු වී ඇතැ. දහතුන්වැනි සහ දාහකරවැනි සිලොවන් ගෙන් පැහැදිලි කරනුයේ භාව සහ අභාව දෙක ම ලෙස නිවන ගැනීම පිළිබඳව යැ.
භවෙදභාවො භාවශ්ච නිර්වාණමුභයං යදි
අසංස්කෘතං ච නිර්වාණං භාවාභාවෞ ච සංස්කෘතෞ 25.13
භවෙදභාවො භාවශ්ච නිර්වාණමුභයං කථම්
න තයොඑකත්‍රාස්තිත්වං ආලොකතමසොර්යථා .25.14
            මෙහි දී පැවසෙන්නේ භාව අාව දෙක මැ සංස්කෘත වන්නේ හේතූන් ගෙන් ඇති වූයේ නම් නිවණ භාව අභාව වන්නේ නම් නිවණ දු එසේ හේතුප්‍රත්‍යයන් ගෙන් ඇති වූ දෙයක් විය යුතු බව යැ. නුමුත් නිවන එසේ නැතැ. එනයින් නිවන භාවාභාව දෙක මැ විය නො හැකැ.
            මෙහි දාහතරවැනි සිලොවෙන් යැ වඩා වැදගත් කාරණය මතු වන්නේ එනම් මෙහි ලා ආචාර්යයන් විසින් භාවිත කර ඇත්තේ විසංවාදි නියමය යි. භාවත් අභාවත් එක් වර විය නො හැකැ. එනිසා ඒ දෙක මැ නිවන යැ යි කීම අර්ථ විරහිත වන්නේ යැ.
            නාගර්ජුන පාදයන්ව මෙයින් නවතින්නේ නැතැ. නිවන භාව අභාව දෙකම වන්නේ නො වේ නම් අවශ්‍යයෙන් මැ නිවන භාවත් අභාවත් නො වන්නේ විය යතු යැ යි ප්‍රශ්නයක් නැගිය හැකි අතර එයට දු පිළිතුරු දී ඇතැ.
නෛවාභාවො නෛව භාවො නිර්වාණං යදි විද්‍යතෙ
නෛවාභාවො නෛව භාව ඉති කෙන තදජ්‍යතෙ .25.16
            මෙහි දී දැක්වෙන්නේ නිවන භාව හෝ අභාව හෝ නො වන්නෙ ලෙසට දැක්වීමටත් යමක් කරණ කොටගත යුතු බව යැ. යමක් භාවිත නො කරැ යම් මානයක් නො ගෙනැ යමකට සාපේකෂ නො කැරැ එසෙ ප්‍රකාශ කළ නො හැකැ. එනිසා එවැන්නක ප්‍රකාශ කිරීමද යුක්තිසහගත වන්නේ නැතැ. මක්නිසාද යත් නිවන කිසිවකට සාපෙක්ෂ වනනේ නැතැ. තවද පරමාර්ථ සත්‍යය නම් කිසි විටෙක වෙනත් කිසිවක් කරණ කොට ඉදරිපත් වීම නො විය හැකැ. ඒ නියන් පැහදල වන්නෙ නිවන ආබවත් අභාවත් නො වන්නේ යැ යි යන්නද ගත නො හැකි බව යැ.
            මෙයින් පසු යැ නාගර්ජුන පාදයන් ගේ වඩාත් ආන්දෝලනාත්මක සහ විශිෂ්ඨතම පැහැදිලිකිරීම ඉදිරිපත් කර ඇතතේ.
න සංසාරස්‍ය නිර්වාණාත් කිඤ්චිදස්ති විශේෂණම්
න නිර්වාණස්‍ය සංසාරාත් කිංචිදස්ති විශේෂණම්. 25.19
            මෙහිලා දැක්වන්නේ නිවනෙ සහ සසරේත් සසරේ සහ නිවනේත් කිසිදු වෙනසක් දක්නට නො ලැබෙන බව යැ. මෙය විය නො හැකි සේ මැ ධර්මවිරෝධී සංක්ලප්යක් සේ පෙනී යන්නේ නුමුත් පූර්වයේ පටන් විස්තරය පැහැදිලි වැ සම්බන්ධ කරන්නෙ නම් මේ පැහැදිලි කිරීම වඩාත් නිවැරදි මැ පැහැදිලි කිරීම බව පෙනී යන්නේ යැ.
            පෙර දී දැකවූ ලෙස සංසාරය වනාහී හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති වූ ස්ව-භාවයෙන් තොර වූ දෙයක් ලෙසට යැ. එනම් සංසාරයේ ස්ව-භාවයක් නැතැ.  උක්ත තර්කානු සාරීවැ ඒ නිසා මැ පර-භාවයක් ද විය නො හැකැ. ඒ දෙක ම හෝ ඒ දෙක ම නො වේ හො යැ යි දු කිව නො හැකැ. එසේ නම් විශ්වය මැ පරමාර්ථ වශයෙන් ස්ව-භාවයෙන් තොර වන්නේ යැ. විශ්වයේ කිසි තැනැ ‘භාවයක්‘ නො වන්නේ යැ. එනම් විශ්වය ඇති හෝ නැති හෝ ඇති නැති හෝ ඇත්තෙත් නැති නැත්තේත් නැති හෝ ලෙස ගත නො හැැකි යැ. ඒ කුමක් කීව දු එය සතය වන්නේ නැතැ. මක්නිසා ද යත් මේ සියල්ල සංස්කෘත වන නිසා යැ. එනම් හේතුප්‍රත්‍යයන් ගෙන් සෑදී ඇති නිසා යැ.
            විශ්වය පිළිබඳ මෙම පැහැදිලි කිරීමත් නිවන පිළිබද දීර්ඝව කළා වූ පැහැදිලිකිරීමත් (නුමුත්  කාරිකාවේ දී වන්නේ සංසාරය පිළීබද දීර්ඝ ව දක්වා නිවණ පිළිබඳ කටියෙන් දැක්වීමකි. ඒ නිසා යැ කෙටි ශ්ලෝකයකින් මේ බව සනාථ වන සේ ඉදිරිපත් කර ඇත්තේ සහ ගැටලුවක් නො වන්නේ.) අතර කසිදු වෙනසක් දක්නට නැතැ. සියමු ම වූ වෙනසක් හෝ නැතැ. නිවන ශූන්‍ය වන්නේ යැ. සංසාරය ද ශූන්‍ය වන්නේ යැ.
            ඒන නිසා යැ නිවන පිළිබද දක්වීමේ දී නිවන විනාශ වූවක් හෝ පැමිණි දෙයක්හෝ උච්ඡේදයක් හෝ, ශාශ්වතයක් හෝ නො වන අතර නැති වී හෝ ඇති වී නැති බව දක්වා ඇත්තේ.
අප්‍රහීණමසම්ප්‍රාප්තමනුච්ඡින්නමශෘස්වතම්
අනිරුද්ධමනුත්පන්නමෙතන්නිර්වාණමුච්‍යෙත. 25.3
මෙයින් පැහැදිලි වන්නේ නාගර්ජුන පදයන්ගෙ නිර්වාණ සංකල්පය වනාහී කිසිදු ආකාරයක සාපේකෂතවක් මත නො පවතින්නා වූ දෙයක් වන බව යැ. එසේ මැ මෙහි ඇති විහේෂත්වය නම නිර්වාණය පරම යථාර්ථය බව මෙහි දී ඉතා හොඳින් පැහැදිලි වීම යි. ථෙරවාදයේ දී කිසිදු අවස්ථාවක සියල්ල නැති කර ප්‍රහීන කර ප්‍රාප්ත කරගන්නා වූ නිර්වාණය සමස්තය තුළ පරම යාථාර්ථය වන ආකාරය දක්වා නැතැ. ඒ පහැදිලි කිරීම් මගින් එවැන්නක් ගම්‍ය වන්නේ දැ නැතැ. නුමුත් ආචාර්යයන් ගේ පැහැදිලි කිරීමේ දී එය නිරායාසයෙන් මැ පැහැදිලි වන්නේ යැ.
ඔබවහන්සේ ගේ පැහැදිලි කිරීම වඩා වැදගත් වන්නෙ ප්‍රාප්ත කිරීමක් නො වන බැව් දක්වා තිබීම යැ. මක්නිසා ද යත් පරම යථාර්ථය ප්‍රාප්ත කිරීමක් විය නො හැකැ. තව ද කිසිදු විටක දී පරම යථාර්ත්‍ය නම් ගොඩනගා ගත නො හැකි ය. විය හැක්කේ යථාර්ථය තේරමු ගැනීම පමණි. නාගර්ජුන පාදයන් විසින් විවරණය කරන්නා වූ නිර්වාණය එවැන්නකි. එහි ප්‍රපාත් කිරීමට යමක් නැත. ගොඩනගාගත හැකි කිසිවක් ද නැතැ. සියල්ල ඉවත් කල පසු තමා තුළ පවතින භාවයක් ද එහි නැතැ. එය හුදු යථාර්ථයක් පමණක් මැ වන්නේ යැ. වෙනත් ශබ්දයන් ගෙන් දක්වා නම් නාගර්ජුන පාදයන් ගේ නිවන අද්වෛත වන්නෙ යැ. නිවන හැරැ කිසිවක් නැතැ. ඇත්තේ නිවන පමණි. අන් සියල්ල මායාමය වන්නේ යැ.

හෙළපඬිවත හෙවත් පඬිහෙලුවත

සදෙව් ලොව දැන් දැන් පහන් දල්වන්නේ නැති, එතැන් හි උන් හට රෑකලක් අවැසි තැනැ දෙව්ලොවින් මෙසිරිලක වන්නේ යම් පසෙක දැ එපසැ පහණ බිතෙක් පිහිටවෙන්නේ යැ. මක් නිසා දැ යත්, දැන් දැන් මෙසිරිලකැ නිපන් පහාපඬිරුවන් කෙරෙන් විහිදෙන්නා වූ අනවරත රශ්ම්‍යාලෝකකදම්භයන් ගෙන් අහෝරාත්‍රයේ එකපැහැරැ සදෙව්ලෝ ආලෝක වන නිසා යැ.
නා නා කම් බෙලෙන් සදෙව්ලෝ ව්චිත්‍රේශ්වරාඪ්‍යෛශ්චර්‍යභූතවිමානයන් ගේ පහළ වැ රන්දියේ හි ලා ගත් විදුරුමිණක් සා වූ සුරඟනුන් කෙළගණනින් පිරිවරා දිවා කලැ  නොයෙක නළුකමින් මත්වැ ගඳඹුන් සරින් සතැපී කල් ඇරැ, දිනිඳු යම් කලැ තම දාහ නිවාලනු වස් සිඳුදූ තුනු සිරියේ ගිලී යන්නේ යම් සේ ද එකලැ සදෙව් ලෙව් විමන් හි නිපන් දාපටන් සුවඳමලින් හොබවන්නාවූ සඳකත් පෙරී එන්නා සා තුනු කතින් බැබලෙන්නා වූ දෙව්පුත්හු හේමදිය තඩාගයේ ගිලී යන්නා වූ සඳමඬලක සිරි පාමින් සුරඟනන් සිදඟනන් මැදැ මද වැඩී වැදැ සසඟිමින් සැතැපෙමින් සීත් කීමෙන් සිසීමෙන් මැ රෑ ගෙවත්. පෙරැ එසේ වී මුත් මෙකලැ හෙළදිවින් ගලනා රැස්කඳින් රැයක් නම් නො වන්නේ දෙව්ලෝ අගැ නැගූ පහණ බිතැ හෙවනේ වැදී යන්තමින් නිදි ලබන්නෝ යැ.
මේ පීඩා අද වැරෙන්නේ යැ අද නම් වැරෙන්නේ යැ යි සිත සිතා ඇම්මුව මුත් දිනෙන් දින වැඩි මුත් අඩුවක් නොවන්නේ මැ යි. ඉදින්, දෙව්ලෝ සියල් දෙව් පිරිස මේ මහා විපතේ පවත අමාරස පුරවා ලූ රන් කෙණ්ඩියක මුව සේ  වූ  බඹුන් සවනැ හෙළා කෙණ්ඩියේ ශුණ්ඩාව සදිසි වූ පියුම් මුඛයෙන් අමා දහරක් ගලන්නා සදිසි පිළිතුරු අපේක්ෂාවෙන් උපේක්ෂා කරන්නට වී යැ. පද්මාසනයාණෝ දැ මේ විපතින් සෝපත් වැ සරසවි හා කලෙකින් නොකළා වු සසඟ ඇත්තේ, කෙසේ මෙහි විසර්ජනයෙක් වන්නේ වේ දැ යි සිතන්නට වන. නීලාංගයෝ මනුලොවැ අවතරිත වැ අදැමියෝ මැඩැ දහම පිහිටුවන්නේ දෝ හෝ යි, නීලකණ්ඨයෝ මනුලොවැ වැදැ අදැමියන් දවන්නේ දෝ හෝ යි සිතූ මුත් තමා හෝ අන් කවරෙක් හෝ කළ ආරාධනා නැත්තන් එසේ අවතරිතවැ ඇත්තේ යැ යි සිතිය නොහෙන්නේ යැ යි බඹුට අවබෝධ වී යැ. ඉදින් මේ ගැනැ සිතා සිතා වෙහෙස වැ රත්පියුමේ සුමට දළ තලාන වැද හෝනා බඹුන් වෙත උතුමා ගේ පතිනී දැ දුවණියෝ දැ වන්නී සරසවිය එළැඹී. ඒ දැකැ මනා නුවණක් හිස පත් බඹු දු ඕ අමතන්නෝ යැ. හේ පුණ්ඩරීකාස්තේ, සියලුදෙව් පුතුන් දු අප සේ මැ වෙහෙසට පත කැරැ ඇත්තා වූ මේ අනවරත රශ්මීප්‍රභාව කුමකැ යි විමසා බලා ඒ සඳහා උචිත පිළියම් කළ මැනැවැ. තී නම් සරසවි යැ ධී යැ මේධා යැ, වේදසාරා යැ. තිට වැඩි දැණුමැත්තෝ නම් නැති සේ යැ.
ඒ සා කෂායවාණීන් ගෙන් ආත්මාභිමානී වැ ගියා වූ සරසවි දූ තම හිමි ගේ ආකාංශාවෝ සිඳවා තමා වෙත තව තව බැඳැ ගනිමී යැ යි සිතා ලා, මනුලොවැ මෙහෙළ දිවැ දා වැ පැන විසඳන්නේ නම් කල් ගත වන්නේ, එකුන්විසි වයස් පිරි, රන්දියෙන් පුරා ලූ පියුම් විලක් සා රූසපුයෙන් යුතු දැ රත්පියුම් මතැ බමන බමර යුග සා නයනෝපල්ක්ෂිත වැ, රන්දියේ නිපන් රන්දිය බුබුලු දෙකක් වැනි ළැමින් ශෝභිත වැ ප්‍රභූත වී යැ.
ජලතලේ මත සිටින්නාට එහි වන සඳ සා හි රැස් නො පෙනෙන්නා සේ සරසවිට දු මෙහෙළදිවැ බට තැන් පටන් කොහින් නික්මෙන රැස්කඳක දැ යි සොයාගත නුහුණු වී යැ.
කොහේ නම් යා යුතු දැ යි සිතා ගත නොහී, ඒ මේ අත සරන්නී, මහා පිරිසක් ගැවසීගත් කොළොම්පුර නගර මදැ දී එක් මහලු කතක් කී බසක් සරසවි කණ වැකී අමා සවන ඔත් සේ ප්‍රහර්ශිත වැ හනි හනික පා නැගූයේ, මනුකය නයින්, නිමේෂමාත්‍ර ගතිවේග නැතිවීම් ගැනැ මුසුප්පු සිතැතිව යැ. මක්නිසා දු යත් ඒ මහා ඒ සා මහා රැස්කඳක් නම් කිහෙන් හෝ නැගිය නොහැක්කේ වේදවේදාංගෂඩ්දර්ශනපරප්‍රාප්ත මහර්ෂින් වන් සරසවියන් කෙරෙන් මැ නික්මිය යුතු යැ යි ඕ දැන් උන් නිසා යැ. ඉදින් නිසි තැනැ පිළිපන් ඕ ඒ මේ අත බලන්න වූයේ මඟ වැරදී ඇති බැවින් යැ. මහලුකත කීවේ නම් සරසවි උගත්-හු පාරේ බැසැ උන් ගේ නැණ පානා බව යැ. ඒ වැන්නක් මේ එළැඹි තැනැ නො වන්නේ ඇඹේනී පැන ගිය කලැ මුව කළු කැරැ ආසු වගුර වගුරා දෙරණැ හැපී රජස් කා කෙස් විලිස්සා පෙරවු කළුසලු විසුරුවා හින පිළි හුන් නියා නො දැනැ නො දැකැ කණ්ඨය රක්තරස කැරැ මොර දෙන්නෝ දෙස් දෙන්නෝ මැ වන්නෝ යැ. ඉදින් තව තවත් ඒ මේ අත ගියමුත් නැණ පානා සරසවියන් දැක නොහී උකටලී වැ සරසවිය, අමා පරදනා රයිස් අඩෙකින් කුස පුරනා රිසින් බොජුන්හලකට වැදුනා යැ.
එසෙ වන් කලැ එහි එකෙක් අමාවන් රයිස් බුදින්නේ පතැ නෙත රඳන්නේ හෝ නැතිව යැ. පතැ රැඳෙනු තැනැ නෙත දුරබණනෙහි රන්දා  අහර බුදින්නේ යැ.  මේ මහා අරුමෙකැ යි ඕ හට සිතී. අමා රස ලජ්ජිත කරන්න වූ රයිස් රස දු පරයා නැගෙන්නා වූ කුමන සා රසෙක් දුරබණනේ වන්නේ දෝ හෝයි සිතා, ඌට ලං වැ පුළුවුත්තේ මේ සා රස නම් කිමෙක්දැ යි කියා යැ. ඒ විමසූ ඕ හට සොළොස් විය සා හේ පුත්‍රී වාදයෙන් බෙණෙමින් කියන්නේ මේ නම් වත්පොත යැ යන්න යැ. ඒත් කොයි පොතක් වේ දෝ යැ සිතා උගෙන් තව තව විස්තර දැනැ දුරබණනයක් ගෙනැ වත්පොත හා බැඳුනී යැ. ඒ කොලූ පුත්‍රී වාදයෙන් බිණුයේ කිම ද යත්, ඒ සා කුදු පවත් නො දන්නෝ නම් ළදරුවෝ දු වන්නට තරම් නැති හෙයින් යැ. ඒ නයින් එහි දොසක් නො දැක්ක යුතු.
වත්පොතැ මඟුල් පා තබා ඒ මේ අත සරන්නේ අසිරිමත් වැ මහදෙවියා දු වත්පොතැ වන්නේ යැ දැක්කේ හේ තමා ගැනැ වන්නා වූ පැනයක් ඇරැබැ පතරංගදා පරයන්නා සා මහා අදහැසියක් දමා ඇත්තේ යැ යි දැකැ, ඒ සා පවත් තමා ද දැනගනු රිසින් කියවන්නී, මත්තලුංගයේ අබතෙල් ගැල්වූ කලක් පරිද්දෙන් දන්න වූයේ, ඒ සා පවත් සරසවි වැ තමා දු නො දන්න නිසා යැ. ඒ අදහැසි අනුව මහදෙවියා වෙනකෙක් නොවන්නේ යැ ගොයුම් සව්වෙක් මැ වන්නේ,  මහගොං යානෙං සරන්නෝ ඒ නිසා මැ යි. මේ පවතින් උන් තැනැ බමන්නා සා වූයේ ආදරසම්ප්‍රයුක්ත වැ මහදෙව් කෙරෙන් අවසර පුළුවුත්තේ මහෙසුරු සරසවියට අම්මා සදින්, අමුහෙළුවෙන් වනන්නට වූ යේ යැ. එයින් මැ මූ නම් මහදෙව් නො වන්නේ යැ දත්තේ නුමුත් කරුණු දැනැ ගනු රිසි වැ අමුහෙළුව ඉවසා තව තව විමසන්නී, හේ ඒ සියල් තම නැණින් මැ ලද්දේ ගතෙකින් ගුරෙකුන් කෙරෙන් නූගත්තේ යැ දැනැ මේ නම් නිසැකව මැ බබලන්නෙකැ යි දැනැ  දුරබණනයට දු සාධු කාර දුන්නේ යැ. මිණි මැදැ විදුරුමිණි ලද්දී යම් සේ තොස් වී දැ එයින් වැඩි ප්‍රහර්ශයෙන් මත් වැ ඒ මහා පඬි සඳ චරණ වෙත එළැඹි ඕ දුටුවේ නම් හේ පිරිගණක වඩුවෙකු බව යැ. ඉදින් හේ කී බස් සැබෑ යැ. හේ උගත් සනාදහමක් නැති, ඒ එසේ වදු නීලක්ණ්ටයාණන්ටත් වැඩි වැ ඒ දෙව්දිව් ගැනැ දැණුම වන්නෝ නම් මූ යැ. මූ නම් මහාර්ෂීන් පරයනා මහානර්ඝ විදුමිණක් වන්නේ යැ යි තෙවරක් පැදැකුණින් ආදර දක්වා ලා නැවත පසෙකැ හිඳැ වත්පොත බලන්නට වී යැ.
එයින් ශ්වේතාංගීට පසක් වූයේ නම්, තිදෙව්මඬුලු නො වැ සකළ දෙව්මඬුල්ල දු සකල දම්සයුර දු අතැඹුල සේ දන්නා පඬිරුවන් එතෙක මෙතෙකැ යි නොකිය හැකි පමණින් මෙලක්දිව් හි පුරා ඇති බව යැ.
බස ගැනැ නැන පාන්නෝ එක වැ තම තම නැන පමණින් කෙසේ හෝ පොත් ඇදැ පාමින් ආත්මකල්පනා සංදර්ශනය කෙරෙන්නේ එහි වන් එකෙක් පොත් අදින වුන් ගැනැ සැහැලි කියා පොත්වලැ නොවන්නා වූ දු, මහානර්ඝ වූ දු ඍද්ධියෙන් පෑ දැනුම් පාන්නේ, නිච්ච ඉච්ඡ අඹරා ගෙනැ නිච්ඡ තනා ලා තිමිර ගගනේ නිපන් විජ්ජුලතා කතක් වැනි වූ අනගි නිරුත් පාන්නෝ යැ. හේ නම් ලියන්නෙකැ, ඌ උගත් බස්සතෙරක් නැති. එසේ නම් ඌ ගේ බස් සැබෑ යැ. හේ තෙමේ ලත් නුවනුන් ම දෙසන්නේ යැ. වැලිත් තවත් එක් පඬි සඳක් නම් සකම් කිරිය අකම් කිරියැ යි අනුපම ඥානයක් පතුරන්නේ වියරණ පොත් නම් ගතකලැ මුත් අනගතැ වේ වා වත්මනැ වේ වා එයින් කම් නොවන නියාත් තක්කුමුක්කු වන්නා වූ තක්කයෙන් මැ මැනැ කිරා ඒ සා විදු මුකුටයක් පෑ බවත් පළ කෙරෙමින් හෙළය එකලු කරන්නේ යැ. හේ හෙළබස් ඇජරෙක් ල. පොතින් නූගත් සිතින් මැ උගත් ඇජරපානෙක් යැ. සිතින් මැ උගත් නම් කිම ද යත්, හේ කුස්පුරා අන්පානෙන් සැතැපැ  මැසි සකසා ඊ මතැ හොත්තේ, පාණියුග්මය ශීර්ෂ මස්තකයේ තබා ගෙනැ රාමයා බිය ගන්වමින් රාමතෙල් හැර හැරා සිතින් මැ සිතා පෑ දැනුමක් වන්නේ යැ. ඉදින් උයිත් මහා පඬි මිනක් මැ වන්නේ හෙළය බබුලුවන් නේ යැ. මේ සා පඬි සඳන් දැකැ සරසවි මුව වදන් නො නැගෙන්නා වු සංතුෂ්ටියක් උපන්නේ, ඒ සා පැණවතුන්, එකෙකු දෙකෙකු නො වන්නේ කෙළගණින් මෙහෙළදිවැ වන්නේ යැ යි දැකීමෙන් යැ.
විදුරුමිණිමල් ගොමුවැ ඉහළින් මුව පෑ අර්කයෝ යම් සේ දැ පෙර පෑ පඬින් සියල්ලේ අගපඬි සා වන්නො නම් සාරථියෙක, හේ අකුරුත් කොහින් උගත්තේ දැ යි විස්වස් නැත්තේ නුමුත් පහණ ගිරි අසැ මැසි මත්තේ මැසි නංවා ඊ මතැ නැගැ බාලයන් මුවැ අකුරු තබන්නා සේ ගලැ කෙටු ලිපි ඇදබාන්නේ යැ. එයිනුදු නොපියේ, මහා ගොයුම් සඳ  උපන් බිමැ අඟුලක් අඟුලක් කැරැ දැනැ පිරිසිඳ සිටින්නේ යැ. මූ අනුයන්නෝ කෙළ ගණනින් වන්නෙ ඉඳින් මෙලක්දිව් පඬියනුත් හිඟ වේ දැ. මේ පඬිසිරින් සැමි සසඟ රිසි සිස් වැ මුත් අමිතලෝ තපර වැ එකලුවන්නට නිසි කාරණ මැ වූ මේ පඬි පවත්  හිමි සවන් පියුමේ ලූ අමා බිඳු සදිසි වැ බහා උන් සිත දු තුටු කෙරෙනු රිසින් හෙළ‍යෙන් චුත වැ බඹුවිමනැ පහළ වී. කිකලැ බඹු දකිනු පිවිසියේ වේ දැ යත් එකල යැ, නානාවේශබලපරාක්‍රමඥානගුණඝනපරිවාරවාහනාස්ථානායුධසංයුක්තසහචාරදේවගණාචරිතාත්මභූවිදස්තද්ධිව්‍යඝෝෂ්ට්‍යුච්ඡාසනේ පද්මතඩාගාරූඪාදිත්‍ය සා ප්‍රභාන්විත වැ වැඩ සිටියෝ, ඒ සා දිව්‍යසභාවට, දිවකරන් සිරින් පැහැදුල් නෙලඹුතලා හි ආස්ගැබැ උන් හතස් රැස් බස්වා පැහැදුල් පියුම් දුල් මඬවා දිව්මගැ වන් හිමස්දූ සෙයින් ඕ පිවිසී, කටයුතු කිස කර පියා, වසත් කෙළියේ ලා තුනු සිපි සිහිල් දියෙනුදු, ළැම සිපි නෙක කුසුමින් දු, වත සිපි පුම-අදරින් දු, උර මැඬි දළ ලවනින් දු, මන දැමි මදු බිදුවෙන් දු මන මත්වී ගිය සේ මැ, හෙළ මිණිබිමැ නිපන් වෙරළුමිණි ගිරි රැසින් ගලනා රැස් වණන්නී යැ.

පැරකුම් ඈ විරු නිරිඳුන්
කසුබන් ඈ රස විඳිනන්
පැරකුම් ඈ කවි කිවිඳුන්
ගුරුලන් ඈ දැමි පඬුවන්

හෙළදිව් කත ලද පුතනුන්
හිරි ගන්වා එක සැනෙකින්
දිවි ගලවා යන ලෙසකින්
කළැකි නැණින් යුතු පඬුවන්

තම තම නැනැ නැති කෙතකින්
ඇදැ ඇදැ පා නෙක ලෙසකින්
තතු දැනැ පැණ ඇති පඬියන්
විසි කැරැ නැති කැරැ යන මං

වියරණ පැණ පාති නැවුම්
ඉතිහස ඇද පාති නැවුම්
දහම ද නෙක පාති නැවුම්
පොතපත හැරදා ම කියුම්

හිමි නුඹ මහ බඹු වන මුත්
වෙණු හැම අතැතිව දත මුත්
මහදෙවි පරලොව දත මුත්
හෙළු, හෙළදිව තෙපි පැණ මුත්

විදු තොප ඇතැ රැඳි පමණෙකි
විදු නැණ හෙළ පඬි මැවුමෙකි
බස නැණ මගෙ අතැ රැඳුනෙකි
බස නැණ හෙළ පඬි මැවුමෙකි

මේ සා අසිරිමත් වැණුම් කෙළවරැ බඹුන් නැගිඅසුන්වැ ආයතමුඛ වැ අසුපුන්නෙත් වැ පලාගිය බස් වැ, මඳ කලක් සිටියේ, තමා නම් මහාබ්‍රහ්මයා යැ යි සිහිඑළවා ගත්තෝ වැළිත් අසුනරා හිඳ සර්වබ්‍රහ්මාණ්ඩකෘතසඤ්චාරසර්වනෘපප්‍ර්වෘත්තඥදේවර්ෂිනාරදයන් බැණැ මේ සා උත්තම දීපයේ නරපල්ලා නම් කවරෙක් වේදෝ හෝ යි, උන් ගේ පවත් කෙසේ වේ දෝ හෝ යි විමසන ලද්දේ, උන්ට මේ පවත් දන්වා කිසියම් ගිවිසුමක් කරන්නා වූ අටියෙන් යැ. ඒ බෙණීමෙන් නැගීසිටි දේවර්ෂිතුමාණෝ පවසන්නේ,
හංසයානපද්මජයෙනි, එදිව් නරපල්ලා සුලුවෙන් නො ගැණිය යුත්තෝ යැ. හේ චන්ද්‍රශේඛරප්‍රේමිකාවන් ගේ දෘශ්‍යරූප වූ ධරණී නොහොත් මහීකාන්තාවන් ගේ කුච්ඡිපුඤ්ඡිතයාණෝ ද ද්වාරිකාදේශයාණන් ගේ ප්‍රියාව වූ ලක්ෂ්මී දේවීන් ගේ අසදෘශාවතාර වූ ජානකීන් ගේ කනිෂ්ඨකේශටයාණෝ ද වන්නේ ධරණී ගර්භයෙන් ධරණීන් ගේ ස්වාමී වූ සුධී හෙළයන්ට දාව උපන්නෝ යැ. හේ යෙහෙන් පලන්නේ යැ. සුබර යැ. උන් දු හෙළ පඬිරුවනෙව් සාධාරණ මනුෂ්‍ය නො වන්නේ මැ යි. යදි එසේ වී නම් ගම්පල් තරම් වන්නේ මුත් අද හේ යෙහෙන් පලනා නරපල් යැ.
මෙපවතින් අසිරිමත් වැ ගිය බඹුන් අසුනින් නැගෙනු තැනැ හුනස්නෙන් පතිත වැ සිහි එළවා විළි ඇති වැ රතුවනින් නැගී අස්න අරා හිඳ මාලතී බැණැ හෙළ දිව් බලා නැගෙනු රිසින් රත නගන්න කීවෝ යැ.
පද්මාසනයාණෝ සෙසු ගමන් නැති වැ හෙළනරපල් වෙතැ එළඹැ කටයුතු  කම් කැරැ පියා නරපල් හා රහස් ගිවිස්මක් ගිවිස්සෝ යැ.
දෙව්ලෝ රැඳී රෑ නිඳි නො ලබන්නෝ, සසඟ දු නො ලබන්නෝ, මූඪ වැ යන්නෝ අපි එයින් මිදී හෙළයේ මැ බැස ගන්නමෝ වෙමු, සදෙව්ලෝ එකලුකරනා මහාපඬියන් ගේ රැසින් අනෙක් ලෝ පීඩා නොවේ යැ යි සිතාලා  උන් ඉහළ මැ බඹුලොවැ තබන්නමෝ යැ යි යනු ඒ රාස් ගිවිසුම යැ.
.
ඉසුරු උපනදයා කළ පඬිහෙලුවත මෙයින් නිම්මේ යැ.

අර්ථශාස්ත්‍රය ගැන කෙටි විස්තරයක්

පොත ගැන පොඩි විස්තරයක් කරනවා නම්, මේ ගැන ඇති ජනප්‍රිය සහ ප්‍රසිද්ධ මතයෙන් තරමක් වෙනස් මතයක් තමා, ශාස්ත්‍රීය ව පිළිගන්න පුලුවන් වෙන්නෙ. ඒ නම්, මෙහි අන්තර්ගතය සහ වෙනත් කරුණු පිළිබඳ අවධනයෙන් බැලුවිට පේන දේ මෙය ව්‍ය.ව ආරම්භයට පසුව නුමුත් කාලිදාසට සහ ඇතැම් ප්‍රසිද්ධ ජෛන ග්‍රන්ථයන් රචනාවීමට පෙර මේ පවතින තත්ත්වයට පත් වූ බවයි. (ඒක පැහැදිලි කරන්න නීරස පැහැදිලි කිරීමකින් දීර්ඝ ව කළයුතු යි. 😊)
නුමුත් අර්ථශාස්ත්‍ර නම් ශාස්ත්‍රය මින් බොහෝ පැරණි බව දැකිය හැකියි. එය ධර්මශාස්ත්‍ර සමග ගුහ්‍යසූත්‍ර ධර්ම සූත්‍ර  කාලයෙ පටන් ඒ තුළ ඇතුළත් ව මනුස්මෘතිය වැනි ස්මෘති ග්‍රන්ථ තුළ ඇතුළත් ව පසු ව වෙනම ම විකාශනය වූ බව පහැදිලි යි.
ඒ නිසා වඩා ශාස්ත්‍රීය නොහොත් සත්‍යයට ආසන්න දෙය වන්නේ, මෙය බොහෝ කලක් භාරතයේ පැවති ගුරු පරම්පරාවක් විසින් ක්‍රමයෙන් සංග්‍රහ කෙරී උක්ත යුගයේ වඩාත් විධිමත් ව සංග්‍රහ වුණු බව යි.
මෙහි අන්තර්ගත විස්තර සාමන්‍යයෙන් කෙනෙක්ට හිතාගන්න බැරි විදිහට මේ පොතේ ඇතුළත්.
පළවැනි අධිකරණයේ දී  රජ කෙනෙකු පැවතිය යුතු විධිය සහ ඒ වෙනුවෙන් අවශ්‍ය දැණුම සහ දැණුම ලබා ගන්න පිළිවෙල ගැන් දීර්ඝ විධිමත් විස්තරයක් තියෙනවා. මේකේ වැදගත් ම දේ තමයි රාජාණ්ඩුවක් කියන සංකල්පය පැහැදිලි කිරීම ඒ සමග ම වෙන එක. රජු විශාල බලයක හිමි කරුවා වෙනවා වගේ ම රජු කියන්නේ රාජ්‍ය පාලනය පිණිස ඉන්න එක් යන්ත්‍රයක ප්‍රධන බලප්‍රභවයවිදිහට දක්වනවා. ඒ නම්, රජු සහ රජු ගේ බලය සම්පූර්ණයෙන් ම පවතින්නේ රාජ්‍ය කියන දෙයි ආරක්ෂවට සහ උන්නතියට. ඒ නිසා තමයි හැම විට ම රාජ්‍යයට පස්සේ රජු වැදගත් වෙන විදිහට මෙකේ කරුණු දැක්වෙන්නේ.
පස්සේ විහිලුවට වත් හිතා ගන්න බැරි සංකීර්ණ කරුණු දැක්වීමක් තියෙනවා චරපුරුෂ භාවිතය ගැන. ඉන් පසුව දක්වන්නේ අනෙක්‍ රාජ්‍යයන් සමග සමබ්න්ධතා පවත්වන්න අවශ්‍ය විධිය ගැන. මේක විවිධ විවිධ විෂයන් යටතේ කෘතිය පුරා ම විසිරිලා යන විදිහට සාකච්ඡා කෙරෙන දෙයක්. වැඩි අවධනයක් දෙන්නේ මේකට.
පස්සේ රාජ්‍ය ආරක්ෂාවට භූමියවශයෙන් ගත යුතු පියවර ගැන දක්වනවා. එතන දී  මානව සම්පත් ගැනත් දැක්වෙනවා. එ වගේ ම ආර්ථිකයට සමබ්න්ධ බොහෝ කරුණු දැක්වෙනවා. ඒ අතර රාජ්‍ය තුළ ඇති වටිනා ද්‍රව්‍යයන් ගේ පාලන මිලක් පවත්වා ගැනීම, සහ බදු අය කරගැනීම සහ බදු අයකර ගැනීමේ දී ගෙවන්නාට හිරිහැරයක් නෙවෙන විදිහට කරන විදි මේකෙ දැක්වෙනවා. වඩා කපටි විදිහට බදු අයකරගන විදිහ. කාසි නිපදවීම සහ හොර කාසි ගැන අවධනය දීම වගේ දේ ගැනත් දැක්වෙනවා. ඒ වගේ ම  සමාජයට බලපැම් කළ හැකි ගණිකානිවාස ආදිය ගැනත් අවධනය දීලා තියෙනවා. ඒකට හේතුව ඒකත් ආදායම් මාර්ගයක් වීම. වරායක් ක්‍රියා කිරීම වැනින්දේත් මේකේ දැක්වෙනවා.
ඊට පස්සෙ තෙවැනි අධිකරණය බොහෝ ම වැදගත් එකක්. ඒකේ දැක්වෙනවා පුද්ගලයන් ලියපදිඤ්චි කිරීමට අදාළ විශාල විස්තරයක්. ඒක රාජ්‍ය පාලනයේ දී යොදාගන්නවිදිහ ගැනත් මේකෙ දැක්වෙනවා. ඒක නිකං දැන් සයිබර් අවකාශයෙන් ගන්න තොරතුරු  ලොකු ලොකු රටවල් තමන් ගේ වාසියට භාවිත කරනවා වගේ වැඩක්.
ඒ වගේ ම දේපල ගැනත් නගරයක නිවාස ඉදිකිරීමේ විධිය ගැනත් ආදිය ගැන මෙකේ දැක්වෙනවා.
ඊට පස්සේ අධිකරණයේ තියෙන විස්තර අපේ ලොකු තැන්වල ඉන කබ්බෝ ටිකට ඇහෙන්න කියවන්න හරි ඕනේ. ඒකේ දී කථා කරනවා රටේ ආර්ථිකයට ආරක්ෂාවට වැදගත් වෙන මානව සම්පත් ආරක්ෂා කර ගැනීම සහ රජු ඒ වෙනුවෙන් ක්‍රියාකළ යුතු ආකාරය. ඒ ඒ පිරිස් සඳහා දිය යුතු සහන ආදිය.
මේ පිරිස තාක්ෂණික අංශයේ ශාස්ත්‍රීය අංශයේ සහ වාණිජ අංශයේ ලෙස බෙදලා මේ විස්තර දක්වා තියෙනවා. ඒ අධිකරණයේ ම නැවත චරපුරුෂයන් ගැන විස්තර වෙනවා. අන්‍ය රාජ්‍යයන් ගේ චරපුරුෂයන් අඳුනාගැනීම ආදිය.
වෙන ම කොටසක  රාජසභාවේ පැවැත්ම ස්වභාවයගැන තොරතුරු දක්වා තිබෙනවා.
නැවත ඉන්කම් ටැක්ස් ගැන විස්තර කෙරෙනවා, සහ ඒක සූක්ෂම විදිහට, මිනිස්සු එන එකට බාදා නො වෙන්න කරන විදිහ දක්වා තිබෙනවා.
මේ පොතේ වඩාත් රසවත් කොටසක් වෙන්නේ අනෙක් රාජ්‍ය සමග සම්බන්ධකම් පැවැත්විය යුතු ආකරය ගැන දක්වා තිබෙන කොටස යි. එහි තිබෙන සිද්ධාන්ත අදටත් ලෝක දේශපාලනයේ දකින්න හැකි යි.
ඉන් පසු කොටස්වල ආර්ථිකයට අදාළ පැවතිය යුතු විධි සහ අසීරු සමයන් පසු කිරීම නැවත නැගී සිටීම ආදිය ගැනත් දැක්වෙනවා.
මේ පොතේ සමස්තයක් ලෙස ආර්ථිකය සහ යුධ බලය රාජ්‍යයක පරම අවාශ්‍යතාවන් ලෙස දක්වනවා සෙ ම ඒවා නගා සිටුවීම රජුගේ ඒකායන කර්තව්‍යය ලෙස දැක්වෙනවා. ලාභය අලාභයක් වන ආකාරයත් ලාභයක් තකා අලාභ ඉවසීම ආදිය ගැනත්, යුද්ධයේ දී  ක්‍රියාකළ යුතු ආකාරයන් ගැනත්,  සාම ගිවිසුම් අතර තුර අනෙක් රාජ්‍යයට හානි කිරීම ගැනත්, ගිවිසුම් මගින් රාජ්‍යයන් කෙටවීම ගැනත් මේකෙ දැක්වෙනවා.  ඒ සියල්ලෙන්ම රටේ ආර්ථිකය නැංවීමත් සාමන්‍ය මිනිසා ගෙ ජීවිතය සාමාන්‍ය තත්ත්වයක හෝ පවත්වා ගැනීමට ඒවා උපයෝගී කොටගන්න ආකරයත් මේකේ දැක්වෙනවා. ඒ සඳහා කළ යුතු කපටි නරක වැඩ ගැන සම්පූර්ණ කොටසක් වෙන් කර තිබීමත් වැදගත්.
ආ අනික මේකෙ කරුණු මහා අධිරාජ්‍යයකටවඩා මධ්‍යම රාජ්‍යයක් වෙනුවෙන් සැකසී ඇති බව බොහෝ ම පැහදිලි යි.

අභේගිරිය සංස්කෘත ශිලාලේඛනය. Abhegiri Sanskrit Graffiti.

ප්‍රවේශය

යුගයෙන් යුගයට විවිධ භාෂා මතුවීම සහ වියැකී යාම ඉතිහාසය පුරා ලෝකයේ සියලු දේශයන් හී දැක්ක හැකැ. මහා සංස්කෘතියක් හිමි භාරත වර්ෂයේ ද එහි ආභාසය යටතේ වර්ධනය වූ හෙළයේ ද එය ඒ ආකාරයෙන් මැ සිදු විය. මෙසේ භාෂාවන් ගේ නැගීම සහ බැසීම විවිධ හේතූන් නිසා සිදුවන අතර බොහෝ දෙනා ගේ පිළිගැනීම අනුව මෙරට තුළ හෙළබසේ නැගීම මහේන්ද්‍රාගමනයෙන් සිදු වූ අතර ඒ සමග පැමිණි ථෙරවාදී බෞද්ධ ධර්මයේ මාධ්‍ය භාෂාව වූ පාලි භාෂාවේ ආගමනය සේ මැ ව්‍යාප්තිය දු එයින් මැ ආරම්භ විය.
පාලිය යම් සේ ථෙරවාදීන් විසින් තමන් ගේ මාධ්‍ය භාෂාව ලෙස තොරාගත්තේ ද මහායානිකයෝ තමා ගේ මාධ්‍ය භාෂාව ලෙස එතෙක් බ්‍රාහ්මණයන් ගේ අධිකාරයේ පැවති දේවවාණීය වූ සංස්කෘතය තොරාගත්තෝ යැ. මහායානිකයන් විසින් පුරුදකළා වූ වර්ණනාතිශයෙන් සහ දාර්ශනික න්‍යායවිධින් ගෙන් ආඪ්‍ය වූ සූත්‍ර සාහිත්‍යයට මාධ්‍ය භාෂාව ලෙස සංස්කෘතය ඉතා හොඳින් ගැලපී ගියේය.
මහායාන සම්ප්‍රදායේ ආගමනයත් සමග ඔවුන් ගේ මාධ්‍ය භාෂාව වූ සංස්කෘතයේ ද සැලකිය යුතු න්‍්‍යාප්ත වීමක් සිදු වු අතර මෙරට සිටි මහායාන අදහස් දැරූවෝ ද තමන් ගේ මාධ්‍ය භාෂාව ලෙස සංස්කෘතය මැ තෝරාගත්හ. ඒ හේතුවෙන් සකුවෙන් ලිවීම සහ කියවීම ආරම්භ වූ අතර නිදහස් මාධ්‍ය භාෂාවක් ලෙස වර්ධනය වීමේ ලක්ෂණ පහලවන්නට වීය. එහි මූලිකාඩ්ගයක් වශයෙන් හඳුනාගත හැකි වන්නේ මෙරට බිහි වූ සංස්කෘතාභීලේඛන යැ. මක්නිසා ද යත් යම් භාෂාවකින් ප්‍රසිද්ධ ලේඛනයක් ලියැවෙන්නේ එම භාෂාව කියවා තේරුම්ගත හැකි සැලකියි යුතු පිරිසක් සිටින සමාජයක පමණක් නිසාවෙන් යැ.
සංස්කෘතයෙන් ලියැවී තිබීම නිසාවෙන් මැ වුවත් උල්ලේඛනීය වන්නේ සේ මැ අන්තර්ගත කරුණු අතින් ද සංස්කෘත ශිලාලේඛන වැදගත් ස්ථානයක් භජනය කරන්නේ යැ. ඒ අතරින් කුච්චවේලි ශිලාලේකනය, තිරියාය ශිලාලේඛනය සහ මිහින්තලේ ත්‍රිකායස්තව ලිපිය ආදිය තත්කාලීන සමාජවිශ්වාසයන් සහ බෞද්ධ ආකල්ප මෙන් මැ මහායානයේ ස්වභාවය ආදී විෂයන් ගෙන් උල්ලේඛනීය වන අතර බෞද්ධ ආරාමයන් ගේ ස්වභාවය සහ පරිපාලනය පිළිබඳවත් එයින් ලාඩ්කීය ජනසමාජය සහ විහාරාරාම අතර පැවති සම්බන්ධය සේ මැ ජනජීවිතය පිළිබඳව දු වැදගත් කරුණු රැසක් උකහාගත හැකි වූ ශීලාලේඛනයක් වන්නේ ජේතවන සංස්කෘත ශිලාලේඛනය නමින් හඳුන්වන අභයගිරිපරීශ්‍රයෙන් හමු ව ූශිලාලේඛනය යැ. මෙහි දී විමසා බැලෙනුයේ මෙම ශිලාලේඛනය මගින් තත්කාලීන විහාරාරාම පරිපාලනය පිළිබඳ අදහසක් ගැනීම විෂයෙහි ඇති උපයෝගීතාව යැ.

අභයගිරි සංස්කෘත ශිලාලේඛනය හැඳින්වීම සහ අන්තර්ගතය.

  ව්‍ය.ව දසවැනි සියවසට පූර්ව යුගයකැ යි නිගමනය කළ හැකි අභයගිරි විහාර සංකීර්ණයේ ගොඩනැගිල්ලකින් 1894 වර්ෂයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේනතුව විසින් සොයාගන්නා ලද දිගින් අඩි හතරකුත් අඟල් හතරක් සහ පළලින් අඩි තුනකුත් අඟල් තුනක් ද වන ගල්පූවරුවකැ කොටා ඇති ාමම ලිපිය නිදන් සොරුන් විසින් පලුදු කෙරී ඇතැ. පහළ කොටස කොටස් හතරකට කැඩී ඇති තඅර මැද කොටස් ගිනනෙන් හානි වී ඇතැ. එම නිසා පේළි හතලිහකින් යුතු මෙම අභිගේඛනයේ අවසාන පේළි තුන, දොළොස් වැනි පෙළේ සිට විසිඅට වැනි පෙළ දක්වා කොටස්, සිත්පස්වැනි කොටස සහ සිත්හත්වැනි පේළිය ද කියවිය නො හැකැ. මෙහි මායිම අඟලක් පමණ පුළුල් වැ යොදා ඇති අතර එක් පේළියක් ද අඟලක් පමණ වන සේ ගෙන ඇතැ. එනම් එක් පේළියක් අඩි තුනකුත් අඟලක් පමණ වන සේ ගෙන ඇතැ. මෙහි ඇති විශේෂත්වයක් නම් වෙනත් කිසිදු තැනැකැ දැක්ක නො හැකි ආකාරයේ නෙළුම්මල් දෙකක සලකුණු සෙල්ලිපියේ මුදුනෙහි දෙපසැ දැක්ක හැකි වීම යැ.
මහානාම හිමියන් ගේ බුද්ධගයා ශිලාලේඛනයට සමාන දඹදිව උතුරු පෙදෙසට අයත් වන ව්‍ය.ව නවවැනි සියවසට පමණ අයත් වන්නා වූ මාගධි නාගරී අක්ෂර වෙසෙසක් මෙම ලේඛනයේ හි ලා භාවිත කැරැ ඇතැ. කෙසේ වුවත් මෙම අක්ෂර සහිත ලිපි භාරතයේ දකුණු දිගින් හමුවන තැනක් වන්නේ මේ යැ. තව ද මෙයට සමාන අක්ෂර ඇති ලිපි කීපයක් හමු වන නිසාවෙන් තත්කාලීන භික්ෂූ සමූහයා මෙම අක්ෂරමාලාව හොඳින් දැන සිටින්නට ඇතැයි සිතිය හැකැ.ස
මෙහි භාවිත භාෂාව විෂයෙහි අවදානය යොමු කරන්නේ නම් සංකීර්ණ ස්වභාවයට නො ගියා වූ සරල ව්‍යාකරණයෙන් රචිත මෙම ලිපියෙහි සන්ධි විධි පිළිබඳ වැඩි අවදානයක් දී නොමැති බව දැක්ක හැතැ. එමෙන් මැ මෙහි දක්නට ලැබෙන අක්ෂර වින්‍යාසයේ දු වෙනසක් දැක්ක හැකැ. එනම් භාරතවර්ෂයේ සෙල්ලිපි හී සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ආකාරයෙන් ‘ර්’ කාරයට පූර්වයෙන් සේ මැ පශ්චිම දු ව්‍යඤ්ජණ ද්විත්ව කිරීම යැ. එමෙන් මැ ‘රි‘ වෙනුවට ‘ඍ’ කාරයේ භාවිතය සහ වාක්‍යාවසානයේ අනුස්වාර භාවිතය දු දැක්ක හැකැ.
මෙම ලේඛනය කිරීමේ අරමුණ ලෙස පෙනී යන්නේ ‘ලහසිකා’ ‘උරුල්ගෝණුන්’ ආදී වූ විහාරාරාමයන් ගේ පරිපාලනය විෂයෙහි වූ පැනවීම් ඉදිරිපත් කිරීම බව දැක්ක හැකැ. මෙම ලේඛනයෙහි ඇති වැදගත් භාවයදු ඒ යැ. එනම් මෙයින් අපට උක්ත විරාරාමාවකාශය පිළිබඳ යම් අදහසක් ගැනීමේ හැකියාව ඇත්තේ වෙසෙසින් ආරාම පරිපාලනය කෙසේ වුයේ ද ඒ තුළ පැවති විනය සහ විධින් කුමනාකාර වූයේ ද සේ මැ ගෘහස්ථයන් සහ භික්ෂූන් අතර පැවති සම්බන්ධය කුමනාකාර ගත්තේ දැ ආදී කරුණු බිළිබඳ මෙයින් යම් අදහසක් ගැනීමේ හැකියාවක් ඇත්තේ යැ. මෙම ලිපිය හමුවන්නේ අභයගිරි පරිශ්‍රයෙන් වන්නේ එය වනාහී මහායාන ලක්ෂණයන් ගෙන් යුතු වූයේ මයාවිහාර සම්ප්‍රදායෙන් ඈත් වූයේ යැ. ඒ නයින් මෙයින් සමස්ථ ආරාම පරිපාලනය ගැන නො වැ හුදු මහායානිකයන් ගf් මෙරට පැවති ආරාම පරිපාලනය පිළිබඳ අවබෝධයක් ලැබිය හැකි වන්නේ යැ යි පැවසීමට කෙනෙකු සමර්ථවන්නේ නුමුත් මෙහි අන්ිතර්ගත කරුණු අනුව ථෙරවාදී සම්ප්‍රදායෙන් වෙනස්වන්නේ යැ යි පැවසීමට තරම් ප්‍රාමාණිත කරුණු හමු නොවන්නේ පනවා ඇති ආචාරධර්මයන් අනුව වුව දු ථෙරවාදී ලක්ෂණ මැ පෙන්නුම් කරන්නේ මෙයින් සමස්ථාරාම පරිපාලනය පිළිබඳ කරුණු උකහාගත හැකි යැ යි කිව හැකැ.
වෙසෙසින් විහාරාරාම පරිපාලනය පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් මෙහි දී අපට දැකිය හැකි කරුණ වන්නේ එම යුගයේ දී වර්ග කීපයකට බෙදා දැක්විය හැකි නීති මාලාවක් ඔස්සේ මෙම ආරාම පාලනය කෙරුණු බව යැ. එය අධයයනයේ පහසුව තකා සහ පැහැදිලි කරගැනීම් විෂයේ වෙන් වෂශයෙන් දැක්විය හැකි වන්නේ නුමුත් මේ සියල්ල එකිනෙක අත්‍යන්ත වශයෙන් බැඳී ඇති බව දු වෙසෙසින් දැක්ක හැකැ. ඕනෑම ආයතනයක් පරිපාලනය කිරිමේ දී ඍජුව මැ පරිපාලනයට අදාල වන්නා වු ක්‍රියාකාරකම් එනම් එම ආයතන සාමාජිකයන් ගේ වගකීම් පැනවීම් පවතින අතර ආයතන සාමාජිකයන් විෂයෙහි පවතින්නා වූ විනය මාලාවකින් සහ නීති මාලාවකින් යුතු වන්නේ යැ. එමෙන් මැ ආයතනයේ කාර්යයෙහි නියුතු වූවන් ගේ නොහොත් සාමාජිකයන් ගේ වෙතනයන් පිළිබඳ දු විධිමත් ක්‍රමවේදයක් පවතින්නේ යැ. මෙහි දී ආරාම පරිපාලනය පිළිබඳ කරුණු විෂයෙහි මෙම ලිපියේ ඇති වැදගත්කම විමසීමේ දී උක්ත මාතිකා යටතේ මෙම ලේඛාන්තර්ගත තොරතුරු වමසෙන්නේ යැ.
කර්තව්‍යයන්
ජේතවන සෙල්ලිපියෙහි ලා ආරාමයන් හී වාසය කරන්නා වූ භික්ෂූන් වහන්සේලා විසින් ඉටු කළ යුතු කාර්යයන් සේ මැ ආරාමයට අයත් ග්‍රාමයන් හී වාසය කරන්නා වූ ගෘහස්ථයන් විසින් ඉටු කළ යුතු කාර්යයන් පිළිබඳ දු දැක්වීම් කර ඇතැ. මෙම අභිලේඛනයේ හුදු ලහසිකා ආදි ග්‍රාමයන් හී ඇති විහාරයන් සහ එම ග්‍රාමයන් පිළිබඳ දක්වා ඇති නුමුත් මෙයින් දැක්ක හැකි වන්නේ විහාරාරාම වාසී භික්ෂූන්ට සේ මැ එම ආරාමයන්ට ගම්වර ලෙස හිමි වූ ග්‍රාමයන් ගේ ජීවත් වූ ගෘහස්තයන්ට ද නියමිත වූ කාර්යභාර්යයන් තිබු බව යැ.
“ත්‍රිභිර්භීක්ෂූභිර්ලහසිකාපර්ණශාලායාං ද්වාභ්‍යාං ශ්‍රාමණේරාභ්‍යාං සහ නිවසිද්භර්ලහසිකාම් උරුල්ගෝණුම් චීවරකර්මණේ නියුක්තාඤ්ංශ්ච ග්‍රාමාන්සම්‍යගාලෝච්‍ය තත්‍ර තත්‍ර ලාභන්තෛස්තෛ: කුටුම්භිරාධිෂ්ඨිතම්විහාරම්ප්‍රෙව්ශ්‍ය වර්ෂපරිසමාප්තෞ තත්‍ර තත්‍ර සමස්තමායාං ව්‍යයං කර්මිභි ගර්ණකෛශ්ච සංඝානුඥාතේෂු භික්ෂුපූර්වදර්ශ්‍ය පරිශුද්ධපරිවාරකෛර්හථාසුඛමත්‍ර”
උක්ත කොටසින් පැහැදිලි වන්නේ සාමණෙර දෙනමක් සමග වාසය කරන්නා වූ භික්ෂූන් විසින් නියමිත ගම් පිරික්සා ඒවායෙහි ආදායම් ඒ ඒ ගමැ පිහිටි පන්සලට ගෙන්වා ගත යුතු යැ. එයින් පැහැදිලි වන්නේ එකල ආරාමයට අයත්වැ තිබූ ග්‍රාමයන් හී ආදායම ඍජුව මැ පන්සලට ගෙන්වා ගැනීම භික්ෂූන් විසින් කළ බව යැ. මෙම ගෙන්වා ගැනීමෙන් කටයුතු අවසාන නො වන්නේ ආදායම පිළිබඳ විමසා බැලීම දු භික්ෂූන් විසින් මැ කළ බව දැක්ක හැකි වන්නේ යැ.
නුමුත් ආදායම විමසා බැලීම වනාහී ඉතාමත් විධිමත් සහ විනිවිද ස්වරූපයෙන් සිදු කෙරුණු බව දැක්ක හැකි වන්නේ යම් කලෙකැ ආදායම විමසන්නේ දැ එකලැ කම්කරුවන් සහ ගණකයන් යන සියල්ලෝ මැ සිටිය යුතු අතර එය හුදු පෞද්ගලික වැ නො වුණු අතර සංඝයා ඉදිරියේ එනම් අවශ්‍යයෙන් මැ පත්කළා වූ සංඝමණ්ඩලය දැනුම්වත් කරමින් එය සිදු කළ යුතු විය. එයින් පෙනී යන්නේ ආරාමයන් ගේ පාලනය බාර වූ සංඝමණ්ඩලයක් පැවති බව යැ. මෙහි දී ආරාමවාසී වූ සියලු දෙනා වහන්සේලා විසින් නියම කළා වූ භික්ෂුමණ්ඩලයක් අදහස් කළ බව දැක්ක හැකැ. කෙසේ වුවත් මෙහි ලා සැකයක් ඇති වීමට හෝ අක්‍රමිකතාවක් සිදුවීමට ඇති ඉඩ නැති වන ආකාරයෙන් කට යුතු කළ බව පැහැදිලි වේ. එමෙන් මැ පරිපාලනය විෂයෙහි නියුක්ත වූ සියලුදෙනා වහන්සේ විසින් පත් කළා වූ සංඝමණ්ඩලයක් ද පැවති බව පෙනී යයි.
“පඤ්චිකාස්ථවිරෛරේව පලාදායිකා නිරූපණීයා”
මෙයින් පැහැදිලි වන්නේ අයවැය වාර්ථා කරන්නා වූ උක්ත භික්ෂූන් වහන්සේ විසින් මැ යම් අධිකරණ කටයුත්තක් නොහොත් නීතිමය විසර්ජණයක අවශ්‍යතාවක් ඇති වුවහොත් එය දු විමසා කළ යුතු බව යැ. එයින් පෙනෙනුයේ අධිකරණ ක්‍රමයක් ද ආරාම ආශ්‍රයෙහි පැවතුණු බව යැ. ඍජු සඳහනක් දක්නට නො ලැබෙන මුත් මෙම යුගයේ දී අධිකරන ස්ථර හෝ ක්‍රම කීපයක් පැවති බව ට දු මෙයින් සාධක උකහාතග ශැකැ. මක්නිසා ද යත් මෙහි මැ එක් තැනැකැ යම් වරදක් කැරැ එයට නියමිත වූ යම් දණ්ඩනයෙක් වේ ද ැඑය නිමවා පැමිණියවුන් ගැනැ දැක්වෙන්නේ එය ඇතැම් විට වෙනස් අධිකරණ ක්‍රමයකින් පැනවූවක් විය හැකැ. එසේ මැ අවශ්‍යයෙන් මැ මෙම යුගයේ වන විට දු භික්ිෂූ විනය සම්බන්ධ වූ අධිකරණ ක්‍රමයක් දු පවතින්න ට ඇතැ. මෙහි දැක්වෙන අධිකරණ ක්‍රමය බොහෝ විට ආදායම සහ විහාර පරරිපාලනය සම්බන්ධ විෂයෙහි ගත්තා විය හැකැ.
“තථා ද්විතීයස්‍යාපි ජීවිතදානකාය ඒව කමාර්දිකම්ප්‍රතිනිරීන්ෂ්‍ය පඤ්චිකාපුස්තකේ අභිනිකාතස්‍ය තස්‍ය නාම තත්තත්කර්ම චාභිලිඛ්‍ය දාතව්‍යම්”
මෙහි දී පැවසෙන්නේ යම් කලැ සේවකයන් ගේ වැටුප් දෙන්නේ වේ දැ එකල් හී අයවැය සටහන් තබන්නා වූ පොතෙහි සේවකයා ගේ නමත් ඔහු ගේ කාර්යයත් සටහක් කැරැ වැටුප් දිය යුතු බව යැ. මෙය ද මුදල් පරිපාලනය විෂයෙහි අයවැය වාර්තා පැහැදිලි වැ වාර්තා කරගැනීම පිළිබඳ සටහනක් වන්නේ අර්ථ පරිපාලනය වශයෙන් ඉතා වැදගත් සඳහනක් වන්නේ යැ.
“ආරාමභ්‍යන්තරතර්මතාරකෛ: පඤ්චකෞලිකෛරේව පරිච්ඡීද්‍ය කර්ම ග්‍රහීතව්‍යම් පරිශුද්ධශ්ච තෛරේව දාතව්‍යා”
මෙහි දී ගෘහස්ථයන් විසින් කමාට අදාල කටයුත්ත තමා විසින් මැ විමසා බලා භාරගත යුතු බවත් තමා විසින් මැ එය නිමවා දැක්විය යුතු බවත් දක්වන්නේ යැ. මෙයින් ඒ ඒ පුද්ගලයාට අයත් කාර්යයේ වගකීම පැහැර නො හැකි අකාරයෙන් කාර්ය පැවරීම සහ අවසන් කිරීමෙන් පසු වාර්තා කිරීම සිදු වී ආකාරය පැහැදිලි වේ. එනම් ආරාමයන් ගේ පරිපාලනයේ දී ආරාමික කටයුතු ගිහියන් සම්බන්ධ වන්නා වූ අවස්ථාවන් හී දී නිරවුල් සහ වගකීම් සහිත ආකාරයකින් එය පරිපාලනය කර ඇති ආකාරය පැහැදිලිවේ.
මෙහි ලා වෙසෙසින් දැක්වෙන්නා වූ කාරණයක් නම් නිකාය හතරෙන් විසිපස් නම බැගින් වැසිය යුතු අතර එම සියක් නම අතරින් හතලිස් නමක් ශාස්ත්‍රීය කරයුතුවලැ නියුතු වූවෝ විය යුතු වීම යැ. එනම් මෙහි සියලු නිකායන් හී භීක්ෂූන් වසය කළ අතර ශාස්ත්‍රීය කටයුතු පිළිබඳ දු වැඩි පැහැදිලි අවධානයක් දුන් බව පැහැදිලි වේ.
සමස්තයක් ලෙස සැලකූ විට විහාරාරාම පාලනයේ දී එකිනෙකාට විධිමත් වැ පැවරූ කර්තව්‍යයන් පැවතී ඇති අතර ඒ හා බැඳුණු මණ්ඩල හෝ සභා ක්‍රමයක් ද පැවති බව දැක්ක හැකැ. පුද්ගල කලමනාකරණයේ විධිමත්ස්වභාවයක් මෙහි දී දැක්ක හැකැ. එමෙන් මැ ඒ ඒ පුද්ගලයාට සාධාරණයක් ඉටුවන ආකාරයෙන් සහ අන්‍යයන්ට අසාධාරණයක් ඉටු නො වන ආකාරයෙන් සහ ආරාමයේ පැවැත්මට කිසිදු ආකාරයක හානියක් නො වන ආකාරයෙන් ඒ ඒ කාර්ය ඒ ඒ පුද්ගලයන් අතර බෙදා දී තිබුණු අතර ඒවා විමසීමට කල්වී තිබුණු බව පැහැදිලි යැ.

වැටුප් සහ දීමනා

පෙර පරිච්ඡෙදයෙන් දැකවූවා වූ විහාරාරාම වාසී වූ භීක්ෂූන් වහන්සේලාට සහ ආරාමයට අයත් වැ පැවති නින්දගම් හී වාසිත පුද්ගලයන් විසින් සාධනය කළ යුතු කර්තව්‍යයක් යම් ආකාර වන්නේ දැ එම කර්තව්‍යයන් සාධනය කිරීමට අය වශයෙන් ඒ ඒ පිරිසට විධිමත් වූ වැටුප් ක්‍රමයක් පැවතී ඇති ආකාරය දැක්ක හැකැ. මෙහි දැක්ක හැකි වෙසෙස් මැ කරුණක් නම් ආරාමවාසී භික්ෂූන් වහන්සේලාට ද රජය මගින් වැටුපක් ලබා දී තිබීම යැ.
“ඒකෛකශ්ච ශ්‍රාමණේර: තෘණ්වපි ග්‍රාමේෂු ප්‍රත්‍යෙතම් ස්ථාප්‍ය: පාලිකා තත්‍ර ප්‍රත්‍යෙක ද්විගුණා න චීවරිකා විහාරේ වනකර්ම්මකෘතෝරපි තථා”
මෙහි දී පැවසෙන කරුණූ මගින් පෙනී යනුයේ ආරාමවාසී ශ්‍රාමණේරයන් වහන්සේලාට සහ නවකර්ම කරන්නවුන්ට ආහාර-පාන සහ චීවර පිණිස දීමනාවක් හිමිවූ බවත් යැ. මෙම ලිපියෙන් එයින් ආහාරය පිණිස හිමි වූ කොටස පමණක් දෙගුණ කළ යුතු බව දැක්වෙන්නේ යැ. පසුව නියමයක් වශයෙන් මෙහි පනවා ඇත්තේ තවත් දියයුතු දේ යැ එනම් දියයුතු සලාකයන් ගේ ඇතුළත් විය යුතු දෑ සහ ඒවායේ ප්‍රමාණයන් යැ. එය පහත පරිදි දැකවේ. එහි ලා ආහාර වර්ගයන් ඇතුළත් වැ ඇති බව දැක්ක හැකැ.
“පඤ්චෝපදශං ප්‍රස්ථාර්ධං දධි ප්‍රස්ථප්‍රමිතේන ඝෘතේන විංශති: පාලිකා”
භික්ෂූන් වහන්සේ පිණිස වැටුප එසේ වන අතර ගිහියන් පිණිස ලබා දුන් දීමනා ඉඩම් වශයෙන් ලබා දුන් බව දැක්ක හැකැ.
“තේෂාපර්ධාධිකමේකං කිරික්ෂේත්‍රම්ප්‍රත්‍යෙකං ජීවිතාර්ථං කුධාණ්‍යවාපානාය ස්ථලී චෛකා ප්‍ර්‍රත්‍යෙකන්දේයා”
මෙහි දී වඩුවන් මෙවත් ගල්වැඩ සහ ලී වැඩ කළ පිරිසට එක් අයෙකුට කිරියක් කරම් වූ කුඹුරක් සහ ගොඩ ඉඩම් හෙවත් හේන ගොවිතැන සඳහා ඉඩමක් ද දිය යුතු බව මෙහි ලා දැක්වෙන්නේ යැ. එනම් සාමාන්‍ය වඩුවෙකුට ගොඩින් සහ මඩින් ඉඩම් දෙකක් ලබා දී තිබුණු බව දැක්ක හැකැ. තත්කාලීන වැ ආදායම් ලබා ගැනීම ඉඩමින් මැ සිදුවූයේ ඉජමක් ලබා දීම මැ වටිනාකමකින් යුතු දීමනාවක් බව පැහැදිලි යැ. එපමණක් නො වැ වැඩ බලන්නා වූ සේවකයා නොහොත් කංකානම ස`චදහා දැ උක්ත දීමනාව මැ ලබා දී ඇති බව දැක්ක හැකැ.
මෙම පිලියෙහි තවත් වඩා වැදගත් දීමනාවක් පිළිබඳ දැක්ක හැකි වන්නේ යැ එනම් යම් ආරාමපාලකයෙක් තමන් ගf් කටයුතුවලැ දක්ෂ වන්නේ ද ඔහුට අමුතුවෙන් දිය යුතු දීමනාවක් නොවේ නම් එක් ආකාරයක දිරි දීමනාවක් නොහොත් ඇගයීමක් වශයෙන් දෙන්නා වූ දීමනාවක් පිළිබඳව දු දැක්වෙන්නේ යැ.
“පරිවහණස්‍යාපි අන්තර්බහිශ්ච රක්ෂාකුශලස්‍ය පදාලාං වර්ජංප්‍රත්‍යෙකං ප්‍රතිග්‍රාමං කිරිකිරික්ෂේත්‍රන්දාතව්‍යං”
මෙහි දී එක් එක් කමෙකින් කිරියක් ප්‍රමාණ වූ ඉඩමක් ආරාම පාලනයෙහි දක්ෂ වූ පාලකයාට දිය යුතු බව දක්වන්නේ අන්‍යයන්ට නො වන බව දු දැක්වේ එනම් මෙය දිරි දීමනාවක් වශයෙන් දෙනු ලබන්නක් යැ. මෙයින් පෙනී යනුයේ නූතනයට ඉතා මැ ආසන්න වූ මානවසම්පත් කලමනාකරණයක් මේ යුගයේ දු පැවතී ඇති බව යැ. ක්‍රියාවෙහි දක්ෂ සේවකයා මට දිරි දීමනා දීමෙන් ඔහුගේ සේවය වඩාත් යහපත් වන්නේ යන්න සැලකීම එකලැ දු වූ බව මෙයින් පැහැදිලි වේ.

ආචාරධර්ම මාලාව

ඕනෑම ආයතනයක් පවත්වාගෙන යෑමේ දී එම ආයතනය තුළ පවත්වාගන්නා වූ ආචාරධර්ම මාලාවක් වන්නේ යැ. එය වනාහී ආයතනයේ ඉදිරි පැවැත්මත් ගරුනාමයත් සේ මැ අරමුණ දැක්ම වැනි දේ දු ආරක්ෂා කර ගැනීමට හේතු වනනේ යැ. මෙම ලිපියෙහි ලා ආචාරධර්ම දැක්වීම යම් ආකාරයක නීතියක් දැක්වීම් වශයෙන් දක්වා ඇත්තේ යැ. එනම් මේ මේ ආකාරයේ ක්‍රියා කරන්නා වූ පිරිස් මෙහි වාසය නො කළ හැකි බව දක්වීමක් සිදු කෙරී ඇතැ. මෙම ආචාරධර්ම සංග්‍රහයට අයත් කරුණූ දාහතක් පමණ වන්නේ පහත පරිදි එය පෙළ ගැස්විය හැකැ.

  1. එක් වෙහෙරකින් දීමනා ලබන්නාට සහ එම වෙහෙරෙහි කටයුතු කරන්නාට වායස කළ නො හැකැ.
  2.  යමෙක්ට කෙත්වලින් (හෝ කුමනාකාරයක හෝ) ආදායමක් ලබන්නේ නම් ඔහුට භෝජන හෝ වස්ත්‍ර දීමනා ලැබිය නො හැකැ.
  3.  ශාසනයට අනුව නො පවතින්නා වූ අශාසනිකයාන වාසය කළ නො හැකැ.
  4. ස්ත්‍රී පෝෂකයෙකු නම් වාසය කළ නො හැකැ නුමුත් මවුපියන් පොෂණය කළ හැකැ.
  5.  ගෞරව සහ ලාබ පිණිස රජගෙට දැකුම් යවන්නා වාසය කළ නො හැකැ.
  6. අන් වෙහෙරකට උපකාර කරන්නන් වාසය කළ නො හැකැ.
  7. නිස නො මිදූවන් සමග වාසය කරන්නන්ට වාසය කළ නො හැකැ.
  8. නිස නො මිදුවා වරදක් කළ අනතේවාසිකයා ද එය නො වැලැක්වූ උපාධ්‍යායයන් ද වාසය කළ නො හැකැ.
  9.  උපසම්පදා වී උපැවදි වූවන් වාසය කළ නො හැකැ.
  10.  ගොවිතැන් සහ වෙළඳාම් කරන්නන් වාසය කළ නො හැකැ.
  11.  අන් වෙහෙරකින් නෙරපණ ලද්දන් වාසය කළ නො හැකැ.
  12. නිස නො රකින්නන් වාසය කළ නො හැකැ.
  13.  පූජා අතපසු කරන්නන් වාසය කළ නො හැකැ. සඟ කිස මග හැරුණ ද පූජා කර්ම කළ යුතු යැ.
  14.  අධර්මවාදීන් වාසය කළ නො හැකැ.
  15.  ගොදුරු ගම්වලැ නෑයන් වන්නන් වාසය කළ නො හැකැ.
  16.  පරුෂවචන, මුසාබස් කියන්නන් විසින් වාසය කල නො හැකැ.

මෙහි දී පෙනී යන දේ නම් ආරාමයන් හී නවාතැන් දීම නොහොත් වාසය කිරීමට අවස්ථාව දීමේ දී භික්ෂු විනය නිසි ආකාරයෙන් ආරක්ෂා කරන්නා වූ භික්ෂූන් පමණක් තෝරාගැනීමටත් වනය පමණක් නො වැ ධර්මය දු නිසි ආකාරයෙන් පිළිගන්නා නොවේ නම් ධර්මය යැ යි අධර්මයක් පවසන්නන් හඳුනාගැනීමටත් අවධානය යොමු කර තිබූ බව යැ.
මෙහි දැක්ක හැකි එක් විශේෂ නියමයක් වේ එනම් කුඩා මැ වූ ඉඩමකින් හෝ ආදායමක් බලන්නන් හට ආරාමයෙන් ආහාර සහ වස්ත්‍ර සඳහා වූ දීමනාවන් නො ලැබෙන බව යැ. මෙය ආයතනයක් පාලනයේ දී ගත යුතු ඉතා විවෘත්ත මනසකින් යුතු තීරණයකැ. මෙහි දී මූලික අවශ්‍යතාිව ලෙස සලකා ඇත්තේ ආගමික දිවිපෙවතක් ආගමානුකූලව එනම් විනය අනුව ධර්මය හදාරමින් සහ ආරක්ෂා කරමින් ගත කිරීම වන්නේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් රජය විසින් ලබා දීමත් ඒ අනුව ආරාම පාලනය කිරීමත් සිදු වී ඇති අතර යමෙක් ආදායමක් ලැබීමේ ක්‍රමයක් ඇති නම් ඔහුට වුව දු ආරාමයේ වාසයට ඉඩ ලැබී ඇතැ. නුමුත් අවශ්‍ය දීමනා ලැබෙන්නේ නැතැ. හුදු ආදායමක් ඉපැයීම තහනම් කරනු වෙනුවට මෙම ගෙන ඇති ක්‍රියාමාර්ගයෙන් පෙනී යන්නේ මුඛ්‍ය අරමුණ විශයෙහි ආරාම පරිපාලනයේ දී දී ඇති අවදානය සහ එය ක්‍රියාත්මක වූ විවෘත මනසී ස්වභාවය යි.
දාරකව්‍යාජයෙන් කටයුතු කරන්නන් වාසය කිරීම වාරණයෙන් අනකා ලේ වරද නො සලකා හැරීමේ අවස්ථාවත් පරම්පරානුගත වැ උරුමවන්නා වූ භුක්ති සම්ප්‍රදායක් හෝ කෙනෙකුට වැඩි සැලකිලි දැක්වීමක් හෝ යන කිසිවක් ඇති නොවීමට කටයුතු කර ඇති ආකාරය දැක්ක හැකැ.
අන් වෙහෙරකට උපකාර කරන්නන්, ස්ත්‍රීපෝෂකයන් සේ මැ ගොදුරුගම් හී නෑයන් ඇති පිරිස් වාසය කිරීම වාරණය කිරීම මගින් ආරාමයේ සම්පත් ආරාමයේ අරමුණූවලින් පරිබාහිර වූ වෙනත් අරමුණූ විෂයෙහි වැය වීම වලක්වා ගැනීමට කටයුතු කර ඇති ආකාරය දැක්ක හැකැ.
ගෞරවය හෝ ලාබ බලාපොරොත්තුවෙන් රජගෙට දැකුම් යවන්නා වූ පිරිස් වාරණය කිරීම මගින් පෙණෙනුයේ ආරාම පාලනයේ දී ආයතනික ගෞරවය සහ සමාජස්තරය තුළ ආයතනයෙහි ස්වභාවය සේ මැ ස්ථානය පිළිබඳ අවදානය යොමු කළ බව යැ.

නීති

ඕනෑම ආයතනයක් පවත්වාගෙන යෑමේ දී එයට අදාල නීති පද්ධතියක් පැවතිය යුතු අතර එයින් ආයනයේ පැවැත්ම තීරණය වේ. මෙම අභිලේඛනයෙන් ද ආරාම ආශ්‍රිත වැ පැවති නීති පද්ධතිය පිළිබඳ අදහසක් ලැබ්බ හැකි අතර එයින් පෙනී යන්නේ ආරාමික පැවැත්ම සදාචාරාත්ම සහ නෛතික පරිසරයක් තුළ බපැවති බව යැ. එමෙන් මැ මෙහි ඇති වැදගත්කම වන්නේ මෙම නීති හුදු භික්ෂූන් විෂයේ පමණක් නො වැ ආරාමයට අදාල කටයුතු කරන්නා වූ ඒ අයත් ග්‍රාමයන් හී වාසය කරන්නා වූ ගිහියන් විෂයේ දු බලපැවැත්වෙන ලෙස ඉදිරිපත් වී තිබීම යැ. මෙයින් පෙනී යනුයේ එකල දිවයිනේ ජනජීවිතයට සැලකිය යුතු බලපෑමක් ආලෝකයක් ආරාමයන් කෙරෙන් විසරණය වූබව යැ. පන්සල සමග බැඳුණු ජීවන රටාවක් තුළ ගැමියා දිවි ගෙවූ බව මෙයින් දැක්ක දැක්ක හැකැ.

  1.  යම් අයෙක් අපරිශුද්ධ නීති විරෝධි ආකාරයෙන් දිවි තෙවත් ද ඔවුහූ ගත් දේ නැවත දිය යුතු යැ.
  2.  අධික මාර්ගෝපනඛර ඇත්තා පවා සහල් ආදී වැඩි කර නො ගත යුතු යැ.
  3.  දඬුවම් විඳ නැවත පැමිණි ගිහියන්ට කෙත් ආදිය නැවත පැවරිය යුතු යැ.
  4.  ගම්වලැ සිටින්නවුන් සංඝයා සහ සේවානියුක්තයා යන්නන් විසින් රැකිය යුතු යැ.
  5.  තම තමන්ට පැවරුණු කර්තව්‍යය පිළිවෙලින් නිසියාකාරයෙන් නො කරන්නා වූ කම්කරුවන්ට ද වැරියන්ට ද දෝශ වේ නොහොත් අනතුරු හැඟවිය යුතු යැ. ඉදින් ඔවුහු වැරදි නිවැරදි නො කරගත්තෝ නම් වැටුප් නැවැත්විය යුතු යැ.
  6.  අදක්ෂ ආරාම පාලකතයාට පූර්වෝක්ත (විශේෂ) දීමනාව නො දිය යුතු යැ.
  7. දඬුවම් වශයෙන් සංඝයාට ගෙවිය යුතු මුදල් අනිනාර්යයෙන් සංඝයා විසින් භාරගත යුතු යැ.

මෙහි අවසාන නීතිය දෙස විමසීමෙන් බලා නම් එහි දී දැක්වෙනුයේ නීතිය හරියාකාරයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවදානය යොමු වී තිබුණු බව සහ එසේ නො කිරීම ද වරදක් ලෙස පිළිගැණුනු බව යැ. ආයතනයක් පරිපාලනයේ දී නීති පැනවීම සේ මැ නීතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට නීකිය ක්‍රියාත්මක කරනවුන් පෙළඹවීම ද ඉතා වටිනා පරිපාලනමය ක්‍රියාවක් වන්නේ යැ.
සමස්තයක් ලෙස සැලකූ විට පෙනී යන්නේ මෙම අභිලේඛනයෙන් දිවයිනේ අතීතයේ පැවති ආරාම පාලනය පිළිබඳ ඉතා වැදගත් කරුණු සමූහමයක් දැනගත හැකි වන බවත් එහි සැකැස්ම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි බවත් යැ.

සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

  සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය ·          පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. ·          කණ්ඩකාව්‍ය ගණයට අ...