ආත්මය පිළිබඳ හින්දු (වේදාන්ත) සහ බෞද්ධ (මාධ්‍යමක) සංකල්ප.

වේදාන්ත දර්ශනය බුදුන් වහන්සේ ගේ පහළ වීමට පෙර පැවති අතර එය වඩාත් හොඳින් වර්ධනය වූයේ බුද්ධ කාලයට පසුව යි. බුදුන් වහන්සේ ගේ දේශනාවක් වන "අනාත්ම" සංකල්පය නිවැරදි ව අවබෝධ කර ගැනීමට මෙම වේදාන්ත හී එන ආත්ම සංකල්පය යම් තරමකින් හෝ දැන සිටීම වැදගත් වේ. ආත්මය යනු කුමක් ද යන්න වේදාන්ත ශ්‍රැතියේ හෙවත් උපනිෂද් හී දක්වා ඇති ආකාරය පහත පරිදි වේ.
.
අනේජදේකං මනසෝ ජවීයෝ
නෛනද්දේවා ආප්නුවන්පූරවමර්ෂත්|
තද්ධාවතෝ'න්‍යානත්‍යේති තිෂ්ටත්-
තස්මින්නපෝ මාතරිශ්වා දධාති||ඊශාවස්‍යෝපනිෂදය|4||
=
ඒ ආත්මන් නො සෙල්වෙන්නේ (වෙනස් නො වන්නේ) ය. මනසට වඩා වේගවත් වන්නේ ය. ඔහු සියල්ලට පූර්ව නිසා ඉන්ද්‍රියයන් ගෙන් දැනගත නො හැක්කේ ය. ස්ථිර වන්නේ වුවත් වේගවත් වූ සියල්ලට ම වඩා වේගත් වන්නේ ය. එහි නිසා ම වායුව කර්ම ආදියේ විභාග කරයි.
.
මෙහි දී ආත්මන් ගෙ වෙනස් නො වීමේ ස්වභාවයත් ඉන්ද්‍රියයන් ගෙන් අවබෝධ කිරීමේ අපහසු බවත් දක්වා ඇත.
.
ශ්‍රෝත්‍රස්‍ය ශ්‍රෝත්‍රං මනසෝ මනෝ යද්වාචෝ හ වාචං ස උ ප්‍රාණස්‍ය ප්‍රාණශ්චක්ෂුෂශ්චක්ෂුරතිමුච්‍ය ධීරාඃ ප්‍රේත්‍යාස්මාල්ලෝකාදමෘතා භවති||කේනෝපනිෂදය|1|2||
=
ආත්මන් කනේ ඇසීම ද, මනසේ සිතීම ද, ප්‍රකාශ කරන වචනයේ වචනය ද, ප්‍රණයේ ප්‍රාණය ද, ඇසේ ඇසීම ද ලෙස දැනගන්න කෙනා ලෝකයෙන් මිදී අමර වන්නේ ය.
.
මෙහි දී ආත්මන් යනු මනුෂ්‍යයා ගේ ඉන්ද්‍රියයන් ගේ සජීවීත්වය ශක්‍යතාව දානය කරන ශක්තිය වන බව දක්වා ඇත.
.
න ජායතේ ම්‍රියතේ වා විපශ්චින්නායං
කුතශ්චින්න බභූව කශ්චිත්|
අජෝ නිත්‍යඃ ශාශ්වතෝ'යං පුරාණෝ
න හන්‍යතේ හන්‍යමානේ ශරීරේ||කඨෝපනිෂදය|1|2|18||
=
ආත්මන් උපදින්නේ නැත, මිය යන්නේ නැත, අනෙක් කාරණයකින් ඇති වුනා හෝ තමා ම ඇති වුණා හෝ නො වේ, මෙය අජ හෙවත් නූපන්නේ වේ, නිත්‍ය වේ, ශාශ්වත වේ, පුරාණ වේ. නැසෙන්නේ හෝ නැසිය හැක්කේ නො වේ.
.
මෙයින් ආත්මන් සදාකාලික බවත් අවිනාශී බවත් පැහැදිලි වේ. විනාශ වන්නේ හෝ විනාශ කළ හැක්කේ නොවේ. ඉපදී නැති නිසා මරනයක් ද නැත.
.
අණෝරණීයාන්මහතෝ මහීයා-
නාත්මාස්‍ය ජන්තෝර්නිහිතෝ ගුහායාම්|
තමක්‍රතුඃ පශ්‍යති වීතශෝකෝ
ධාතුප්‍රසාදාන්මහිමානමාත්මන්ඃ||කඨෝපනිෂදය|1|2|20||
=
කුඩා ම දේටත් වඩා කුඩා විශාල ම දේටත් වඩා විශාල මේ ආත්මන් ජීවීන් ගේ ශරීරයේ සැඟවුණු ස්ථානයක හෙවත් ගුහාවේ වාසය කරයි. කාමයෙන් තොර වූ කෙනා මේ මහිමාන්විත ආත්මය දැක ශෝක රහිත බවට පමිණේ.
.
මෙහි දී පැහැදිලිව ම අනෙකුත් ඉන්ද්‍රියයන් ගෙන් අනන්‍ය ව ශරීරයාශ්‍රිත වූ ආත්මන් ගේ පැවැත්ම ගැන පැහැදිලි වේ.
.
මුණ්ඩකෝපනිෂදයේ තෙවැනි මුණ්ඩකයේ දෙවැනි කාණ්ඩයේ දී ආත්මන් සහ බ්‍රහ්මන් ගේ ඒකත්වය පැහදිලි කෙරෙ යි.
.
යමේවෛෂ වෘණුතේ තේන ලභ්‍යස්-
තස්‍යෛෂ ආත්මා දිවෘණුතේ තනුං ස්වාම්||මුණ්ඩකෝපනිෂදය||3|2|3||
=
පරමාත්මන් ප්‍රාප්ත කර ගැනීමේ ආශා කරන්නාට, පරමාත්මන් ප්‍රාප්ත කළ හැකි වන්නේ ය. එයින් පසු ආත්මන් තමන් ගේ ස්වරූපය ව්‍යක්ත කරන්නේ ය.
.
මෙසේ පරමාත්මන් ප්‍රාප්ත කිරීමෙන් පසු තමන් ගේ ස්වරූපය ව්‍යක්ත කරන ආත්මන් මගින් පහත පරිදි එම සැබෑ ස්වරූපය දැක්වෙන්නේ ය.
.
ස යෝ හ වෛ තත්පරමං බ්‍රහ්ම වේද බ්‍රහ්මෛව භවති|මුණ්ඩකෝපනිෂදය|3|2|9||
=
බ්‍රහ්මන් ව (ආත්මන් ව) අවබෝද කරගන්නා බ්‍රහ්මන් ම වන්නේ ය.
.
මෙයින් ආත්මන් යනු සැබෑ වශයෙන් පරමාත්මන් වූ බ්‍රහ්මන් ම බව පැහැදිලි වන්නේ ය.
.
සර්වකර්මා සර්වකාමඃ සර්වගන්ධඃ සර්වරසඃ  සර්වමිදමභ්‍යාත්තෝ'වාක්‍යනාදර ඒෂ ම ආත්මාන්තර්හෘදය ඒතද්බ්‍රහ්මෛතමිතඃ ප්‍රේත්‍යාභිසංභවිතාස්මීති යස්‍ය ස්‍යාදද්ධා න විචිකිත්සාස්තීති හ ස්මාහ ශාණ්ඩිල්‍යඃ ශාණ්ඩිල්‍යඃ||ඡාන්දෝග්‍යෝපනිෂදය|3|14|4||
=
ඔහු සියලු කර්ම, සියලු කාම, සියලු ගන්ධ, සියලු රස යන මේ සියල්ල හාත්පසින් ව්‍යාප්ත කරන්නේ වචනයෙන් කිව නො හැකි මුලාවෙන් තොර වූයේ මා ගේ හෘදය නම් නෙළුම මැදැ පවතී. මෙය ම බ්‍රහ්මන් වේ.  මේ ශරීරයේ මරනයෙන් පසු, මම ඒ බ්‍රහ්මන් ප්‍රාප්ත වෙමි. එය නිශ්චිත වන අතර ඒ ගැන කිසි දු සැකයක් නැත. ශාණ්ඩිල්‍ය එසේ කීවේ ය. ශාණ්ඩිල්‍ය එසේ කීවේ ය.
.
මෙයින් පෙර කී සියල්ල ම සැකැවින් දක්වා ඇති සේ ය. මෙහි දී කියැවෙන්නේ ආත්මන් ම බ්‍රහ්මන් වන බව යි. එනම් එය විනාශ නො වන වෙනස් නො වන සදාකාලික දෙයක් වන්නේ ය.
විශේෂයෙන් එය අස්තිත්වයක් හෙවත් පැවැත්මක් ඇති දෙයක් වන්නේ ය. ශරීරයේ සත්ත්වයා තුළ පවතින. අන් සියල්ලෙන් පරිබාහිර වූ අනන්‍ය වූ දෙයක් ලෙස පවතින්නකි ආත්මය.
.
බෞද්ධ අනාත්ම සංකල්පය දක්වන්නේ නම් පහත පරිදි වේ.
.
න ස්වතෝ නාපි පරතෝ
න ද්වාභ්‍යං නාප්‍යහේතුතඃ|
උත්පන්නා ජාතු විද්‍යන්තේ
භාවාඃ ක්වචන කේචන||1|1||
=
තමා කෙරෙන්, අනුන් කෙරෙන්, තමා සහ අනුන් කෙරෙන් හෝ අහේතුක ව හෝ ඇති වූ කිසිවක් නො දැනිය හැකි ය.
.
එනම්, මෙහි දී පවසෙන්නේ, ලෝකයේ පවතින කිසිවක් කෙනෙකු ඇති කළ දේ හෝ තමා ඇති කරගත් දේ හෝ ඒ දෙක ම හෝ නො වන බව ය. ඉබේ ඇති වීමක් ද සිදු නො වූ බව ය.
කිසිවක් එසේ ඇති වූ බව ඇස කන නාසය දිව ශරීරය මනස යන කිසිවකින් දැනිය නො හැකි ය.
එසේ නම් අප දකින අද්දකින ලෝකය කෙසේ ඇති වී ද යන ගැටලුව ඇති වේ. එය මේ පරිච්ඡේදයේ ම දෙවැනි සිලොවෙන් විසඳා ඇත්තේ ඒ ඇති වීම ප්‍රත්‍ය මගින් වන බව දැක්වීමෙන් ය.
.
ප්‍රත්‍යයන් මගින් ලෝකය ඇති වන බව දැක්වූ පසු ස්ව-භාව පරීක්ෂා කිරීමේ පරිච්ඡේදයේ දී පවසන්නේ සියල්ල ප්‍රත්‍යයන් ගෙන් ඇති වන්නේ නම් ස්ව-භාවයක් (මේ ශබ්දය අස්ථි ශබ්දයට සමාන අර්ථයේ යොදා ඇත. මෙහි අර්ථය වන්නේ තමාට ම අනන්‍ය වූ වෙනස් නො වන ස්වභාවයක් ඇති යන්න යි. පවතින්නේ යන්න යි. මෙය අත්ත හෙවත් ආත්මට සමාන වන්නේ ආත්මය අවිනාශී පැවැත්මක් බව දැක්වෙන නිසා ය.) පැවතිය නො හැකි බව යි.
.
න සම්භවඃ ස්වභාවස්‍ය යුක්තඃ ප්‍රත්‍යයහේතුභිඃ|
හේතුප්‍රත්‍යයසංභූතඃ ස්වභාවඃ කෘතකෝ භවේත්||15|1||
.
ස්වභාවඃ කෘතකෝ නාම භවිෂ්‍යති පුනඃ කථං
අකෘතිමඃ ස්වභාවෝ හි නිරපේක්ෂඃ පරත්‍ර ච||15|2||
=
ස්වභාවය ප්‍රත්‍යයන් ගෙන් ඇති වේ යැ යි කිව නො හැකි ය. හේතු ප්‍රත්‍ය නිසා ඇති වූ ආත්මය කෘතක හෙවත් සෑදුණු දෙයක් වන නිසා ය.
.
කෘතක වූ ස්වභාවයක් පැවතිය නො හැකි ය. ස්වභාවය අනෙකක් මත රඳා නො පවතින්නක් හෙවත් අනෙකකට සාපේක්ෂ නො වන අතර නො කරන ලද්දක් ම වන්නේ ය.
.
සරලව මෙහි දී කියවෙන්නේ හේතු ප්‍රත්‍ය මගින් ඇති වූ කිසිවක් පැවැත්ම විය නො හැකි බව යි. එසේ සෑදුණු දේ තුළ කලින් කී ලක්ෂණ නො පවතිබ බැවිනි ඒ.
.
මෙම පරිච්ඡේදයේ දී පරභාව හෙවත් ස්වභාවයෙන් හෙවත් (තමා ගේ) ස්වභාවයෙන් පිට යමක් පවතින්නේ ද නැති බව දක්වා ඇත.
.
තමාට ස්වභාවයක් නැති නම් අන් දෙයකට ස්වභාවයක් පැවතිය නො හැකි ය. සෑම විට ම අන් දේ, ඒ දේට තමා වන නිසා ය ඒ. |15|3|
.
මේ ආකාරයට ම අභාවය හෙවත් පැවැත්මක් නො වීම ද විය නො හැකි බව දක්වා ඇත.
.
භාවස්‍ය චේදප්‍රසිද්ධිරභාවෝ නෛව සිධ්‍යති|
භාවස්‍ය හ්‍යන්නථාභාවමභාවං බ්‍රැවතේ ජනා||
.
භාවයක පැවැත්ම නැති විට අභාවයක් කෙසේ වත් විය නො හැකි ය. අභාවය කියන්නේ භාවය වෙනස් වීම හෙවත් නැති වීමට ය.
.
මෙහි දී කියන්නේ ස්වභාවය ඇති බව කිව නො හැකි නම්, ඒ දේ නැති බවක් ද කිව නො හැකි බව යි. එක් දෙයක් නැතැ යි කියන්නේ වෙනත් දෙයක් පවතින නිසා ය. නැති නම් එය පෙර පැවති නිසා ය. එසේ නො මැති ව ප්‍රත්‍ය නිස ඇති වූ දෙයකට ඇති හෝ නැති යැ යි කිව නො හැකි ය.
.

අස්තීති ශාස්වතග්‍රාහෝ නාස්තීත්‍යුච්ඡේදදර්ශනම්|
තස්මාදස්තිත්වනාස්තිත්වේ නාශ්‍රීයේත විචක්ෂණඃ||15|10||
=
ඇත යනු ශාශ්වත වාදය යි. නැත යනු උච්ඡේද වාදය යි. බුද්ධිමතා ඇත නැත යන අන්ත දෙක ම ප්‍රතික්ෂේප කරයි.
.
මෙහි දී ස්වභාවයක් ඇත හෝ නැත යන දෙක ම ඉවත දැමීමක් සිදු කර ඇත.
.
කලින් දැක්වූ ප්‍රත්‍ය සංකල්පය සහ පසු දැක්වූ ස්වභාව සංකල්ප දෙක ම පාදක කරගනිමින් ආත්ම සංකල්පය පිළිබඳ බෞද්ධ මතය ඉදිරිපත් කිරීම දහඅටවැනි පරිච්ඡේදයේ දී සිදු කෙරේ.
.
ආත්මා ස්කන්ධා යදි භවේ දුදයව්‍යභාග්භවේත්|
ස්කන්ධේභ්‍යෝ'න්‍යෝ යදි භවේද්භවේදස්කන්ධලක්ෂණඃ||
=
ආත්මය යනු පඤ්චස්ඛන්ධයට නම්. එය ඇති වීම නැති වීමට හසුවේ. එය ස්කන්ධයන් ගෙන් වෙනස් කිසිවක් වේ නම් වෙනත් ධර්මයන්ට අදාල ලක්ෂණයන් ගෙන් එනම් නැති වීම සහ වෙනස් වීම යන ලක්ෂණයන් ගෙන් යුතු විය යුතු ය.
.
මෙහි දී කියවෙන්නෙ පඤ්චස්ඛන්ධය තුළ ආත්මය යැ යි ගත හැකි කිසිවක් නැති බව ය. පඤ්චස්ඛන්ධය ම විනාශ වීමට වෙනස් වීමට ලක් වීම එයට හේතුව යි. ආත්මය එසේ විය නො හැකි බව ඉහළ පැහැදිලි කර ඇත. පඤ්චස්ඛන්ධයෙන් අන්‍ය කිසිවක් ද විය නො හැක. එයින් අන්‍ය වූ දේ ද හේතුප්‍රත්‍ය මගින් සෑදී ඇති නිසා විනාශ වීම ස්වභාවය කොට තිබීම නිසා ය ඒ.
.
මෙහි වඩා වැදගත් ම පහැදිලි කිරීම වන්නේ නාගර්ජුනපාදයන් විසින් මගේ සහ මම යන ආකල්පයන් ගෙන් තොර යැ යි සිතන පුද්ගලයෙකු පැවතිය නො හැකි බව දැක්වීම යි. මගේ කියා දෙයක් නැතැයි සිතිය හැක්කේ මගේ කියා දෙයක් පවතින්නෙ නම් පමණි. මම නැතැ යි සිතිය හැක්කේ මම පවතින්නේ නම් පමණි.
.
මෙයින් පෙනී යන්නේ බෞද්ධ දරශනය තුළ ආත්මය පිළිබඳ වන්නේ පහත සංකල්පය වන බව යි.
.
සියල්ල හේතූන් ප්‍රත්‍යයන් නිසා ඇති වී ඇත.
ඒ නිසා කිසිවක ස්වභාවයක් හෙවත් තමාට ම වන පැවැත්මක් නැත.
එසේ ඇති වන සියල්ලේ ලක්ෂණයවන්නේ වෙනස් වීම ය.
දෙයක් නැති වීමට නම් ඒ දෙය පැවතිය යුතු ය.
කිසි දෙයක් පැවතියේ නැති නිසා නැති වීම ද විය නො හැකි ය.
ඒ නිසා ආත්මය යනු ඇත්තේත් නැති නැත්තේත් නැති දේකි.
.
එනිසා කිසිවකු, අනාත්ම යනු "ආත්මයක් නැතැයි කීමක් නො වේ." කියන්නේ නම් එය සාවද්‍ය වන්නේ ය. මක්නිසා ද යත්,
.
ආත්මය - p
ආත්මයක් නැත්තේ - ~p
ආත්මයක් නැත්තේ නැත ~(~p)
එනම් , p = ~(~p)
වන නිසා ය.
.
නිවැරදි ප්‍රකාශය විය යුත්තේ ආත්මයක් ඇත්තේත් නැති නැත්තේත් නැති යන්න යි..
.
ප.ලි. _
මෙම ඇත්තේත් නැති නැත්තේත් නැති ආත්මය පිළිබඳ හෙවත් පැවැත්ම නිසා යි, නාගර්ජුණපාදයන් නිවනෙන් වෙන් කර දැක්විය හැකි කිසිවක් සසරේත් සසරෙන් වෙන් කර හැකි කිසිවක් නිවණේත් නැතැ යි ද ඒ දෙකේ කෙළවර ඉතා ම සියුම් කිසිවක් හෝ නැතැ යි ද පැවසූවේ.

සංස්කෘත ව්‍යාකරණය සහ සිංහල භාෂාව


1.     1. සංස්කෘත කියන්නේ මොකක් ?

සං+කෘ+ත කියන්නේ සම්පූර්ණයෙන් නිමවන ලද හෝ මනා කොට සකසන ලද වැනි අර්ථයක් ඇති ශබ්දයක්.

2.      2.ඒ කියන්නේ සංස්කෘත කියන්නේ කෘත්‍රිම භාෂාවක් ද?

නැහැ සංස්කෘත කියන්නේ කෘතිම භාෂාවක් නෙමේ. සංස්කෘත කියන්නේ කලින් පැවති භාෂාව වඩාත් විධිමක් ලෙස ඉදිරිපත් කිරීමක්.

3.    3. ඒ කියන්නේ සංස්කෘත පැරණි භාෂාවක් නෙමේ ද? මොකක් ද කලින් තිබ්බ භාෂාව?

සංස්කෘත කියන්නේ පූ.ව්‍ය.ව සිව්වැනි සියවසේ දී සංස්කරණය කරමින් ඉදිරිපත් කෙරුණු භාෂාවක්. ඒ නිසා සංස්කෘත කියන්නේ පරණ භාෂාවක් කීම ඒ තරම් ම ලොකු වරදක් බොරුවක් වෙන්නේ නැහැ.
ඊට කලින් තිබ්බ භාෂාව හඳුන්වන්නේ වෛදික භාෂාව නමින්. ඒ නම් සෘග් ආදී වේදයන් ලියැවී තිබෙන භාෂාව යි.

4.    4. ඒත් වේදය ලියවී ඇත්තේ සංස්කෘතකයෙන් නේ?

නැහැ වේදය ලියවෙන්නේ වෛදික භාෂාවෙන්. ඒ භාෂාව එම කාලයේ කථිත භාෂාව යි. එනම් පූ.ව්‍ය.ව දෙදහස්පනසීය වන විට ඉන්දුනිම්නය පුරා ජනයා භාවිත කළ භාෂාව වන්නේ වෛදික භාෂාව යි.
දෙවියන්ට ස්තව ගීතිකා රචනා කිරීම තමන් ගේ භාෂාවෙන් ම කරපු මේ ජනතාව ඒවා මතකයේ තියාගන්න හුරු වුණා විතරක් නෙමේ තමන් ගේ පසු පරම්පරාවන්ට ඒවා ඉගැන්නුවා. ඒ උගන්වපු ස්තව සංග්‍රහ කිරීම නිසා සෘග්වේදය බිහිවුණා. ඒත් කාලයත් එක්ක කටපාඩම් කළ වේදය ලියවී ඇති භාෂවෙන් ඔවුන් එදිනදා භාවිත කළ භාෂාව වෙනස් වෙන්න පටන් ගත්තා. පූ.ව්‍ය.ව සිව්වැනි සියවස වෙන විට ඔවුන් ව්‍යාවහාර කළ භාෂාව වෛදික භාෂාවට සමාන නැතිනම් එයනි විකාශනය වුණු වෙනත් භාෂාවක් වුණා. ඒ භාෂාවේ විධිමත් ස්වරූපය තමයි වර්තමානයේ සංස්කෘත ලෙස හඳුන්වන්නේ.

5.      5. ඉතින් කොහොම ද ඒක මනාව සැකසූ භාෂාවක් වෙන්නේ ඒකත් අනෙක් භාෂා වගේ ම විකාශනය වුණු භාෂාවක් නේ?

එහෙම විකාශනයෙන් සැදුණු භාෂාව පාණිනි නම් ව්‍යාකරණඥයා විසින් මනාව සකසන ලද නිසා යි එයට සංස්කෘත නම ව්‍යවහාර කෙරෙන්නේ. වෙනත් විදිහකින් නම් ඔහු විසින් සැකසෙන්නේ විධිමත් සම්පූර්ණ ව්‍යාකරණයක්.

6.     6.ආ....! ඒ කියන්නේ පාණිනි සංස්කෘතයට කෘත්‍රිම ව ව්‍යාකරණයක් හදනවා?

ඇත්තට ම නම් පාණිනි කරන්නේ ඒ කාලය වින විට තිබ්බ ව්‍යාකරණය වඩා හොඳන් විධිමත් ව සැකසීමක්. ව්‍යාකරණය ආරම්භ වෙන්නේ පාණිනි ගේ කාලයට කලින්.

7.   7.  වෛදික භාෂාවටත් ව්‍යාකරණයක් හදලා තියෙනවා ද? කවු ද ඒක හැදුවේ?

වෛදික භාෂාවට සංස්කෘතයට වගේ විධිමත් පිළිවෙලකට සංග්‍රහ කළ ව්‍යාකරණයක් තිබී නැහැ. නුමුත් ව්‍යාකරණයේ ආරම්භය වෙන්නේ වෛදික භාෂාව ව්‍යවහාරයෙන් ඈත් වෙන යුගයේ දී වේද මන්ත්‍රවල තේරුම් ගන්න අවශ්‍ය වූ නිසා ව්‍යාකරණය ඇති කෙරුණා.

8.   8.  ඒ කියන්නේ වෛදික භාෂාව ඉගෙනගන්න හදපු නිති ටිකක් තමා ව්‍යාකරණය කියන්නේ?

ඒ කාලයේ වත් මේ කාලයේ වත් සංස්කෘත කථා කරන කෙනෙකුට වෛදික භාෂාව අමුතුවෙන් ඉගෙනගන්න දෙයක් නැහැ. ඒ නිසා ව්‍යාකරණය ආරම්භ කෙරුනේ භාෂාව ඉගෙනගන්න නෙමෙයි. වේදමන්ත්‍රවල තියෙන භාෂාව යෙදී තිබෙන විදිහ විශේෂයෙන් ඉතා ම නිවැරදි ව තේරුම් ගන්න යි ඔවුන්ට අවශ්‍ය කළේ. ඒ නිසා ඒ මන්ත්‍රවල භාෂාව භාවිත විධිය පැහැදිලි කිරීමට යි වෙහෙස ගත්තේ.
ඒ වන විට ඔවුන්ට තිබුණු ප්‍රධාන ගැටලුව පැරණි වෛදික ශබ්ද ගැන පැහැදිලි දැණුමක් නැති කම. ඒ නිසා මුලින් ම මන්ත්‍රවල තිබුණු වචන වෙන් වෙන් කර පාඩම් කරගත්තා. එයට ඔවුන් පදපාඨ යැ යි කී අතර ඒ වචන වෙන් කිරීමේ දී මූලික ව්‍යාකරණ ලක්ෂණ සමූයහක් ගැන විමසන්න ඔවුන්ට සිදු වුණා. මන්ත්‍රවල වචන භාවිතය ගැන විමසා බලා වෛදික මන්ත්‍රවල තිබුණු වචන දෙකේ සන්ධි පද සහ සමාස පද වෙන් කරන්නත්. උපසර්ග සහ නිපාත අනෙක් පදවලින් වෙන් කරගන්නත් ඔවුන් සමත් වුණා. වෙනත් විදිහකින් කියන්නේ නම්, ඔවුන් තෙරුම් ගත්තා වෙනස් නො වී වෙනත් පද අතර යෙදෙන පද සමූහක් තිබෙන බව. ඒ වගේ ම වෙනස් වෙවී යන පද අමුතු විධි දෙකකින් එකතු වෙන  බවත් ඒ විධි දෙකක් එක වගේ ම වුණත් ලොකු වෙනසක් ඒ අතර ඇති බව.

කාලයක් ගත වන විට ඔවුන්ට දැණුනා එක එක අය එක් එක් ලෙස මේ මන්ත්‍ර උච්චාරණය කරන බව. ඉතා ම සාම්ප්‍රදායික පිරිසක් වු ඔවුන් මේකට අකමැති වූ නිසා නිවැරදි යැ යි හිතෙන උච්චාරණය කොහොම සිදු වෙන්න අවශ්‍ය ද කියන එක ගැන කරුණු රැස් කරන්න අවශ්‍ය වුණා. මේ වගේ කරුණු රැස් කරපු පිරිස් කීපයත් හිටියත් අද වන විට එක ම පිරිසක ගේ කෘති විතරයි ඉතිරි වී ඇත්තේ. ඒ කරුණු රැස් කළ අය උච්චාරණය ගැන විමසන විට ඔවුන් දැනගත්තා ශබ්ද තවත් කුඩා ශබ්ද කොටස් හෙවත් අක්ෂර මගින් සෑදී ඇති බව. ඒ වගේ ම ඒ ඒ අක්ෂර උච්චාරණය කළ යුතු විදිහ ගැනත් ඔවුන් කරුණු රැස් කළා. එහි දී මන්ත්‍රයක වචන උච්චාරණයේ දී ධ්වනිය වෙනස් විය යුතු ආකාරය ගැනක් ඒ ධ්වනියේ ප්‍රභේද ගැනත් කරුණු රැසි කිරීමට ඔවුන්ට හැකි වුණා.

ඒ සමග ම ඒ කරුණු සමග මුලින් දැක්වූ පදපාඨයන් ගේ ආ වචන අතර සම්බන්ධය කෙසේ සිදු වන්නේ ද යන්න ගැන සැලකිය යුතු පැහැදිලි විස්තරයක් පළමුවරට සංග්‍රහ කෙරුණා. මේ කෘති ප්‍රාතිශාඛ්‍ය ලෙස හැඳින්වුනේ එක් එක් වෛදික භාෂාවන්ට අනන්‍ය කෘති මේ කාලයේ දී පැවති නිසා.
තවත් කාලයක දී උච්චාරණයත් පද අතර සම්බන්ධය හෙවත් භාෂාවේ හැසිරීමත් කියන දෙක වෙන වෙන ම විෂයන් ලෙස වර්ධණය වෙන්න පටන් ගත් අතර මේ සියල්ලේ අරමුණ වූ ශබ්ද අර්ථ වටහා ගැනීම ද මේ වන විට වෙන ම විෂයක් ලෙස වර්ධනය වෙමින් පැවතියා. මේවා පිළිවෙලින් ශික්ෂා ව්‍යාකරණ සහ නිරුක්ති නමින් වේදාඞ්ග ලෙස වඩා විධිමත් ව වර්ධනය වෙන්න පටන් ගත්තා.

අවුරුදු ගණනාවක් පුරා කළ විමර්ෂණවල ප්‍රතිඵල ලෙස  මේවා තුළ භාෂාවේ ඇති ඒ ඒ කොටස් වන අක්ෂර, ශබ්ද, වචන, සන්ධි, සමාස, කෘදන්ත, උපසර්ග සහ නිපාද ආදිය පිළිබඳ සැලකිය යතු තරම් පැහැදිලි අසහස් ගැබ් වී තිබූ අතර ඒ අදහස් සියල්ල ම භාවිත කරමින් වෛදික මන්ත්‍ර තේරුම් ගැනීම සිදු කෙරුනා.

පාණිනි යුගය වන විට තත්කාලීන භාවිත භාෂාවෙන් යම් යම් දෑ නිර්මාණය කිරීමට පෙළඹී තිබීම නිසා දෝ පාණිනි වෛදික භාෂාව තේරුම් ගැනීමට තිබූ එහි භාෂා ලක්ෂණ තත්කාලීන භාෂාවේ ඇතුළත් වී ඇති ආකාරය පිළිබඳ විමසන්න වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පාණිනිව්‍යාකරණය හෙවත් අෂ්ටධ්‍යායී නම් කෘතිය බිහිවුණා. එනම් පාණිනි සිදු කරන්නේ ව්‍යාකරණයක් සෑදීම නොවෙයි. ඔහු ඔහු ගේ කාලේ භාෂාව විවරණය කිරීමක් සිදු කරන්නේ. එහි දී ඉතා පැහැදිලි ව තත්කාලීන භාෂාවේ විධියත් පැරණි වෛදික භාෂාවේ තිබූ ඇතැම් කොටස් (ඒ වන විට සුලු වශයෙන් හෝ ව්‍යවහාරයේ පැවති) මොනවා ද යනත් පිළිබඳ කරුණු දක්වන්නේ ය. ඒ කාලයේ පැවති භාෂාවේ පැවති එසේ විධිමත් නොවන කොටස් වෙනුවට ඉතා විධිමත් වන කොටස් පමණක් සංග්‍රහ කෙරුණු නිසාත් භාෂාවේ සියලු ම කොටස් මේ සංග්‍රහය තුළ ඇතුළත් වූ නිසාත් මෙය විධිමත් ව්‍යාකණනයක් ලෙස හඳුන්වන්නේ ය.
ඔහු ගෙන් පසු කාලයේ සිටි පිරිස ලේඛනය සඳහා මෙම විධියම අනුගමනය කළ යුතු යැ යි යන දැඩි මතයක සිටි නිසා කාලයත් සමග මෙය බහුතරයේ ව්‍යවහාරයෙන් ඈත් වුව ද ලේඛනයෙන් ඈත් නො වී අද දක්වා පවතින්නේ ය.

9.     9. එතකොට ව්‍යාකරණයෙන් කරන්නේ භාෂාව ඉගෙනගන්න එක නෙමේ ද?

නැහැ, ව්‍යාකරණයෙන් කරන්නේ භාෂාව පැහැදිලි කරන එක නැති නම් විවරණය කරන එක.

110.   සිංහල ව්‍යාකරණය කරන්නෙත් ඒකම ද?

ඔවු මොන ව්‍යාකරණයෙන් කෙරෙන්නෙත් ඒ ඒ භාෂාව විවරණය කරීම යි.

11.   එහෙනම් සිංහල ව්‍යාකරණය සංස්කෘත ව්‍යාකරණය විදිහට හදන එක මෝඩ වැඩක් නේ?

ඔවු. සිංහල ව්‍යාකරණය වෙන කිසිම භාෂාව ව්‍යාකරණයක් වගේ හදන එක මෝඩ වැඩක්. කරන්න ඕනේ සංස්කෘතයෙන් ව්‍යාකරණය විතරක් ගන්න එක යි. සංස්කෘත-ව්‍යාකරණය ගන්න එක නෙමේ.

12.   ඒ කියන්නේ? ඒක විකාර කථාවක් නේ?

කලින් අපි කථා කරපු විදිහට (අටවැනි ප්‍රශ්නයේ) සංස්කෘත ව්‍යාකරණය නිර්මාණය වෙන්නේ ඒ භාෂාවේ හැසිරීම තේරුම් ගන්න අධ්‍යයනය කරලා ඒ හැසිරීම කොටස් වශයෙන් පිළිවෙලකට සංග්‍රහ කිරීම නිසා.
මේකේ තියෙන විශේෂත්වය වෙනනේ මේ සංග්‍රහ කරලා තියෙන කොටස් ඉතා ම පැහැදිලි ව නිර්වචනය කර තිබීම සහ එම නිර්වචනයන් සෑම ඉන්දු-ආර්ය භාෂවක්මත් එතැනින් එහා සෑම ආර්ය භාෂාවක්මත් පාහේ විවරණය කිරීමටත් තරම් සාධාරණ හෙවත් පොදු නිරවචනයන් වීම යි.

සංස්කෘතයෙන් ව්‍යාකරණය පමණක් ගන්නවා කියන්නේ මෙන්න මේ සාධාරණ නිර්වචන සහ පැහැදිලි කිරීම ගෙන ඒ නිර්ණායක භාවිතයෙන් සිංහල භාෂාව විවරණය කිරීම යි.

13.    ඇයි සංඅක්‍ෘතයෙන් ම ගන්න ඕනේ? වෙන භාෂාවකින් ගන්න බැරි ඇයි? භාවිතයේ නැති භාෂාවකින් සිංහල වගේ භාෂාවක ව්‍යාකරණය හදනවට වඩා ඒක හොඳ යි.?

වෙන කිසි භාෂා ව්‍යාකරණයක සමස්ත භාෂාවන් ගේ ලක්ෂණ විවරණය කළ හැකි ව්‍යාකරණයක් නැති නිසාත් භාෂා කීපයකින් කොටස් එක කරත් ඒ නිර්ණායක සංස්කෘත ව්‍යාකරණයෙන් වෙනස් නො වන නිසාත් ඒ තරම් සම්පූර්ණ නො වන නිසාත් සංස්කෘත ව්‍යාකරණය ගැනීම තමයි හොඳ ම විදිහ.
අනික භාවිතයේ තිබීම හෝ භාවිතයේ නැති වීම ගැටලුවක් නො වෙන්නේ අපට අවශ්‍ය කලින් (දොලොස්වැනි ප්‍රශ්නයේ දී) කථා කළ විදිහට සංස්කෘතයේ ව්‍යාකරණය පමණක් නිසා යි.

14 . ඒ කියන්නේ කිසිම වෙලාකව සංස්කෘත-ව්‍යාකරණය අනුව සිංහල භාෂාවේ ඇති දේ තේරුම් කරන්න අවශ්‍ය නැහැ.?

එහෙම කියන්නෙ බැහැ. මොක ද සංස්කෘත තත්සම ශබ්ද සිංහලයේ භාවිත කෙරෙන නිසා ඒ තත්සම ශබ්දවල නිරුක්ති හෙවත් ඒවා ගේ සැකැස්ම සහ අර්ථ දැක්වීම් කරන්න වෙනනේ සංස්කෘත-ව්‍යාකරණය අනුව ම යි. උදාහරණයකට “නිර්ගුණ“ පදය සන්ධි හෝ සමාසයක් හෝ වෙන කුමක් හෝ ලෙස අර්ථ දැකවීමක් කරන්න බැහැ සිංහල ක්‍රමය ඒක යි කියා. කොහෙත්ම “නිර්+ ගුණ හෝ නි+ගුණ“ වගේ විසන්ධියක් කරන්න බැහැ. ඒක සකුවෙන් ම පැහැදිලි කරන්න වෙනවා. මොක ද ඒක සිංහලයේ භාවිත වුණත් සංස්කෘත ශබ්දයක් නිසා.

දෙවියන් වහන්සේ හෙවත් ඊශ්වර. (The God)

දෙවියන්වහන්සේ කියන්නේ කවු ද?

දෙවියන්වහන්සේ කියන්නේ මේ විශ්වය ම මවා පාලනය කරන්නා කියන අදහස යි. විශ්වය මගින් අදහස් කෙරෙන්නෙ මනුෂ්‍යයා විසින් සිතිය හැකි හෝ නො හැකි සමස්තය ම යි.

දෙවියන්වහන්සේ ගේ ලිංගිකත්වය මොකක් ද?

දෙවියන්වහන්සේට ලිංගිකත්වයක් ඇත්තේ නැහැ. ලිංගිකත්වය යන්න අයත් වන්නේ ශාක සහ සත්ත්වයන්ට වන අතර දෙවියන් වහන්සේ ශාකයක් හෝ සත්ත්වයෙක් නො වන නිසා ලිංගිකත්වයක් ඇත්තේ නැත. එනම් ස්ත්‍රී පුරුෂ නපුංසක හෝ දිවිලිංගික ආදි කිසිම ආකාරයක් දෙවියන් තුළ විද්‍යාමාන වන්නේ නැතැ.
තවත් ආකාරයකින් කියනවා නම් මේ විශ්වය තුළ මනුෂ්‍යයා විසින් දැකිය හැකි යම් දෙයක් තිබේ ද මනුෂ්‍යයා විසින් සිතිය හැකි යම් ද්‍රව්‍යයක් ස්වභාවයක් ගුණයක් තිබේ ද ඒ කිසිවක් දෙවියන් වහන්සේ ගේ ස්වභායන් නො වන්නේ ය. ඒ සියල්ල දෙවින් විසින් නිර්මාණය කළ දේ පමණක් වන්නේ ය.

දෙවියන් විශ්වය නිර්මාණය කළේ කොහොම ද?

දෙවියන් විශ්වය ශූන්‍යයකින් නිර්මාණය කළ බවක් ආබ්‍රහමික ආගම්වල ඉගැන්වෙන අතර ඍග්වෙදය සත් හෝ අසත් නො වන පැවැත්මකින් විශ්වය ආරම්භ වූ බව කියැවේ. ඡාන්දෝග්‍ය උපනිෂදයේ දී සත් ගෙන්
විශ්වය ආරම්භ වූ බව විස්තර කෙරේ. ඒ කුමක්වුවත් විශ්වයට පෙර දෙවියන්වහන්සේ ම පැවති අතර ශූන්‍යයකින් හෙවත් කිසිදු අමුද්‍රව්‍ය භාවිතයකින් තොරව තමා තුළින් ම දෙවියන් ලෝකය නිර්මාණය කළේ ය.

දෙවියන් ඉන්නේ කොහේ ද?

මෙය ප්‍රදාන දේවවාදී ගුරුකුල දෙක වෙනස් උත්තර සපයන ප්‍රශ්නයකි. ආබ්‍රහමිකයන් ගේ දෙවියන් වහන්සේ ස්වර්ගය මවා මේ වනවිට ස්වර්ගයේ සිටී. හින්දූන් ගේ (වෙදාන්ත දර්ශනයේ දී) ශාඛා පහ විවිධ කාරයෙන් මෙය විස්තර කර ඇති නුමුත් සමස්තයක් ලෙස දෙවියන් විශ්වය තුළත් එයින් පිටත් පවතින බව කියැවේ. එනම් දෙවියන් විශ්වයේ පැතිරී පවතින අතර ම විශ්වයෙන් පිටස්තර වේ. මේ කුමක් වුවත් වැදගත් ම දේ නම් දෙවියන් විශ්වයෙන් අන්‍ය වන බව යැ. එනම් විශ්වයේ ඇති ලක්ෂණයන් දෙවියන් තුළ ඒ ආකාරයෙන් ම නැත. දෙවියන් ගේ තලය මානය විශ්වයේ තලයට හෝ මානයට වඩ සපුරා වෙනස් තලයකි මානයකි.

දෙයන් විශ්වය මැව්ව නම් දෙවියන් මැව්වේ කවු ද? ඊට පෙර දෙවියන් කර කර හිටියේ මොනවා ද?

මුලින් ම දෙවියන්වහන්සේ යන්න පැහැදිලි කිරීමේ දී විශ්වය නිර්මාණය කළ තැනැත්තා ලෙස දැක්වූ අතර එයින් පසු සාමාන්‍ය අප දකින ස්වභායෙන් සම්පූර්ණයෙන් වෙනස් බව දැක්වී ය. එනම් දෙවියන් මේ විශ්වයේ ස්වභාවයන් ගෙන් තොර ව විශ්වය නිර්මාණය කළ කෙනෙකි.
විශ්වයේ ඇති ප්‍රධාන ලක්ෂණය නම් වෙනස් වීමය. ඇතිවීම පැවතීම සහ නැති වීම ය. මෙම වෙනස් වීම සපේක්ෂව ගණනය කිරීමෙන් කාලය යන මානයක් මිනිසා විසින් ගොඩනගා ගෙන ඇත. එය විශ්වයට සාපේක්ෂ වේ. එනම් විශ්වය නැති තැන කාලයක් පවතින්නේ නැත. විශ්වය මැවීමට පෙර දෙවියන් පැවතුණු අතර විශ්වයේ ස්වභාවයෙන් වෙනස් හෙවත් වෙනස් වීමක් වන්නේ නැති දෙවියන්ට කාලයේ බලපෑමක් නැත. කොටින් ම දෙවියන්ට කාලයක් නැත. ආරම්භය පැවැත්ම අවසානය යන සියල්ල වෙනස් වීම තුළ ඇති දේ වන අතර වෙන්ස වීමක් නැති හෙවත් විශ්වයේ ස්වභාවයෙන් පිට සිටින දෙවියන්ට කාලයේ පැවැත්මක් නැත. එනම් ආරම්භයක් හෝ අවසානයක් හෝ කියා දෙයක් නැත.
කාලයක් නැති තැනක කලින් කර කර හිටියේ කුමක් දැ යි ඇසිය නො හැක. මක්නිසා ද යත් "කර කර සිටීම" යන්න කාලවාචී ය. කාලය අනුව සිතීමට හුරු වූ මිනිසාට මිස කාලයක් නැති දෙවියන්ට එවැනි ප්‍රශ්නයක් වලංගු වන්නේ නැත.

දෙවියන් ඉන්නවා නම් පේන්න එන්න බැරි ඇයි?

කලින් කී සේ දෙවියන් විශ්වයේ ස්වභාවයෙන් සපුරා වෙනස් ය. මාන එකක් පමණක් ඇති ලෝකයක වසන්නෙකුට මාන තුනක් ඇති ලෝකයක් හෝ ඊට වඩා වැඩි ගණනක් මාන ඇති ලෝකයක් ගැන ආකල්පයක් මවා ගැනීමට නො හැකි සේ ම එම ලෝකවල ප්‍රකාශ වීමට ද නො හැක. දෙවියන් ද විශ්වය අයත් මානයෙන් පිට පවතින්නකි  ඒ නිසා ඍජුව දෙවියන්ට විශ්වය තුළ ප්‍රකාශ විය නො හැක. ඇතැම් විට ප්‍රකාශ වුව ද විශ්වවාසීන්ට එය දැනගත දැකගත නො හැක. ඒ නිසා දෙවියන් වහන්සේ දූතයන්, අවතාර හෝ ප්‍රේරිතයන් භාවිත කරන්නේ ය. ඒ මගින් විශ්වයට ප්‍රකාශ වන්නේ ය.

දෙවියන් වහන්සේ සහ විශ්වය අතර ඇති සම්බන්ධය කුමක් ද?

පෙර කී සේ දෙවියන් වහන්සෙ විශ්වය නිර්මාණය කර ඇත්තේ තමන් කෙරෙන් ම ය. නැතිනම් අමුද්‍රව්‍යයක් නැති ශූන්‍යයකින් ය. එසේ නම් විශ්වයට අමුද්‍රව්‍ය වී ඇත්තේ දෙවියන් ම ය. මෙය ඍග්වේදය දහවැනි මණ්ඩලයේ පුරුෂ සූක්තයේ එන සංකල්පයක් යැ. පැරණි තැස්තමේන්තුවට කළ විස්තර මීට සමාන් වන්නේ ය. ඉන් පසු දහවැනි මණ්ඩලයේ ම නාසදීය සූක්තයෙන් ද සත් අසත් නොවන දේක විකාශයෙන් නොහොත් වර්ධනයෙන් යන්නෙන් ද ඡන්දෝග්‍යයේ ආදී උපනිෂද්වල සත් ගේ වර්ධනයෙන් යන්නෙන් ද කියවෙන්නේ මීට සමාන දේකි, එනම් දෙවියන් විශ්වයට සැදුම් ඒකකයක් වූ බව ය. මෙය මධ්‍යතන යුගයේ දී ඇති වී පල්ලිය විසින් ඉවත දැමූ ඊශ්වරාංශුවාදයක් බවට පත්විය හැකි ය. නුමුත් ඒ එසේ නොවී ද්‍රව්‍යමය ස්වභායට එහා ගිය විශ්වයේ ආකාරය දෙවියන්වහන්සේ තුළින් ඇති වූ බවත් විශ්වයෙන් අනන්‍ය වූ දෙවියන්වහන්සේ ශූන්‍යයෙන් විශ්වය මැවූ බවත් කතෝලික විශ්වාසය යි. ඒ කුමක් වුවත් විශවය තුළ දෙවියන් ගේ ආභාසය පවතින්නේ ය. විශ්වය තුළ ඇති සියල්ල දෙවියන් තුළ වෙනත් ආකාරයකින් වෙනත් මානයකින් පවතින්නේ ය. මෙය වේදාන්ත සහ ආබ්‍රහමික යන දෙකට ම පොදු සංකල්පයකි. මේ ඇති ආභාසය ම ප්‍රභාව ම දෙවියන් සහ විශ්වය අතර ඇති සම්බන්ධය වන්නේ ය.

විශ්වයේ ඇති සියල්ල දෙවියන් වහන්සේ තුළ වෙනත් මනයකින් හෝ පවතින්නේ නම් දෙවියන් මහා කාරුණික වන්නේ කෙසේ ද? ආදරනීය වන්නේ කෙසේ ද? විශ්වයේ හොඳ නරක දෙක ම පවතින්නේ නො වේ ද?

දෙවියන් වහන්සේ තුළ හොඳ නරක යහපත අයහපත දෙක ම පවතින්නේ ය. එය මහා කරුණාවක් වන්නේ අකාරුණිකත්වයක් ඇති නම් පමණ ය. අයහපත නැති තැනක යහපත යැ යි කිව හැකි කිසිවක් නැත. දෙවියන් තුළ හොඳ නරක දෙක ම පැවතිය ද  නරක ඈත්කර තැබීමට තරම් දෙවියන්වහන්සේ ගේ කරුණාව ඉහළ ය. උත්පත්ති පොතේ දී අයහපත ඈත් කර තැබූ ආකාරය තහනම් ගසින් පෙන්නුම් කර ඇත.
මේ පිළිබඳ ආදිශංකරාචාර්‍යයන් ගේ මතය මෙයින් සපුරා වෙනස් වන අතර දෙවියන් වහන්සේ කල්‍යාණමයවන අතර අයහපත එහි නැත නුමුත් වර්ධනයවීම මත ඇති වන ආධ්‍යාසය හේවත් මායාව මගින් ඇතින්කෙරෙන වරදවා වටහා ගැනීමේ ප්‍රතිඵලයක් වන අහංකාරය මගින් විශ්වය තුළ අයහපත ඇති කර ඇත. මෙය ආබ්‍රහමික දේවවේදයෙන් වෙනස් ව දිගින් දිගට පැහැදිලි කෙරෙන අද්වෛතයට අනන්‍ය සංකල්පයක් වන්නේ ය.

දෙවියන්ට නරක නැතිව විශ්වය මැවීමට නො හැකි වූයේ ඇයි?

කලින් කී සේ විශ්වය දෙවියන් වහන්සේ තුළින් නිර්මාණයවී ඇත. ඒ නිසා දෙවියන්වහන්සෙ තුළ කලින් කී හේතු සහ ආකාරයන් අනුව හොඳ නරක දෙක ම තිබේ නම් දෙවියන් නිර්මාණය කළ විශ්වයේ හොඳ නරක තිබීම විය යුත්තක් ම ය. තව ද නරක නැතිව විශ්වය නිර්මාණය කළා නම් විශ්වය යහපත් වන්නේ ද නැත ඒ පෙර කී ලෙස නරක නැති තැන හොඳක් නැති නිසා ය.

මෙම ලිපිය දේවවෙදය සහ වේදන්ත දර්ශනයේ මූලික කරුණු එකතුකර දේවසංකල්පය ඉදිරිපත් කිරීමක් වන අතර  මේ තුළ වඩාත් හොඳින් එම සංකල්ප වෙන් කර දැක්වීමක් කර නැත්තේ දීර්ඝ වීම වැලැක්වීමට සහ ඇතැම් තැනක දර්ශන දෙක දෙයාකාරයක් ගන්න නිසා ය. කෙසේ වුවත් මෙහි දෙවියන් යන්න පසුව යෙදී ඇත්තේ දෙවියන්වහන්සේ යන අර්ථයෙන් ම වන අතර එය වේදාන්ත බ්‍රහ්මන් හෝ අල්ලාහ් හො ඕනෑම නමකින් හඳුනාගත හැක.
මෙහි අවසන් කොටස්වල දැක්වූ අධ්‍යාසය පිළිබඳ දීර්ඝ විස්තරයක් කිරීමකින් තොරව එය තවත් පැහැදිලි කළ නො හැකි නිසා එයත් වේදාන්ත දර්ශනයේ එන දෙවියන් හෙවත් බ්‍රහ්මන් සහ විශ්වය අතර සම්බන්ධයත් එසේ ම ගැඹුරු වන නිසා  වෙන ම ලිපි මගින් පසු ව ඒ සංකල්ප දක්වමු.

සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

  සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය ·          පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. ·          කණ්ඩකාව්‍ය ගණයට අ...