හෙළපඬිවත හෙවත් පඬිහෙලුවත

සදෙව් ලොව දැන් දැන් පහන් දල්වන්නේ නැති, එතැන් හි උන් හට රෑකලක් අවැසි තැනැ දෙව්ලොවින් මෙසිරිලක වන්නේ යම් පසෙක දැ එපසැ පහණ බිතෙක් පිහිටවෙන්නේ යැ. මක් නිසා දැ යත්, දැන් දැන් මෙසිරිලකැ නිපන් පහාපඬිරුවන් කෙරෙන් විහිදෙන්නා වූ අනවරත රශ්ම්‍යාලෝකකදම්භයන් ගෙන් අහෝරාත්‍රයේ එකපැහැරැ සදෙව්ලෝ ආලෝක වන නිසා යැ.
නා නා කම් බෙලෙන් සදෙව්ලෝ ව්චිත්‍රේශ්වරාඪ්‍යෛශ්චර්‍යභූතවිමානයන් ගේ පහළ වැ රන්දියේ හි ලා ගත් විදුරුමිණක් සා වූ සුරඟනුන් කෙළගණනින් පිරිවරා දිවා කලැ  නොයෙක නළුකමින් මත්වැ ගඳඹුන් සරින් සතැපී කල් ඇරැ, දිනිඳු යම් කලැ තම දාහ නිවාලනු වස් සිඳුදූ තුනු සිරියේ ගිලී යන්නේ යම් සේ ද එකලැ සදෙව් ලෙව් විමන් හි නිපන් දාපටන් සුවඳමලින් හොබවන්නාවූ සඳකත් පෙරී එන්නා සා තුනු කතින් බැබලෙන්නා වූ දෙව්පුත්හු හේමදිය තඩාගයේ ගිලී යන්නා වූ සඳමඬලක සිරි පාමින් සුරඟනන් සිදඟනන් මැදැ මද වැඩී වැදැ සසඟිමින් සැතැපෙමින් සීත් කීමෙන් සිසීමෙන් මැ රෑ ගෙවත්. පෙරැ එසේ වී මුත් මෙකලැ හෙළදිවින් ගලනා රැස්කඳින් රැයක් නම් නො වන්නේ දෙව්ලෝ අගැ නැගූ පහණ බිතැ හෙවනේ වැදී යන්තමින් නිදි ලබන්නෝ යැ.
මේ පීඩා අද වැරෙන්නේ යැ අද නම් වැරෙන්නේ යැ යි සිත සිතා ඇම්මුව මුත් දිනෙන් දින වැඩි මුත් අඩුවක් නොවන්නේ මැ යි. ඉදින්, දෙව්ලෝ සියල් දෙව් පිරිස මේ මහා විපතේ පවත අමාරස පුරවා ලූ රන් කෙණ්ඩියක මුව සේ  වූ  බඹුන් සවනැ හෙළා කෙණ්ඩියේ ශුණ්ඩාව සදිසි වූ පියුම් මුඛයෙන් අමා දහරක් ගලන්නා සදිසි පිළිතුරු අපේක්ෂාවෙන් උපේක්ෂා කරන්නට වී යැ. පද්මාසනයාණෝ දැ මේ විපතින් සෝපත් වැ සරසවි හා කලෙකින් නොකළා වු සසඟ ඇත්තේ, කෙසේ මෙහි විසර්ජනයෙක් වන්නේ වේ දැ යි සිතන්නට වන. නීලාංගයෝ මනුලොවැ අවතරිත වැ අදැමියෝ මැඩැ දහම පිහිටුවන්නේ දෝ හෝ යි, නීලකණ්ඨයෝ මනුලොවැ වැදැ අදැමියන් දවන්නේ දෝ හෝ යි සිතූ මුත් තමා හෝ අන් කවරෙක් හෝ කළ ආරාධනා නැත්තන් එසේ අවතරිතවැ ඇත්තේ යැ යි සිතිය නොහෙන්නේ යැ යි බඹුට අවබෝධ වී යැ. ඉදින් මේ ගැනැ සිතා සිතා වෙහෙස වැ රත්පියුමේ සුමට දළ තලාන වැද හෝනා බඹුන් වෙත උතුමා ගේ පතිනී දැ දුවණියෝ දැ වන්නී සරසවිය එළැඹී. ඒ දැකැ මනා නුවණක් හිස පත් බඹු දු ඕ අමතන්නෝ යැ. හේ පුණ්ඩරීකාස්තේ, සියලුදෙව් පුතුන් දු අප සේ මැ වෙහෙසට පත කැරැ ඇත්තා වූ මේ අනවරත රශ්මීප්‍රභාව කුමකැ යි විමසා බලා ඒ සඳහා උචිත පිළියම් කළ මැනැවැ. තී නම් සරසවි යැ ධී යැ මේධා යැ, වේදසාරා යැ. තිට වැඩි දැණුමැත්තෝ නම් නැති සේ යැ.
ඒ සා කෂායවාණීන් ගෙන් ආත්මාභිමානී වැ ගියා වූ සරසවි දූ තම හිමි ගේ ආකාංශාවෝ සිඳවා තමා වෙත තව තව බැඳැ ගනිමී යැ යි සිතා ලා, මනුලොවැ මෙහෙළ දිවැ දා වැ පැන විසඳන්නේ නම් කල් ගත වන්නේ, එකුන්විසි වයස් පිරි, රන්දියෙන් පුරා ලූ පියුම් විලක් සා රූසපුයෙන් යුතු දැ රත්පියුම් මතැ බමන බමර යුග සා නයනෝපල්ක්ෂිත වැ, රන්දියේ නිපන් රන්දිය බුබුලු දෙකක් වැනි ළැමින් ශෝභිත වැ ප්‍රභූත වී යැ.
ජලතලේ මත සිටින්නාට එහි වන සඳ සා හි රැස් නො පෙනෙන්නා සේ සරසවිට දු මෙහෙළදිවැ බට තැන් පටන් කොහින් නික්මෙන රැස්කඳක දැ යි සොයාගත නුහුණු වී යැ.
කොහේ නම් යා යුතු දැ යි සිතා ගත නොහී, ඒ මේ අත සරන්නී, මහා පිරිසක් ගැවසීගත් කොළොම්පුර නගර මදැ දී එක් මහලු කතක් කී බසක් සරසවි කණ වැකී අමා සවන ඔත් සේ ප්‍රහර්ශිත වැ හනි හනික පා නැගූයේ, මනුකය නයින්, නිමේෂමාත්‍ර ගතිවේග නැතිවීම් ගැනැ මුසුප්පු සිතැතිව යැ. මක්නිසා දු යත් ඒ මහා ඒ සා මහා රැස්කඳක් නම් කිහෙන් හෝ නැගිය නොහැක්කේ වේදවේදාංගෂඩ්දර්ශනපරප්‍රාප්ත මහර්ෂින් වන් සරසවියන් කෙරෙන් මැ නික්මිය යුතු යැ යි ඕ දැන් උන් නිසා යැ. ඉදින් නිසි තැනැ පිළිපන් ඕ ඒ මේ අත බලන්න වූයේ මඟ වැරදී ඇති බැවින් යැ. මහලුකත කීවේ නම් සරසවි උගත්-හු පාරේ බැසැ උන් ගේ නැණ පානා බව යැ. ඒ වැන්නක් මේ එළැඹි තැනැ නො වන්නේ ඇඹේනී පැන ගිය කලැ මුව කළු කැරැ ආසු වගුර වගුරා දෙරණැ හැපී රජස් කා කෙස් විලිස්සා පෙරවු කළුසලු විසුරුවා හින පිළි හුන් නියා නො දැනැ නො දැකැ කණ්ඨය රක්තරස කැරැ මොර දෙන්නෝ දෙස් දෙන්නෝ මැ වන්නෝ යැ. ඉදින් තව තවත් ඒ මේ අත ගියමුත් නැණ පානා සරසවියන් දැක නොහී උකටලී වැ සරසවිය, අමා පරදනා රයිස් අඩෙකින් කුස පුරනා රිසින් බොජුන්හලකට වැදුනා යැ.
එසෙ වන් කලැ එහි එකෙක් අමාවන් රයිස් බුදින්නේ පතැ නෙත රඳන්නේ හෝ නැතිව යැ. පතැ රැඳෙනු තැනැ නෙත දුරබණනෙහි රන්දා  අහර බුදින්නේ යැ.  මේ මහා අරුමෙකැ යි ඕ හට සිතී. අමා රස ලජ්ජිත කරන්න වූ රයිස් රස දු පරයා නැගෙන්නා වූ කුමන සා රසෙක් දුරබණනේ වන්නේ දෝ හෝයි සිතා, ඌට ලං වැ පුළුවුත්තේ මේ සා රස නම් කිමෙක්දැ යි කියා යැ. ඒ විමසූ ඕ හට සොළොස් විය සා හේ පුත්‍රී වාදයෙන් බෙණෙමින් කියන්නේ මේ නම් වත්පොත යැ යන්න යැ. ඒත් කොයි පොතක් වේ දෝ යැ සිතා උගෙන් තව තව විස්තර දැනැ දුරබණනයක් ගෙනැ වත්පොත හා බැඳුනී යැ. ඒ කොලූ පුත්‍රී වාදයෙන් බිණුයේ කිම ද යත්, ඒ සා කුදු පවත් නො දන්නෝ නම් ළදරුවෝ දු වන්නට තරම් නැති හෙයින් යැ. ඒ නයින් එහි දොසක් නො දැක්ක යුතු.
වත්පොතැ මඟුල් පා තබා ඒ මේ අත සරන්නේ අසිරිමත් වැ මහදෙවියා දු වත්පොතැ වන්නේ යැ දැක්කේ හේ තමා ගැනැ වන්නා වූ පැනයක් ඇරැබැ පතරංගදා පරයන්නා සා මහා අදහැසියක් දමා ඇත්තේ යැ යි දැකැ, ඒ සා පවත් තමා ද දැනගනු රිසින් කියවන්නී, මත්තලුංගයේ අබතෙල් ගැල්වූ කලක් පරිද්දෙන් දන්න වූයේ, ඒ සා පවත් සරසවි වැ තමා දු නො දන්න නිසා යැ. ඒ අදහැසි අනුව මහදෙවියා වෙනකෙක් නොවන්නේ යැ ගොයුම් සව්වෙක් මැ වන්නේ,  මහගොං යානෙං සරන්නෝ ඒ නිසා මැ යි. මේ පවතින් උන් තැනැ බමන්නා සා වූයේ ආදරසම්ප්‍රයුක්ත වැ මහදෙව් කෙරෙන් අවසර පුළුවුත්තේ මහෙසුරු සරසවියට අම්මා සදින්, අමුහෙළුවෙන් වනන්නට වූ යේ යැ. එයින් මැ මූ නම් මහදෙව් නො වන්නේ යැ දත්තේ නුමුත් කරුණු දැනැ ගනු රිසි වැ අමුහෙළුව ඉවසා තව තව විමසන්නී, හේ ඒ සියල් තම නැණින් මැ ලද්දේ ගතෙකින් ගුරෙකුන් කෙරෙන් නූගත්තේ යැ දැනැ මේ නම් නිසැකව මැ බබලන්නෙකැ යි දැනැ  දුරබණනයට දු සාධු කාර දුන්නේ යැ. මිණි මැදැ විදුරුමිණි ලද්දී යම් සේ තොස් වී දැ එයින් වැඩි ප්‍රහර්ශයෙන් මත් වැ ඒ මහා පඬි සඳ චරණ වෙත එළැඹි ඕ දුටුවේ නම් හේ පිරිගණක වඩුවෙකු බව යැ. ඉදින් හේ කී බස් සැබෑ යැ. හේ උගත් සනාදහමක් නැති, ඒ එසේ වදු නීලක්ණ්ටයාණන්ටත් වැඩි වැ ඒ දෙව්දිව් ගැනැ දැණුම වන්නෝ නම් මූ යැ. මූ නම් මහාර්ෂීන් පරයනා මහානර්ඝ විදුමිණක් වන්නේ යැ යි තෙවරක් පැදැකුණින් ආදර දක්වා ලා නැවත පසෙකැ හිඳැ වත්පොත බලන්නට වී යැ.
එයින් ශ්වේතාංගීට පසක් වූයේ නම්, තිදෙව්මඬුලු නො වැ සකළ දෙව්මඬුල්ල දු සකල දම්සයුර දු අතැඹුල සේ දන්නා පඬිරුවන් එතෙක මෙතෙකැ යි නොකිය හැකි පමණින් මෙලක්දිව් හි පුරා ඇති බව යැ.
බස ගැනැ නැන පාන්නෝ එක වැ තම තම නැන පමණින් කෙසේ හෝ පොත් ඇදැ පාමින් ආත්මකල්පනා සංදර්ශනය කෙරෙන්නේ එහි වන් එකෙක් පොත් අදින වුන් ගැනැ සැහැලි කියා පොත්වලැ නොවන්නා වූ දු, මහානර්ඝ වූ දු ඍද්ධියෙන් පෑ දැනුම් පාන්නේ, නිච්ච ඉච්ඡ අඹරා ගෙනැ නිච්ඡ තනා ලා තිමිර ගගනේ නිපන් විජ්ජුලතා කතක් වැනි වූ අනගි නිරුත් පාන්නෝ යැ. හේ නම් ලියන්නෙකැ, ඌ උගත් බස්සතෙරක් නැති. එසේ නම් ඌ ගේ බස් සැබෑ යැ. හේ තෙමේ ලත් නුවනුන් ම දෙසන්නේ යැ. වැලිත් තවත් එක් පඬි සඳක් නම් සකම් කිරිය අකම් කිරියැ යි අනුපම ඥානයක් පතුරන්නේ වියරණ පොත් නම් ගතකලැ මුත් අනගතැ වේ වා වත්මනැ වේ වා එයින් කම් නොවන නියාත් තක්කුමුක්කු වන්නා වූ තක්කයෙන් මැ මැනැ කිරා ඒ සා විදු මුකුටයක් පෑ බවත් පළ කෙරෙමින් හෙළය එකලු කරන්නේ යැ. හේ හෙළබස් ඇජරෙක් ල. පොතින් නූගත් සිතින් මැ උගත් ඇජරපානෙක් යැ. සිතින් මැ උගත් නම් කිම ද යත්, හේ කුස්පුරා අන්පානෙන් සැතැපැ  මැසි සකසා ඊ මතැ හොත්තේ, පාණියුග්මය ශීර්ෂ මස්තකයේ තබා ගෙනැ රාමයා බිය ගන්වමින් රාමතෙල් හැර හැරා සිතින් මැ සිතා පෑ දැනුමක් වන්නේ යැ. ඉදින් උයිත් මහා පඬි මිනක් මැ වන්නේ හෙළය බබුලුවන් නේ යැ. මේ සා පඬි සඳන් දැකැ සරසවි මුව වදන් නො නැගෙන්නා වු සංතුෂ්ටියක් උපන්නේ, ඒ සා පැණවතුන්, එකෙකු දෙකෙකු නො වන්නේ කෙළගණින් මෙහෙළදිවැ වන්නේ යැ යි දැකීමෙන් යැ.
විදුරුමිණිමල් ගොමුවැ ඉහළින් මුව පෑ අර්කයෝ යම් සේ දැ පෙර පෑ පඬින් සියල්ලේ අගපඬි සා වන්නො නම් සාරථියෙක, හේ අකුරුත් කොහින් උගත්තේ දැ යි විස්වස් නැත්තේ නුමුත් පහණ ගිරි අසැ මැසි මත්තේ මැසි නංවා ඊ මතැ නැගැ බාලයන් මුවැ අකුරු තබන්නා සේ ගලැ කෙටු ලිපි ඇදබාන්නේ යැ. එයිනුදු නොපියේ, මහා ගොයුම් සඳ  උපන් බිමැ අඟුලක් අඟුලක් කැරැ දැනැ පිරිසිඳ සිටින්නේ යැ. මූ අනුයන්නෝ කෙළ ගණනින් වන්නෙ ඉඳින් මෙලක්දිව් පඬියනුත් හිඟ වේ දැ. මේ පඬිසිරින් සැමි සසඟ රිසි සිස් වැ මුත් අමිතලෝ තපර වැ එකලුවන්නට නිසි කාරණ මැ වූ මේ පඬි පවත්  හිමි සවන් පියුමේ ලූ අමා බිඳු සදිසි වැ බහා උන් සිත දු තුටු කෙරෙනු රිසින් හෙළ‍යෙන් චුත වැ බඹුවිමනැ පහළ වී. කිකලැ බඹු දකිනු පිවිසියේ වේ දැ යත් එකල යැ, නානාවේශබලපරාක්‍රමඥානගුණඝනපරිවාරවාහනාස්ථානායුධසංයුක්තසහචාරදේවගණාචරිතාත්මභූවිදස්තද්ධිව්‍යඝෝෂ්ට්‍යුච්ඡාසනේ පද්මතඩාගාරූඪාදිත්‍ය සා ප්‍රභාන්විත වැ වැඩ සිටියෝ, ඒ සා දිව්‍යසභාවට, දිවකරන් සිරින් පැහැදුල් නෙලඹුතලා හි ආස්ගැබැ උන් හතස් රැස් බස්වා පැහැදුල් පියුම් දුල් මඬවා දිව්මගැ වන් හිමස්දූ සෙයින් ඕ පිවිසී, කටයුතු කිස කර පියා, වසත් කෙළියේ ලා තුනු සිපි සිහිල් දියෙනුදු, ළැම සිපි නෙක කුසුමින් දු, වත සිපි පුම-අදරින් දු, උර මැඬි දළ ලවනින් දු, මන දැමි මදු බිදුවෙන් දු මන මත්වී ගිය සේ මැ, හෙළ මිණිබිමැ නිපන් වෙරළුමිණි ගිරි රැසින් ගලනා රැස් වණන්නී යැ.

පැරකුම් ඈ විරු නිරිඳුන්
කසුබන් ඈ රස විඳිනන්
පැරකුම් ඈ කවි කිවිඳුන්
ගුරුලන් ඈ දැමි පඬුවන්

හෙළදිව් කත ලද පුතනුන්
හිරි ගන්වා එක සැනෙකින්
දිවි ගලවා යන ලෙසකින්
කළැකි නැණින් යුතු පඬුවන්

තම තම නැනැ නැති කෙතකින්
ඇදැ ඇදැ පා නෙක ලෙසකින්
තතු දැනැ පැණ ඇති පඬියන්
විසි කැරැ නැති කැරැ යන මං

වියරණ පැණ පාති නැවුම්
ඉතිහස ඇද පාති නැවුම්
දහම ද නෙක පාති නැවුම්
පොතපත හැරදා ම කියුම්

හිමි නුඹ මහ බඹු වන මුත්
වෙණු හැම අතැතිව දත මුත්
මහදෙවි පරලොව දත මුත්
හෙළු, හෙළදිව තෙපි පැණ මුත්

විදු තොප ඇතැ රැඳි පමණෙකි
විදු නැණ හෙළ පඬි මැවුමෙකි
බස නැණ මගෙ අතැ රැඳුනෙකි
බස නැණ හෙළ පඬි මැවුමෙකි

මේ සා අසිරිමත් වැණුම් කෙළවරැ බඹුන් නැගිඅසුන්වැ ආයතමුඛ වැ අසුපුන්නෙත් වැ පලාගිය බස් වැ, මඳ කලක් සිටියේ, තමා නම් මහාබ්‍රහ්මයා යැ යි සිහිඑළවා ගත්තෝ වැළිත් අසුනරා හිඳ සර්වබ්‍රහ්මාණ්ඩකෘතසඤ්චාරසර්වනෘපප්‍ර්වෘත්තඥදේවර්ෂිනාරදයන් බැණැ මේ සා උත්තම දීපයේ නරපල්ලා නම් කවරෙක් වේදෝ හෝ යි, උන් ගේ පවත් කෙසේ වේ දෝ හෝ යි විමසන ලද්දේ, උන්ට මේ පවත් දන්වා කිසියම් ගිවිසුමක් කරන්නා වූ අටියෙන් යැ. ඒ බෙණීමෙන් නැගීසිටි දේවර්ෂිතුමාණෝ පවසන්නේ,
හංසයානපද්මජයෙනි, එදිව් නරපල්ලා සුලුවෙන් නො ගැණිය යුත්තෝ යැ. හේ චන්ද්‍රශේඛරප්‍රේමිකාවන් ගේ දෘශ්‍යරූප වූ ධරණී නොහොත් මහීකාන්තාවන් ගේ කුච්ඡිපුඤ්ඡිතයාණෝ ද ද්වාරිකාදේශයාණන් ගේ ප්‍රියාව වූ ලක්ෂ්මී දේවීන් ගේ අසදෘශාවතාර වූ ජානකීන් ගේ කනිෂ්ඨකේශටයාණෝ ද වන්නේ ධරණී ගර්භයෙන් ධරණීන් ගේ ස්වාමී වූ සුධී හෙළයන්ට දාව උපන්නෝ යැ. හේ යෙහෙන් පලන්නේ යැ. සුබර යැ. උන් දු හෙළ පඬිරුවනෙව් සාධාරණ මනුෂ්‍ය නො වන්නේ මැ යි. යදි එසේ වී නම් ගම්පල් තරම් වන්නේ මුත් අද හේ යෙහෙන් පලනා නරපල් යැ.
මෙපවතින් අසිරිමත් වැ ගිය බඹුන් අසුනින් නැගෙනු තැනැ හුනස්නෙන් පතිත වැ සිහි එළවා විළි ඇති වැ රතුවනින් නැගී අස්න අරා හිඳ මාලතී බැණැ හෙළ දිව් බලා නැගෙනු රිසින් රත නගන්න කීවෝ යැ.
පද්මාසනයාණෝ සෙසු ගමන් නැති වැ හෙළනරපල් වෙතැ එළඹැ කටයුතු  කම් කැරැ පියා නරපල් හා රහස් ගිවිස්මක් ගිවිස්සෝ යැ.
දෙව්ලෝ රැඳී රෑ නිඳි නො ලබන්නෝ, සසඟ දු නො ලබන්නෝ, මූඪ වැ යන්නෝ අපි එයින් මිදී හෙළයේ මැ බැස ගන්නමෝ වෙමු, සදෙව්ලෝ එකලුකරනා මහාපඬියන් ගේ රැසින් අනෙක් ලෝ පීඩා නොවේ යැ යි සිතාලා  උන් ඉහළ මැ බඹුලොවැ තබන්නමෝ යැ යි යනු ඒ රාස් ගිවිසුම යැ.
.
ඉසුරු උපනදයා කළ පඬිහෙලුවත මෙයින් නිම්මේ යැ.

අර්ථශාස්ත්‍රය ගැන කෙටි විස්තරයක්

පොත ගැන පොඩි විස්තරයක් කරනවා නම්, මේ ගැන ඇති ජනප්‍රිය සහ ප්‍රසිද්ධ මතයෙන් තරමක් වෙනස් මතයක් තමා, ශාස්ත්‍රීය ව පිළිගන්න පුලුවන් වෙන්නෙ. ඒ නම්, මෙහි අන්තර්ගතය සහ වෙනත් කරුණු පිළිබඳ අවධනයෙන් බැලුවිට පේන දේ මෙය ව්‍ය.ව ආරම්භයට පසුව නුමුත් කාලිදාසට සහ ඇතැම් ප්‍රසිද්ධ ජෛන ග්‍රන්ථයන් රචනාවීමට පෙර මේ පවතින තත්ත්වයට පත් වූ බවයි. (ඒක පැහැදිලි කරන්න නීරස පැහැදිලි කිරීමකින් දීර්ඝ ව කළයුතු යි. 😊)
නුමුත් අර්ථශාස්ත්‍ර නම් ශාස්ත්‍රය මින් බොහෝ පැරණි බව දැකිය හැකියි. එය ධර්මශාස්ත්‍ර සමග ගුහ්‍යසූත්‍ර ධර්ම සූත්‍ර  කාලයෙ පටන් ඒ තුළ ඇතුළත් ව මනුස්මෘතිය වැනි ස්මෘති ග්‍රන්ථ තුළ ඇතුළත් ව පසු ව වෙනම ම විකාශනය වූ බව පහැදිලි යි.
ඒ නිසා වඩා ශාස්ත්‍රීය නොහොත් සත්‍යයට ආසන්න දෙය වන්නේ, මෙය බොහෝ කලක් භාරතයේ පැවති ගුරු පරම්පරාවක් විසින් ක්‍රමයෙන් සංග්‍රහ කෙරී උක්ත යුගයේ වඩාත් විධිමත් ව සංග්‍රහ වුණු බව යි.
මෙහි අන්තර්ගත විස්තර සාමන්‍යයෙන් කෙනෙක්ට හිතාගන්න බැරි විදිහට මේ පොතේ ඇතුළත්.
පළවැනි අධිකරණයේ දී  රජ කෙනෙකු පැවතිය යුතු විධිය සහ ඒ වෙනුවෙන් අවශ්‍ය දැණුම සහ දැණුම ලබා ගන්න පිළිවෙල ගැන් දීර්ඝ විධිමත් විස්තරයක් තියෙනවා. මේකේ වැදගත් ම දේ තමයි රාජාණ්ඩුවක් කියන සංකල්පය පැහැදිලි කිරීම ඒ සමග ම වෙන එක. රජු විශාල බලයක හිමි කරුවා වෙනවා වගේ ම රජු කියන්නේ රාජ්‍ය පාලනය පිණිස ඉන්න එක් යන්ත්‍රයක ප්‍රධන බලප්‍රභවයවිදිහට දක්වනවා. ඒ නම්, රජු සහ රජු ගේ බලය සම්පූර්ණයෙන් ම පවතින්නේ රාජ්‍ය කියන දෙයි ආරක්ෂවට සහ උන්නතියට. ඒ නිසා තමයි හැම විට ම රාජ්‍යයට පස්සේ රජු වැදගත් වෙන විදිහට මෙකේ කරුණු දැක්වෙන්නේ.
පස්සේ විහිලුවට වත් හිතා ගන්න බැරි සංකීර්ණ කරුණු දැක්වීමක් තියෙනවා චරපුරුෂ භාවිතය ගැන. ඉන් පසුව දක්වන්නේ අනෙක්‍ රාජ්‍යයන් සමග සමබ්න්ධතා පවත්වන්න අවශ්‍ය විධිය ගැන. මේක විවිධ විවිධ විෂයන් යටතේ කෘතිය පුරා ම විසිරිලා යන විදිහට සාකච්ඡා කෙරෙන දෙයක්. වැඩි අවධනයක් දෙන්නේ මේකට.
පස්සේ රාජ්‍ය ආරක්ෂාවට භූමියවශයෙන් ගත යුතු පියවර ගැන දක්වනවා. එතන දී  මානව සම්පත් ගැනත් දැක්වෙනවා. එ වගේ ම ආර්ථිකයට සමබ්න්ධ බොහෝ කරුණු දැක්වෙනවා. ඒ අතර රාජ්‍ය තුළ ඇති වටිනා ද්‍රව්‍යයන් ගේ පාලන මිලක් පවත්වා ගැනීම, සහ බදු අය කරගැනීම සහ බදු අයකර ගැනීමේ දී ගෙවන්නාට හිරිහැරයක් නෙවෙන විදිහට කරන විදි මේකෙ දැක්වෙනවා. වඩා කපටි විදිහට බදු අයකරගන විදිහ. කාසි නිපදවීම සහ හොර කාසි ගැන අවධනය දීම වගේ දේ ගැනත් දැක්වෙනවා. ඒ වගේ ම  සමාජයට බලපැම් කළ හැකි ගණිකානිවාස ආදිය ගැනත් අවධනය දීලා තියෙනවා. ඒකට හේතුව ඒකත් ආදායම් මාර්ගයක් වීම. වරායක් ක්‍රියා කිරීම වැනින්දේත් මේකේ දැක්වෙනවා.
ඊට පස්සෙ තෙවැනි අධිකරණය බොහෝ ම වැදගත් එකක්. ඒකේ දැක්වෙනවා පුද්ගලයන් ලියපදිඤ්චි කිරීමට අදාළ විශාල විස්තරයක්. ඒක රාජ්‍ය පාලනයේ දී යොදාගන්නවිදිහ ගැනත් මේකෙ දැක්වෙනවා. ඒක නිකං දැන් සයිබර් අවකාශයෙන් ගන්න තොරතුරු  ලොකු ලොකු රටවල් තමන් ගේ වාසියට භාවිත කරනවා වගේ වැඩක්.
ඒ වගේ ම දේපල ගැනත් නගරයක නිවාස ඉදිකිරීමේ විධිය ගැනත් ආදිය ගැන මෙකේ දැක්වෙනවා.
ඊට පස්සේ අධිකරණයේ තියෙන විස්තර අපේ ලොකු තැන්වල ඉන කබ්බෝ ටිකට ඇහෙන්න කියවන්න හරි ඕනේ. ඒකේ දී කථා කරනවා රටේ ආර්ථිකයට ආරක්ෂාවට වැදගත් වෙන මානව සම්පත් ආරක්ෂා කර ගැනීම සහ රජු ඒ වෙනුවෙන් ක්‍රියාකළ යුතු ආකාරය. ඒ ඒ පිරිස් සඳහා දිය යුතු සහන ආදිය.
මේ පිරිස තාක්ෂණික අංශයේ ශාස්ත්‍රීය අංශයේ සහ වාණිජ අංශයේ ලෙස බෙදලා මේ විස්තර දක්වා තියෙනවා. ඒ අධිකරණයේ ම නැවත චරපුරුෂයන් ගැන විස්තර වෙනවා. අන්‍ය රාජ්‍යයන් ගේ චරපුරුෂයන් අඳුනාගැනීම ආදිය.
වෙන ම කොටසක  රාජසභාවේ පැවැත්ම ස්වභාවයගැන තොරතුරු දක්වා තිබෙනවා.
නැවත ඉන්කම් ටැක්ස් ගැන විස්තර කෙරෙනවා, සහ ඒක සූක්ෂම විදිහට, මිනිස්සු එන එකට බාදා නො වෙන්න කරන විදිහ දක්වා තිබෙනවා.
මේ පොතේ වඩාත් රසවත් කොටසක් වෙන්නේ අනෙක් රාජ්‍ය සමග සම්බන්ධකම් පැවැත්විය යුතු ආකරය ගැන දක්වා තිබෙන කොටස යි. එහි තිබෙන සිද්ධාන්ත අදටත් ලෝක දේශපාලනයේ දකින්න හැකි යි.
ඉන් පසු කොටස්වල ආර්ථිකයට අදාළ පැවතිය යුතු විධි සහ අසීරු සමයන් පසු කිරීම නැවත නැගී සිටීම ආදිය ගැනත් දැක්වෙනවා.
මේ පොතේ සමස්තයක් ලෙස ආර්ථිකය සහ යුධ බලය රාජ්‍යයක පරම අවාශ්‍යතාවන් ලෙස දක්වනවා සෙ ම ඒවා නගා සිටුවීම රජුගේ ඒකායන කර්තව්‍යය ලෙස දැක්වෙනවා. ලාභය අලාභයක් වන ආකාරයත් ලාභයක් තකා අලාභ ඉවසීම ආදිය ගැනත්, යුද්ධයේ දී  ක්‍රියාකළ යුතු ආකාරයන් ගැනත්,  සාම ගිවිසුම් අතර තුර අනෙක් රාජ්‍යයට හානි කිරීම ගැනත්, ගිවිසුම් මගින් රාජ්‍යයන් කෙටවීම ගැනත් මේකෙ දැක්වෙනවා.  ඒ සියල්ලෙන්ම රටේ ආර්ථිකය නැංවීමත් සාමන්‍ය මිනිසා ගෙ ජීවිතය සාමාන්‍ය තත්ත්වයක හෝ පවත්වා ගැනීමට ඒවා උපයෝගී කොටගන්න ආකරයත් මේකේ දැක්වෙනවා. ඒ සඳහා කළ යුතු කපටි නරක වැඩ ගැන සම්පූර්ණ කොටසක් වෙන් කර තිබීමත් වැදගත්.
ආ අනික මේකෙ කරුණු මහා අධිරාජ්‍යයකටවඩා මධ්‍යම රාජ්‍යයක් වෙනුවෙන් සැකසී ඇති බව බොහෝ ම පැහදිලි යි.

සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

  සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය ·          පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. ·          කණ්ඩකාව්‍ය ගණයට අ...