මැද පාර සහ සාහිත්‍යය



මෙම ප්‍රතිනිර්මාණය කිරීමේ දී විය යුත්තේ සමාජයේ සැබෑ ස්වභාවය එළිදැක්වීම සහ විචක්ෂණ ශීලීව රසිකයා හට නිදහසේ විමසමින් රසවිදීමේ හැකියාවක් තිබෙන සේ ය. නුමුත් එය එසේ විය හැක්කේ නිර්මාණකරුවා සෑම දෙයක් දෙස ම මධ්‍යස්ථ මතධාරියෙකු ලෙස බලන්නේ නම් පමණි. මෙහිදී අදහස් වන්නේ නිර්මාණකරුවා තමාගේ පෞද්ගලිකත්වය සගවාගැනීමක් නො ව එය තවදුරටත් විචක්ෂණශීලීව සමාජගත කිරීම ය. එවිට පාඨකයාට යම්කිසි විමර්ශනාත්මක‘යුරින් නිර්මාණකරුවා දෙසත් නිර්මාණය දෙසත් බැලීමේ අවකාශය ලැබෙන අතර එයින් පාඨක රසයශක්තිය ද වර්ධනය වෙනු ඇත.
සාහිත්‍යය යන පදයට විවිධ වූ පුද්ගලයන් විවිධ අරුත් නිරුත් සපයා ඇති මුත් සාහිත්‍යය යන්නට භාවිත අර්ථය ලෙස සාමාජස්වභාවය ප්‍රතිනිර්මාණය කිරීම යැ යි ගත හැකි ය. එසේ නම් වචන කීපයකින් ගොඩනැගෙන හයිකු සම්ප්‍රදායේ කවියක සිට කොටස් වශයෙන් විකාශනය වන ටෙලිනාට්‍යය දක්වා කාර්යය විය යුත්තේ අප ජීවත්වන සමාජයේ ස්වභාවය සූක්ෂමාකාරයෙන් නිරීක්ෂණය කොට සාමාන්‍යය මනුෂ්‍යයාට නො පෙනෙන නො ගැටෙන නො දැනෙන දේ දැනවෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීම ය.
භාරත මහා නවකතා කරු වූ ප්‍රේමචන්ද්‍ර තුමාගේ ‘ගෝදානය‘ එවන් නවකථාවකට උදාහරණ කොට සැපයිය හැකි අතර එය කියවන පාඨකයා පොළඹවනු ලබන්නේ සමාජක්‍රමය පිළිබද තවතවත් ගැඹුරින් විමසාබැලීමට ය. එහිදී යම්කිසි ඉලක්කයකට පාඨකයා ගෙන යාමක් දක්නට නො ලැබෙන නුමුත් ගොදානයට අරමුණක් නැතැයි කිව නො හැක. එහි අරමුණ සමාජය විමසීමට පාඨකයාට ඇරයුම් කිරීම යි.  එමෙන් ම මහාකවි රවීන්ද්‍ර නාත් තාගෝර් තුමාගේ ‘ගොරා‘ නවකථාවෙහි ද එවන් ලක්ෂණයක් දැක්ක හැකිය. එහිදී සහෘදයා යොමුකරනුයේ මනුෂ්‍ය සමාජය විමසා මනුෂ්‍යත්වයට ළංවීමට ය. නුමුත් එහිදී ඉතා ම සමබර ආකාරයෙන් විවිධ මතිමතාන්තර වෙතට පාඨකයා ගෙනයාමට තාගොරයන් කටයුතු කොට ඇත.
උක්ත සදහන් ලක්ෂණ සිංහල සම්භාව්‍යය සාහිත්‍යයේ එන සද්ධර්මරත්නාවලියේ එන ඇතැම් චරිත නිරූපණ තුළත් ඇති බව සූක්ෂම නිරීක්ෂණයෙන් දැක්ක හැකි මුත් එහි එය ම අරමුණූ කොට නැත්තේ එය ආගමික අරමුණකින් රචනා වූ නිසාවෙන් යැ යි දැක්ක හැක. නුමුත් එහිදී ද බොහො විට චරිතයක් පිළිබද සිදුකරන විමසීමේ දී රසිකයාට චරිතය පිළිබද විමර්ශනාත්මක අවබොධයක් ලබාදීමට කටයුතු කර ඇති ස්වභාවය දැක්ක හැක. කෙසේ වුවත් දහම්ගතක් ලෙස එවන් කෘතියකින් ඊට වඩා යමක් බලාපොරොත්තු වීම ද කළ නො හැකි ය.
නුමුත් වත්මනේ බිහිවන නවකථා තුළ එවන් විමර්ශනාත්මක රසවිදීමේ ඉඩ ප්‍රස්ථාව නැතැයි සිතේ. චරිත වශයෙන් ඉතාම ගැඹුරු සහ විමර්ශනාත්මක වෙතත් පොදුවේ සාමාජීය විමර්ශනයකට පාඨකයා යොමු කරන නවකථාවන්හි හිගයක් ඇතැයි හගිමි. වික්‍රමසිංහ සූරීන්ගේ ගම්පෙරළිය ප්‍රථම කලාත්මක නවකථාව ලෙස ගෙන දුන් ආරම්භය එතැන ම හිරවී ඇති සැටියක් දක්නට ලැබෙන අතර ‘කවිකදුර‘ සහ ‘සෙංකොට්ටං‘ වැනි නවකථා මගින් එය නංවාලීමට ද කටයුතු සිදුවී ඇත. නුමුත් එම නවකථා තුළ ද යම් ඒකපාර්ශවිකත්වයක් දැක්ක හැකිය. පාඨකයාට තෝරාගැනීමක් ලැබෙන වඩා පුළුල් විමසුමකට ඉඩ සලසමින් නිර්මාණ බිහිවුණි නම් ඒවාහි වටිනාකම තව තවත් වැඩි නො වන්නේ ද?

අසිරිමත් ලංකාව


අවැසි පොත් රැගෙන අවසන් නුමුත් අතේ ඉතිරි මුදලටත් පොතක් ගැනීමේ අරමුණින් ගම්පහ සරසවි පොත් හලේ ඒ මේ අත ඇවිදින විට අහම්බයකින් මෙන් දුටු ‘අසිරිමත් ලංකාව‘ පොත මිලදී ගත්තේ එහි කතුවරයා ගයිගර් තුමා වීම නිසා ය.
 ගයිගර් යන නාමය මාගේ සිත තුළ රැදී තිබුනේ මහත් බුද්ධියක් ඇති පුද්ගලයෙක් ලෙස ය. ඒ ඔහු විසින් සිංහල භාෂාව පිළිබද ගෙනහැර දක්වන ඇතැම් කරුණු නිසාවෙන් ය. ඇත්තෙන් ම එම තරුණු වලින් සමහරක් එකලදී ම අභියොගයට ලක්වූ නුමුත් සිංහල භාෂෘව පිළිබද ඔහුගේ දැනුම විශ්මනීය විය.
නුමුත් කෘතිය කියවන විට සහ කියවා අවසන් වූ විට එහි වටිනාකම තව තවත් දැනෙන්නට විය. එහට එක් හේතුවක් වන්නේ පොත සිංහලයට නැගූ මහින්ද පතිරණ මහතා එයට දී ආරම්භය යි. එහිදී ගයිගර් චරිතයේ වැදගත් තැන් ගෙනහැර දක්වා තිබීමදු කෘතියේ අගය වැඩි කිරීමට සමත් වෙයි. මන්ද යත් එය විද්‍යාර්ථයන්ට ආදර්ශපාදක කරගැනීමට තරම් වන නිසා ය. ඉන්පසු එන්නේ ගයිගර් තුමා හෙළය පිළිබද දිගහරිනු ලබන මධ්‍යස්ථ විස්තරය යි.
එහි සෑම තැනක ම රැදී ඇත්තේ මධ්‍යස්ථ විවෘත බුද්ධියකින්, හදපිරි සෙනෙහසින් , මෙන් ම ගෞරවයකින් ලංතාව දෙස බලන වදන් ය. ඔහු කිසිම තැනක නොකඩවා ලංකාවේ ඇති සෑම දෙයක් ම වර්ණනාවට ලක්කරන්නේ නැත. යුරෝපිකයෙකු ලෙස මෙන් ම ජර්මානුවෙකු  ලෙස ඔහු අවන්ක හදවතින් ලංකාව අගයකරන අතර එවදන් තුල ඇත්තේ අවංක ආදරයකැයි කිව හැක. මන්ද යත් එතුමා මෙහි පැමිණ සිංහල භාෂාව පමණක් ම නොව සිංහලතම ද සොයා ගම්දනව් වලැ සැරිසරයි. එම සිංහලකම වින්දනය කරයි විවිධ තැන් වල සැරිසරමින් සිංහල රස උරාබොන ගයිගර් උපරි වින්දනයක් ලබයි. සිංහලයා සිංහලකමට නොසලකන ගරු නොකරන තැන්වලදී එතුමා සිංහලයාට සිංහලයෙකු සේ දොස් නගයි. දයාරහිත වදනින් නගන එම දෝස් තුළ ඇත්තේ ද සිංහලකම සහ බෞද්ධකම පිළිබද ඔහු තුළ පවතින ගෞරවයැ යි කිව හැක. විටෙක බුදුදහමේ හරය පිළිබද සැකෙවින් හදුන්වා එයට අපමන ගරුසම්මාන ලබාදෙයි.
මහාවංශයාදී වංශකථාවන්ගෙන් ලබාගත් දැනුම අනුරාධපුර චාරිකාවෙන් විශද කරමින් ඒ පිළිබද තුලනාත්මක අදහස් ගොඩනගන්නේ රසයටත් බුද්ධියටත් ඉඩ සදමිනි. රුවන්වැලි සැය අසලදී එතුමා විසින් මවාගන්නා ලද සංකල්පරූපය කිකලක හෝ සිටි හෙළයකුදු මවාගත්තා දැයි සිතිය නො හැක.
‘අසිරිමත් ලංකාව‘ කෘතිය මගින් ලංකාවේ සුන්දරතිවයත් ලොකයා, උගත් බුද්ධීමත් ලොකයා ලංකාවෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න බවත් ලංකාව තුළ ම අතරමං වී සිටින ලාංකිකයා කවුරුන් ද යන බවත් දැනගත හැකි ය.



සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

  සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය ·          පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. ·          කණ්ඩකාව්‍ය ගණයට අ...