දෙවියන්වහන්සේ කියන්නේ කවු ද?
දෙවියන්වහන්සේ කියන්නේ මේ විශ්වය ම මවා පාලනය කරන්නා කියන අදහස යි. විශ්වය මගින් අදහස් කෙරෙන්නෙ මනුෂ්‍යයා විසින් සිතිය හැකි හෝ නො හැකි සමස්තය ම යි.
දෙවියන්වහන්සේ ගේ ලිංගිකත්වය මොකක් ද?
දෙවියන්වහන්සේට ලිංගිකත්වයක් ඇත්තේ නැහැ. ලිංගිකත්වය යන්න අයත් වන්නේ ශාක සහ සත්ත්වයන්ට වන අතර දෙවියන් වහන්සේ ශාකයක් හෝ සත්ත්වයෙක් නො වන නිසා ලිංගිකත්වයක් ඇත්තේ නැත. එනම් ස්ත්‍රී පුරුෂ නපුංසක හෝ දිවිලිංගික ආදි කිසිම ආකාරයක් දෙවියන් තුළ විද්‍යාමාන වන්නේ නැතැ.
තවත් ආකාරයකින් කියනවා නම් මේ විශ්වය තුළ මනුෂ්‍යයා විසින් දැකිය හැකි යම් දෙයක් තිබේ ද මනුෂ්‍යයා විසින් සිතිය හැකි යම් ද්‍රව්‍යයක් ස්වභාවයක් ගුණයක් තිබේ ද ඒ කිසිවක් දෙවියන් වහන්සේ ගේ ස්වභායන් නො වන්නේ ය. ඒ සියල්ල දෙවින් විසින් නිර්මාණය කළ දේ පමණක් වන්නේ ය.
දෙවියන් විශ්වය නිර්මාණය කළේ කොහොම ද?
දෙවියන් විශ්වය ශූන්‍යයකින් නිර්මාණය කළ බවක් ආබ්‍රහමික ආගම්වල ඉගැන්වෙන අතර ඍග්වෙදය සත් හෝ අසත් නො වන පැවැත්මකින් විශ්වය ආරම්භ වූ බව කියැවේ. ඡාන්දෝග්‍ය උපනිෂදයේ දී සත් ගෙන්
විශ්වය ආරම්භ වූ බව විස්තර කෙරේ. ඒ කුමක්වුවත් විශ්වයට පෙර දෙවියන්වහන්සේ ම පැවති අතර ශූන්‍යයකින් හෙවත් කිසිදු අමුද්‍රව්‍ය භාවිතයකින් තොරව තමා තුළින් ම දෙවියන් ලෝකය නිර්මාණය කළේ ය.
දෙවියන් ඉන්නේ කොහේ ද?
මෙය ප්‍රදාන දේවවාදී ගුරුකුල දෙක වෙනස් උත්තර සපයන ප්රශ්නයකි. ආබ්රහමිකයන් ගේ දෙවියන් වහන්සේ ස්වර්ගය මවා මේ වනවිට ස්වර්ගයේ සිටී. හින්දූන් ගේ (වෙදාන්ත දර්ශනයේ දී) ශාඛා පහ විවිධ කාරයෙන් මෙය විස්තර කර ඇති නුමුත් සමස්තයක් ලෙස දෙවියන් විශ්වය තුළත් එයින් පිටත් පවතින බව කියැවේ. එනම් දෙවියන් විශ්වයේ පැතිරී පවතින අතර ම විශ්වයෙන් පිටස්තර වේ. මේ කුමක් වුවත් වැදගත් ම දේ නම් දෙවියන් විශ්වයෙන් අන්‍ය වන බව යැ. එනම් විශ්වයේ ඇති ලක්ෂණයන් දෙවියන් තුළ ඒ ආකාරයෙන් ම නැත. දෙවියන් ගේ තලය මානය විශ්වයේ තලයට හෝ මානයට වඩ සපුරා වෙනස් තලයකි මානයකි.
දෙයන් විශ්වය මැව්ව නම් දෙවියන් මැව්වේ කවු ද? ඊට පෙර දෙවියන් කර කර හිටියේ මොනවා ද?
මුලින් ම දෙවියන්වහන්සේ යන්න පැහැදිලි කිරීමේ දී විශ්වය නිර්මාණය කළ තැනැත්තා ලෙස දැක්වූ අතර එයින් පසු සාමාන්‍ය අප දකින ස්වභායෙන් සම්පූර්ණයෙන් වෙනස් බව දැක්වී ය. එනම් දෙවියන් මේ විශ්වයේ ස්වභාවයන් ගෙන් තොර ව විශ්වය නිර්මාණය කළ කෙනෙකි.
විශ්වයේ ඇති ප්‍රධාන ලක්ෂණය නම් වෙනස් වීමය. ඇතිවීම පැවතීම සහ නැති වීම ය. මෙම වෙනස් වීම සපේක්ෂව ගණනය කිරීමෙන් කාලය යන මානයක් මිනිසා විසින් ගොඩනගා ගෙන ඇත. එය විශ්වයට සාපේක්ෂ වේ. එනම් විශ්වය නැති තැන කාලයක් පවතින්නේ නැත. විශ්වය මැවීමට පෙර දෙවියන් පැවතුණු අතර විශ්වයේ ස්වභාවයෙන් වෙනස් හෙවත් වෙනස් වීමක් වන්නේ නැති දෙවියන්ට කාලයේ බලපෑමක් නැත. කොටින් ම දෙවියන්ට කාලයක් නැත. ආරම්භය පැවැත්ම අවසානය යන සියල්ල වෙනස් වීම තුළ ඇති දේ වන අතර වෙන්ස වීමක් නැති හෙවත් විශ්වයේ ස්වභාවයෙන් පිට සිටින දෙවියන්ට කාලයේ පැවැත්මක් නැත. එනම් ආරම්භයක් හෝ අවසානයක් හෝ කියා දෙයක් නැත.
කාලයක් නැති තැනක කලින් කර කර හිටියේ කුමක් දැ යි ඇසිය නො හැක. මක්නිසා ද යත් "කර කර සිටීම" යන්න කාලවාචී ය. කාලය අනුව සිතීමට හුරු වූ මිනිසාට මිස කාලයක් නැති දෙවියන්ට එවැනි ප්‍රශ්නයක් වලංගු වන්නේ නැත.
දෙවියන් ඉන්නවා නම් පේන්න එන්න බැරි ඇයි?
කලින් කී සේ දෙවියන් විශ්වයේ ස්වභාවයෙන් සපුරා වෙනස් ය. මාන එකක් පමණක් ඇති ලෝකයක වසන්නෙකුට මාන තුනක් ඇති ලෝකයක් හෝ ඊට වඩා වැඩි ගණනක් මාන ඇති ලෝකයක් ගැන ආකල්පයක් මවා ගැනීමට නො හැකි සේ ම එම ලෝකවල ප්‍රකාශ වීමට ද නො හැක. දෙවියන් ද විශ්වය අයත් මානයෙන් පිට පවතින්නකි ඒ නිසා ඍජුව දෙවියන්ට විශ්වය තුළ ප්‍රකාශ විය නො හැක. ඇතැම් විට ප්‍රකාශ වුව ද විශ්වවාසීන්ට එය දැනගත දැකගත නො හැක. ඒ නිසා දෙවියන් වහන්සේ දූතයන්, අවතාර හෝ ප්‍රේරිතයන් භාවිත කරන්නේ ය. ඒ මගින් විශ්වයට ප්‍රකාශ වන්නේ ය.
දෙවියන් වහන්සේ සහ විශ්වය අතර ඇති සම්බන්ධය කුමක් ද?
පෙර කී සේ දෙවියන් වහන්සෙ විශ්වය නිර්මාණය කර ඇත්තේ තමන් කෙරෙන් ම ය. නැතිනම් අමුද්‍රව්‍යයක් නැති ශූන්‍යයකින් ය. එසේ නම් විශ්වයට අමුද්‍රව්‍ය වී ඇත්තේ දෙවියන් ම ය. මෙය ඍග්වේදය දහවැනි මණ්ඩලයේ පුරුෂ සූක්තයේ එන සංකල්පයක් යැ. පැරණි තැස්තමේන්තුවට කළ විස්තර මීට සමාන් වන්නේ ය. ඉන් පසු දහවැනි මණ්ඩලයේ ම නාසදීය සූක්තයෙන් ද සත් අසත් නොවන දේක විකාශයෙන් නොහොත් වර්ධනයෙන් යන්නෙන් ද ඡන්දෝග්යයේ ආදී උපනිෂද්වල සත් ගේ වර්ධනයෙන් යන්නෙන් ද කියවෙන්නේ මීට සමාන දේකි, එනම් දෙවියන් විශ්වයට සැදුම් ඒකකයක් වූ බව ය. මෙය මධ්‍යතන යුගයේ දී ඇති වී පල්ලිය විසින් ඉවත දැමූ ඊශ්වරාංශුවාදයක් බවට පත්විය හැකි ය. නුමුත් ඒ එසේ නොවී ද්‍රව්‍යමය ස්වභායට එහා ගිය විශ්වයේ ආකාරය දෙවියන්වහන්සේ තුළින් ඇති වූ බවත් විශ්වයෙන් අනන්‍ය වූ දෙවියන්වහන්සේ ශූන්‍යයෙන් විශ්වය මැවූ බවත් කතෝලික විශ්වාසය යි. ඒ කුමක් වුවත් විශවය තුළ දෙවියන් ගේ ආභාසය පවතින්නේ ය. විශ්වය තුළ ඇති සියල්ල දෙවියන් තුළ වෙනත් ආකාරයකින් වෙනත් මානයකින් පවතින්නේ ය. මෙය වේදාන්ත සහ ආබ්‍රහමික යන දෙකට ම පොදු සංකල්පයකි. මේ ඇති ආභාසය ම ප්‍රභාව ම දෙවියන් සහ විශ්වය අතර ඇති සම්බන්ධය වන්නේ ය.
විශ්වයේ ඇති සියල්ල දෙවියන් වහන්සේ තුළ වෙනත් මනයකින් හෝ පවතින්නේ නම් දෙවියන් මහා කාරුණික වන්නේ කෙසේ ද? ආදරනීය වන්නේ කෙසේ ද? විශ්වයේ හොඳ නරක දෙක ම පවතින්නේ නො වේ ද?
දෙවියන් වහන්සේ තුළ හොඳ නරක යහපත අයහපත දෙක ම පවතින්නේ ය. එය මහා කරුණාවක් වන්නේ අකාරුණිකත්වයක් ඇති නම් පමණ ය. අයහපත නැති තැනක යහපත යැ යි කිව හැකි කිසිවක් නැත. දෙවියන් තුළ හොඳ නරක දෙක ම පැවතිය ද නරක ඈත්කර තැබීමට තරම් දෙවියන්වහන්සේ ගේ කරුණාව ඉහළ ය. උත්පත්ති පොතේ දී අයහපත ඈත් කර තැබූ ආකාරය තහනම් ගසින් පෙන්නුම් කර ඇත.
මේ පිළිබඳ ආදිශංකරාචාර්යයන් ගේ මතය මෙයින් සපුරා වෙනස් වන අතර දෙවියන් වහන්සේ කල්යාණමයවන අතර අයහපත එහි නැත නුමුත් වර්ධනයවීම මත ඇති වන ආධ්‍යාසය හේවත් මායාව මගින් ඇතින්කෙරෙන වරදවා වටහා ගැනීමේ ප්‍රතිඵලයක් වන අහංකාරය මගින් විශ්වය තුළ අයහපත ඇති කර ඇත. මෙය ආබ්‍රහමික දේවවේදයෙන් වෙනස් ව දිගින් දිගට පැහැදිලි කෙරෙන අද්වෛතයට අනන්‍ය සංකල්පයක් වන්නේ ය.
දෙවියන්ට නරක නැතිව විශ්වය මැවීමට නො හැකි වූයේ ඇයි?
කලින් කී සේ විශ්වය දෙවියන් වහන්සේ තුළින් නිර්මාණයවී ඇත. ඒ නිසා දෙවියන්වහන්සෙ තුළ කලින් කී හේතු සහ ආකාරයන් අනුව හොඳ නරක දෙක ම තිබේ නම් දෙවියන් නිර්මාණය කළ විශ්වයේ හොඳ නරක තිබීම විය යුත්තක් ම ය. තව ද නරක නැතිව විශ්වය නිර්මාණය කළා නම් විශ්වය යහපත් වන්නේ ද නැත ඒ පෙර කී ලෙස නරක නැති තැන හොඳක් නැති නිසා ය.
මෙම ලිපිය දේවවෙදය සහ වේදන්ත දර්ශනයේ මූලික කරුණු එකතුකර දේවසංකල්පය ඉදිරිපත් කිරීමක් වන අතර මේ තුළ වඩාත් හොඳින් එම සංකල්ප වෙන් කර දැක්වීමක් කර නැත්තේ දීර්ඝ වීම වැලැක්වීමට සහ ඇතැම් තැනක දර්ශන දෙක දෙයාකාරයක් ගන්න නිසා ය. කෙසේ වුවත් මෙහි දෙවියන් යන්න පසුව යෙදී ඇත්තේ දෙවියන්වහන්සේ යන අර්ථයෙන් ම වන අතර එය වේදාන්ත බ්‍රහ්මන් හෝ අල්ලාහ් හො ඕනෑම නමකින් හඳුනාගත හැක.
මෙහි අවසන් කොටස්වල දැක්වූ අධ්‍යාසය පිළිබඳ දීර්ඝ විස්තරයක් කිරීමකින් තොරව එය තවත් පැහැදිලි කළ නො හැකි නිසා එයත් වේදාන්ත දර්ශනයේ එන දෙවියන් හෙවත් බ්‍රහ්මන් සහ විශ්වය අතර සම්බන්ධයත් එසේ ම ගැඹුරු වන නිසා වෙන ම ලිපි මගින් පසු ව ඒ සංකල්ප දක්වමු.