නිවාඩු දිනයේ වැඩි වේලාවක් නිදා ගැනීමට සිතා සිටිය ද කෙටිපනිවිඩයක් නිසා අවදි වී කේන්තියෙන් දූරකථනය අතට ගත්ත ද කේන්තිය තරමක් පහව ගියේ ඒ චතුමි බව දුටු විට ය. එයට හේතුව නම් ඕ කෙටිපනිවිඩයක් එවන්නේ කුමක් හෝ වැදගත් දෙයක්; විෂය කරුණක් ආදිය විමසීමට නිසා ය. ඇය ගේ කෙටිපනිවිඩය "ගුඩ්මෝනිං" පමණක් විය. "G.m chatu" යැ යි එයට ප්‍රතිචාර දක්වා නැවත කොට්ටයේ හිස ඔබා ගත්තේ තවමත් නිදා ගැනීමට ඇති ආශාව නිසා ය. නුමුත් නිදාගැනීමට අවස්ථාවක් ලැබුනෙ නැත. දූරකතනය හඬ නො නැගුව ද පනිවිඩයක් ආ විගස ම්ම්ම් ම්ම් හඬින් වෛට්බ්‍රේට් වීමත් නිවි නිවි දැල්වෙන කුඩා ආලෝක බින්දුවත් ඒ පනිවිඩය කියවීමට බල කළේ ය. පෙර දින සේ ම ඈ සමග කතාවට වැටී ඉතිහාසය කලාව ගැන විවිධ දෑ ගැන කතා කරමින් ඇඳට වී සිටියෙමි. ඇය සමග ඇරඹෙන එවැනි කතාබස් ජීවිතය හෝ සමාජය ගැන සංවාදයන් ගෙන් අවසන් වෙයි. එය ඒකා කාරී යැ යි මට සිතිණි. නුමුත් ඇය සුන්දර යුවතියකි. සුන්දර යුවතියක සමග කතාබහ ඒකාකාරී යැයි නවතන පිරිමින් සිටී ද.
බදාදා දවසේ පන්ති නො පැවැත්වෙන නිසා ලැබුණු සම්පූර්ණ නිදහස් දවසේ අලුත් සිතුවම ගැන සිතිය යුතු යැ යි සිතුව ද ඒ සඳහා කිසිදු නිරවුල් හෝ සතුටු දායක අදහසක් ආවේ නැත. "ආදරය" එක පුදගල රූපයකින් නිරූපණය කරන්නේ කෙසේ ද. මේ තේමාව මා වැනි ආධුනිකයෙකුට බර වැඩි විය හැක. මා එතෙක් නිර්මාණය කර තිබුණේ අඳුරත් ආලෝකයත් එක් වී ස්වභාවධර්මයේ වන සුසංයෝගයන් ය. අඳුර කියා දෙයක් නැත. ආලෝකය පමණි ඇත්තේ. එය නැති තැනක ඇති හිස්බව අඳුර ය. අඳුර අඳුර ම ලෙස පවතී නම් එහි නරකක් නැත. ආලෝකය ආලෝකය ලෙස පවතී නම් අවුලක් නැත. නුමුත් ආලෝකයත් අඳුරත්; පවතින ආලෝකයත් මායාවී අඳුරත් එක් වී සියල්ල අවුල් කර දමයි. ඒ අවුල ම වුවත් සුන්දර ලෙස විඳගත හැකි ය. අඳුරු හිස් මාවතක, යන්තම් සඳ පායා ඇති වනාන්තරයක හෝ තරු එළියේ නිදා වැටෙන මුහුදු වෙරළක ඒ අවුලේ සුන්දරත්වය රූපණය කළ හැක. කැන්වසය මත ඔහේ ගලා යන තීන්ත ධාරාවන්වලට ඒ මා සුන්දර ලෙස දකින අවුල නිරූපණය කළ හැක. නුමුත් තවමත් "ආදරය" මානව රූපයක් තුළ නිරූපණය කළ හැකි ආකාරය සිතා ගත නො හැකි විය. ඒ සඳහා මොඩලයක් සොයාගත යුතු ය. නිරූපිකාවක් සොයාගත යුතු ය. ඇයව ඊට උචිත ලෙස නිරූපණය කළ යුතු ය. නුමුත් ඒ කෙසේ ද.
මට චතුමි ගෙන් ඒ ගැන විමසිය හැකිව තිබිණි. ප්‍රදර්ශනයට තබා එයින් පසු මා ළඟ ම තබාගන්න පොරොන්දුව පිට ඇය ඊට එකඟ වනු ඇත. ඇය ගේ මුහුනේ එක් එක් අවස්තාවල පිහිටන රේකා යම් රිද්මයක් සහිත ය. ඇගේ ඇස් තුළ ඊට ආවේනික අලෝකයක් ඇත. නුමුත් ඒ රේඛා හෝ ඒ ආලෝකය කෙදිනක වත් මාගේ කැන්වසය මත පිටපත් කරන්නට මට හැකියාවක් ඇතැයි මට නො සිතිණ. එයින් මා ගේ සම්පූර්ණ අදහස ඉදිරිපත් නො වනු ඇත.
තේ එකකට වැඩි යමක් සාදා ගැනීමට නො සිතුණු නිසාත්, කළ යුත්තේ කුමක් ද කියා තීරණය කළ ද එය කළ නො හැකි නිසාත් අයාලේ යන්නට සිතිණි. මා අයාලේ යන සෑම ගමන ම නවතින්නේ පොත් හලක ය. එදින ද මා ගේ ගමනාන්තය වූයේ සරසවි පොත් හල ය. පෙර සිතා ගත් පොතක් නොමැති නිසා විවිධ පොත් බලමින් කාලය ගත කරන අතරේ එක්වර ම, "එස්ක්‍යුස් මී" යැ යි මට කතා කළේ ය. ඒ මීට මසකට පමණ පෙර කොළඹ පොත් ප්‍රදර්ශනයේ දී හඳුනා ගත් තරුණයෙකි. ප්‍රදර්ශන පරිශ්‍රයේ සේකර පිළිබඳ පැවති සංවාදයක දී ඔහු හමු විය. ඔහුව මට මතකයේ තිබුණේ කවියෙක් සහ නැට්ටුවෙක් ලෙස ය. ඒ ඔහු මට එදින ඔහු ගේ පළමු කවිපොත නොමිලයේ ම ලබා දුන් නිසා ය. නුමුත් ඔහු පරිගණක ඉන්ජිනේරුවෙක් විය. එදින අපගේ පළමු හමු වීම වුව ද සැබෑ ලෙස චලන හඳුනා ගැනුනේ සරසවි පොත් හලේ දී ය. "ආහ් චලන නේ ද?" "ඕහ් කළිඳුට නමත් මතකයි නේ" "නැතුව එහෙන අමතක වෙනව ද" ආදි සාමාන්‍ය ආරම්භයකට පසු තවත් පැයක් පමණ පොත් සාප්පුවේ ඒ මේ අත යමින් සාහිත්‍යය ගැන කතා කරමින් කාලය කා දැමුවෙමු. පෙර දා දැනගත නොහැකි වුව ද එදා දැනගත් පරිදි ඔහු නිවස මගේ නිවසේ සිට පැය භාගයක පමණ බස් ගමනක දුරින් පිහිටා ඇත. ඔහු සමග නිදහසේ වෙන ම ලෝකයක සේ විවිධ විෂයන් ඔස්සේ කතාබහ කරන්නට ලැබීම සතුටට කාරණයකැයි කිව යුතු නැත.
එයින් පසු උදෑසනටත් දහවලටත් දෙකට ම එකවර ආහාර ගැනීමට ටවුමේ තිබූ කුඩා කඩයකට ගොඩ වී බලෙන් ම වාගේ ඔහු සමග ආහාර ගතිමි. ඒ අතර අපි එකිනෙකා ගේ වැඩ ගැන කතා කරන විට මා ඔහුට මා ගේ සිතුවමේ අදහස පැවසීය. එය ඉතා ම අපැහැදිලි ගැටලු කාරී පැහැදිලි කිරීමක් බව මට එවලේ ද වැටහුණි. නුමුත් ඔහු උවමනාවෙන් එය අසා සිටියේ ය. ඔහු ගේ මුහුනේ දවසකින් දෙකකින් නො කැපූ රැවුළ නිසා එහි සිදුවන සියුම් වෙනස් කම් ද පැහැදිලි ව දැකිය හැකි විය. පැහැදිලි රිද්මයානුකුල සහ තද ස්වභාවයකින් යුතු රේකාවන් ගේ සියුම් අනවරත චලනයන් සහ සෙමින් ඒ මේ අත බලන දෑස ද ඇපලෝ ගේ රූපයේ ඇති පූර්ණත්වය සිහි ගැන්වී ය.
ඒ පළමු දීර්ඝ හමු වීමට පසු ඔහු සමග දීර්ඝ දුරකතන සංවාද ඇති විය. කවි ගැනත් සිතුවම් ගැනත් මිනිස් ඉතිහාසය ගැනත් නොනිම් තොරතුරු අප අතර හුවමාරු විය.
මේ අතර මට බොහෝ අවස්තාවල දී චතුමි සමග කතා බහ කරන්නට වෙලාවක් හිමි වූයේ නැති තරම් ය. සංවාදයක් ඇරඹුන ද එය බොහෝ විට අතරමග අඩාල විය. දිනක් හවස හතරට පහට පමණ ගේට්ටුවට තට්ටු කරන හඬ ඇසී නිවසින් පිටතට ගොස් බැලුවෙමි. ඒ චතුමි ය, ඇගේ නැගණිය සමග පැමිණ ඇත්තේ. ඇය අත භාජනයක් තිබිණි. "ආ මෙන්න හැලප හැදුව අම්ම. මං ඉතින් අරං ආවා අම්ම කිව්වා නංගි එක්ක ගිහින් දීල එන්න කියලා." යැ යි ඕ කියාගෙන කියාගෙන ගියා ය. ඇයට ස්තුති කර එය ලබාගෙන ඔවුන් නිවසට කැඳවා මා ළඟ තිබූ චොකලට් ඔවුන් දෙදෙනාට ලබා දිණි. පසු ව නංගී සුපුරුදු පරිදි චිත්‍රකාමරයට ගොස් එහි කාලය ගත කරන්නට විය. එය පැයක පමණ කතාවක ආරම්භය විණි. චිත්‍රප්‍රදර්ශනයේ වැඩ නිසා දෝ එදින වෙනදා මෙන් ඈ සමග කතා කිරීමට තරම් හිත නිදහස් නො විණි, ඇතැම් විට ඇයට ද එය වැටහෙන්නට ඇත. ඒ නිසා දෝ ඇයගේ කතාබහ අතර ඇනුම්පද ද තිබිණි යැ යි මට සිතේ. වෙනදා බොහෝ විට මම ඇය ගේ ගවුම ලස්සන යැ යි හෝ කුමක් හෝ පවසමි. ඇත්තට ම ඇය ලස්සනට අඳී, පළඳී. නමුත් එදින මට එවැන්නක් කීමට අමත විය. ඇතැම් විට ඕ ඒ නිසා සිත් රිදවගත්තා විය හැක.
"දැන් ප්‍රදර්ශනේට දින කිට්ටුයි නේ ද? තව ගොඩක් චිත්‍ර අඳින්න තියෙනවා ද?
"නැහැ චතූ තව එක ම එකයි අඳින්න තියෙන්නෙ."
"ආ.. ඒ මොකක් ද?"
"ආදරය..."
චතුමි කුමක් හෝ කියන්නට සැරසුන ද එවිට ම චලන ගෙන් දූරකතන ඇමතුමක් ආ නිසා මා එයට උත්තර දුනිමි.
"හෙලෝ... චලන.. දැන් එන්න ද යන්නේ... හරි එන්න මං ගෙදර..."
"අයියෙ... එහෙනම් අපි යන්නම්, දැන් ඔයා ගේ යාලුවෙකුත් එනවා නේ. නංගී..... එන්න අපි යං අයියට වැඩ නේ..."
ඕ ඇයගේ නැගණිය සමග පිටව ගොස් කෙටි වේලාවලින් චලන නැටුම්වලට ගන්නා මේකප් බඩු ද රැගෙන මා ගේ නිවසට පැමිණියේ ය.
ඔහු හේ අදහස වූයේ සිතුවම් කලාවත් නර්තනයත් දෙක ම එක ම කාර්යයක් මාධ්‍ය දෙකකින් කිරීමක් බව ය. සිතුවම සායම් මගින් කැන්වසයක භාවයන් නිරූපණය සඳහා හැඩතල යෙදීමක් වන අතර නර්තනය යනු වේදිකාවක ශරීරය මගින් භාවයන් නිරූපනයට හැඩතල මැවීමක් බව ය.
කෙසේ වුවත් මේකප්බඩුවල අවශ්‍යතාවක් ඇතැ යි මට නො සිතිණ. සෙටිය මත ඔහු හිඳගත් විට, නැවතත් එහි වෙනස් කිරීමට කිසිවක් ඇතැයි මට නො සිතිණ. සෑම රේඛාවක ම සරල හැඩතලයක ම එකිනෙක බැඳුණු රිද්මයක් පැවතිණි. මම මාගෙ සිතුවම අවසන් කළෙමි.