හින්දු ආගමේ මූලාශ්‍රය

නැහැ මං හින්දු ආගම උගන්වන්න නෙමෙයි හදන්නේ. හින්දු ආගම ඉගෙනගන්න විදිහ ගැන ටිකක් කියන්න හදන්නේ.

පළවැනියටම තේරුම් ගන්න ඕනේ හින්දු කියලා අපි කිව්වට ඇත්තටම එහෙම එක ආගමක් නැහැ. හින්දු කියන වචනේ හැදෙන්නේ සින්ධු පදය ප"සියානු හුරුවට උච්චාරණය කිරීමෙන්. මුලම කාලෙදි හින්දු කියලා තියෙන්නේ සින්ධු නදියෙන් මෙපිට ඇති දේවල්වලට. හැබැයි පස්සේ බෞද්ධ ජෛන වගේ ආගම්වලින් වෙනස් වුණු වේදය කියන පොත් හතර පිළිගන්න බව කියන ආගමික සම්ප්‍රදායන් ඇටහුටහාමාරකට විතර පොදුවේ දීපු නම තමයි හින්දු කියලා කියන්නේ. ඉතින් ඒ නිසා හින්දු කිව්වම එක ආගමික සම්ප්‍රදායක් එක ආගමක් නෙමේ ආගම් ගණනාවක් අයිති වෙනවා.

මේ ආගම් ගණනම අපිට තේරුම් ගන්න ලේසිට ප්‍රධාන කොටස් කීපයකට බෙදන්න හැකියි.

1.මුල් වෛදික ආගම

2.බ්‍රාහ්මණ ආගම

3.පෞරාණික ආගම්

4.ෂඩ්දර්ශන


හින්දු ආගම ඉගෙනගන්නකොට රකින්න වෙන මූලික සිල්පදයක් වගේ එකක් තියෙනවා. ඒ තමයි සත්‍ය දැනගැනීමේ මාර්ගතුන සමාදං වීම. ඒ කියන්නේ හැම හින්දුවම පොදුවේ පිළිගන්න සත්‍ය දැනගැනීමේ මාර්ග තුනක්වත් අඩුම තියෙනවා. ඉතින් ඒ මාර්ග තුන හරියටම සේසෙටම පිළිපදින්න වෙනවා.

1. දැකලා, අලල්ලලා බලලා, පාවිච්චි කරලා බලලා තහවුරු කර ගැනීම. (ප්‍රත්‍යක්ෂය)

2. දැකපු ඒවා ගැන තියෙන දැණුමෙන් අනුමාන කරගැනීම.

3. ශුද්ධ වූ පිළිගත් ග්‍රන්ථ


මේ තුනෙන් ඉතාම වැදගත් සහ විශ්වසනීයම මාර්ගය පළවැනි එක නෙමේ තුන්වැනි එක. ඒකම තමයි හින්දු ආගම් ඉගෙනගන්න එකේ තියෙන අමාරු වැඩේ. මොකද හරියටම මොන පොත්ද මේ එක එක අය පිළිගන්නේ කියන එක දැනගන්න වෙනවා. අනිත් ප්‍රධානම දේ තමයි මේ පොත්වල තියෙන කරුණු සෑහෙන තරම් අටුවා ටීකා සන්න ලියලා අරිථකථනය කරලා තියෙන එක. ඒක පහසුවක් වෙනවා වගේම ලොකු සීමාවකුත් වෙනවා. ඒ කියන්නේ අපිට හිතුමනාපෙට පොත්වල තියෙන දේවල් අර්ථකථනය කරන්න තේරුම් කරගන්න බැහැ. හැම තිස්සේම වගේ සිද්ධවෙන්නේ අර දීලා තියෙන අර්ථකථන මත යැපෙන්න. ඔව් ඉතින් ඒ කියන්⁣නේ කොච්චර ගොං කතා කිව්වත් අපිට වෙන්නේ ඒ ආගම ඇතුළේ ඒ ගොං කතා පිළිගන්න. අපි ආස විදිහට තේරුම් නොගෙන.

දැන් බලමු අර කලින් කිව්ව කොටස්වලට අයිති පිළිගත් ශුද්ධග්‍රන්ථ මොනවද කියලා.


1. මුල් වෛදික

මේක තමයි ලේසිම කොටස. මේ කොටසට අයිති වෙන්නේ ඍග්, යජුර්, සාම, අථර්වන් කියන පොත් හතර. හතරක් කිව්වට ඇත්තටම පළවැනි තුන බොහෝම සමානයි ගොඩක් පැතිවලින්. මේවට කියනවා සංහිතා කියලා.

ඒ වගේම මේක තමයි වැදගත්ම කොටස, මොකද අනිත් සෑම සම්ප්‍රදායක්ම මේ කොටසේ තියෙන ශුද්ධග්‍රන්ථවල ශුද්ධත්වය පිළිගන්නවා. ඒ කියන්නේ මේ පොත් හතරේ තියෙන්නේ ඇත්තම ඇත්ත විදිහට ඒ හැමම පිළිගන්නවා.


2.බ්‍රාහ්මණ

මේ අයට පොත් දාහතරක් තියෙනවා. ඒවාගේ නමත් බ්‍රාහ්මණ. මේවා ලියවෙන්නේ යාගයක  කරන විදිහ, ඇයි යාගයක් කරන්නේ, කොහොමද යාගයක් කරන්නේ, වේදයේ තියෙන මන්ත්‍ර කොහොමද යාගයට සම්බන්ධ වෙන්නේ වගේ දේවල් පැහැදිලි කරන්න.

මේ පොත්වල වචනවල තේරුමත් සමහර තැනවල දක්වලා තියෙනවා, එහෙම වචන තේරුම් කරන්න හෝ යාගය ගැන අර කිව්ව දේවල් විස්තර කරන්න හෝ මේ පොත්වල අර්ථවාද කියලා ක්‍රමයකුත් භාවිත කරලා තියෙනවා. ඒකෙදි කරන්නේ කතන්දරයක් කියලා ඒ හරහා අදාළ දේ පැහැදිලි කරන එක. මේ සමහර කතන්දර ආර්යයන් භාරතයට එන්නත් කලින් ඇති වුණු ජනකතා වගත් ⁣දකින්න හැකියි. හැබැයි එව්වා ටිකක් නීරසයි හේතුව කතාව කියන එක එයාලගේ අරමුණ නොවුණු එක තමා.

මේ බ්‍රාහ්මණ තවත් වැදගත් වෙන්න හේතුවක් තමයි මේවගේ අග ආරණ්‍යක උපනිෂද් කියලා වෙනම අඳුනගන්න පොත් අමුණලා තියෙන එක. ඒවා බ්‍රාහ්මණ වගේ යාගය ගැන කතානොකර ආත්මය පරමදෙවියන් වගේ දේවල් ගැන දාර්ශනිකව කතාකරලා තියෙන පොත්. මෙතනින් සම්පූර්ණ වෛදික පොත් බිහි වීම නතර වෙනවා. ඒ කියන්නේ සංහිතා බ්‍රාහ්මණ ආරණ්‍යක සහ උපනිෂද් තමා වෛදික සාහිත්‍ය කියන්නේ. 


3.පෞරාණික ආගම්

මේ කොටස සෑහෙන තරමක් සංකීර්ණයි. මේ අයගේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒවා ඇත්තටම බැලුවොත් ආගම් තුනක් වගේම තමා.

          1.වෛෂ්ණව - විෂ්ණු ආගම

          2. ශෛව - ශිව ආගම

          3. දෛවී - දුර්ගා ආගම

මේ අය පොදුවේ කලින් කිව්ව වේද හතරම පිංලිගන්න අතරේ ටිකක් සංකීර්ණ ක්‍රමයකට බ්‍රාහ්මණත් වෙන වෙනම පිළිගන්නවා. හැබැයි මේ ආගම් තුන මූලිකව හැඩගැහෙන්නේ පුරාණ කියන පොත් දහඅට අනුව. එක එක ආගමට මේ පුරාණ වෙන් වෙන්ව තමා අදාළ වෙන්නේ. ඒ අතර පොදු කොටසුත් තියෙනවා.

ඒ පුරාණවල නම්,


1. අග්නි පුරාණය. 2. භාගවත පුරාණය. 3. භවිෂ්‍ය පුරාණය. 4. බ්‍රහ්මාණ්ඩ පුරාණය. 5. බ්‍රහ්මවතාර පුරාණය. 6. ගරුඩ පුරාණය. 7. කුර්ම පුරාණය. 8. ලින්ග පුරාණය. 9. මාර්කණ්ඩ පුරාණය. 10. මත්ස්‍ය පුරාණය. 11. නාරදිය හෝ නාරද පුරාණය. 12. පද්ම පුරාණය. 13. ශිව පුරාණය. 14. ස්කන්ධ පුරාණය. 15. වාමන පුරාණය. 16. වරහ පුරාණය. 17. වායු පුරාණය. 18. විෂ්ණු පුරාණය.


මේවගේ වැඩියම තියෙන්නේ කථා. මේ කථා අර බ්‍රාහ්මණවල තියෙන කථාවලම දිගුවක් වෙන තැනුත් අමුතුම කථා විදිහට හැදෙන ඒවත් දෙකේම එකතුවක්. ඒ අතර  දාර්ශනික කරුණුත් මේවාගේ ඇතුළත් වෙනවා.

මීට අමතරව වීරකාව්‍ය දෙක වුණු රාමායණය මහාභාරතය දෙකත් මේ අයගේ පිළිගත් ග්‍රන්ථ වෙනවා.


4. ෂඩ්දර්ශන


මේ කොටස අනිත් කොටස්වලට වඩා තරමක් සංකීර්ණයි. හැබැයි සමහර විට පෞරාණික ආගම් තරම් සංකීර්ණ නැතිවත් ඇති. නමෙන්ම තේරෙනවා වගේ මේ කොටසට අයිති දර්ශන හයක් තියෙනවා. මේවා හඳුන්වන්නේම දර්ශන කියන නමින්. ඒ හය නම්,

1.සාංඛ්‍ය

2.යෝග

3.න්‍යාය

4.වෛශේෂික

5.පූර්වමීමාංසා

6.වේදාන්ත


මේ හයෙන්ම අද වෙනකොට අනෙක් ආගම් වගේම ක්‍රියාකාරීව තියෙන්නේ වේදාන්ත කියන කොටස විතරයි.  හැබැයි න්‍යාය යෝග වගේ දර්ශනත් එක්තරා විදිහකට ක්‍රියාකාරීව තියෙන් බව කියන්න හැකි. මේවාගෙන් අවසාන දර්ශනය වෙන වේදාන්ත දර්ශනය හැරුණුකොට අනිත් දර්ශනවල පිළිගත් පොත් මො⁣නවද කියන එක ඒ තරම් සංකීර්ණ නැහැ. කොහොම උණත් මේ හයටම තම තමන්ට ආවේනික සූත්‍ර ග්‍රන්ථ හයක් තියෙනවා. සූත්‍ර කිව්වට මේවා පාළි සූත්‍ර වගේ නෙමෙයි e=mc^2 වගේ සූත්‍ර. ඉතින් මේ සූත්‍රවලින් කියන දේ සාමාන්‍යයෙන් මනුස්සයෙකුට තේරෙන්නේ නැති නිසා, මේවට අටුවා ලියලා තියෙනවා. ඒවට කියන්නේ භාෂ්‍ය කියලා. මතක තියාගන්න අවශ්‍යම දේ තමයි මේ සූත්‍ර-පොත්වලින් එකක් හරි නම් කරනකොට ඒ නම් කරන්නේ ඒකේ භාෂ්‍යයත් එක්ක කියන දේ.


1.සාංඛ්‍ය

මේ දර්ශනයේ ආදිකර්තෘ නැති නම් මේකේ ආරම්භකයා වෙන්නේ කපිල ඍෂිවරයා. මෙයාලගේ සූත්‍රග්‍රන්ථය සාංඛ්‍යප්‍රවචනසූත්‍ර. මීට අමතරව සාංඛ්‍යකාරිකා කියන පොතත් මේ අයගේ පිළිගත් පොත් අතර ඉහළම තියෙනවා.


2.යෝග

පතඤ්ජලී ඍෂිවරයා ආරම්භ කරපු යෝග දර්ශනයේ සූත්‍රග්‍රන්ථය යෝගසූත්‍ර කියන පොත. 


3.න්‍යාය

මේ දර්ශනය පටන් ගන්නේ ගෞතම අක්ෂපාද නම් ඍෂිවරයා. න්‍යායසූත්‍ර තමයි ප්‍රධානම පිළිගත් ග්‍රන්ථය වෙන්නේ.


4.වෛශේෂික

කනාද ඍෂිවරයා ආරම්භ කළ මේ දර්ශනයේ සූත්‍රග්‍රන්ථය වෛශේෂිකසූත්‍ර. මීට අමතරව පදාර්ථධර්මසංග්‍රහ පොතත් ලොකු.පිළිගැනීමක් තියෙන පොතක්.


5.පූර්වමීමාංසා

ජෛමිනී ඍෂිවරයා ආදිකර්තෘ විදිහට සලකන මේ දර්ශනයේ පිළිගත් මූලග්‍රන්ථය වෙන්නේ පූර්වමීමංසාසූත්‍ර ග්‍රන්ථය.


6.වේදාන්ත

මේක අනිත් දර්ශනවලට වඩා සංකීර්ණයි. හේතුව මේකේ දර්ශන සම්ප්‍රදායයන් නැකි නම් තෙරෙන සිංහලෙන් ස්කූල්ස් කීපයක් තියෙනවා. මේ අතරින් සමහර ඒවා අහසපොළව වගේ වෙනස්. සමහර ඒවා හින්දී උර්දුයි ස්පාඤ්ඤයි ප්‍රුතුගාලයි වගේ ඉගෙනගන්නකම්ම වෙනසක් හොයන්න බැහැ. හැබැයි මේවාගේ තියෙන පොත් මාරු කරලා තේරුම් ගත්තොතත් හෝ පොත් නැතිව තේරුම් ගන්න ගියොත් වෙන්නේ වේදාන්ත වෙනුවට වෙනම අදහස් ටිකක පැටලෙන්න. හේතුව තමයි මං කලින් සටහනේ කිව්වා වගේ මේ අය පිළිගත් ග්‍රන්ථ නැති නම් ශ්‍රුතියට ප්‍රධානත්වය දෙන එක.


•අද්වෛත

වේදාන්තවලින් පැරණිම සම්ප්‍රදාය මේක. මේ කේ ආරම්භකයා ගෞඩපාද වුණත් මේකේ ප්‍රතිස්ථාපකයා නැකි නම් මේ දර්ශනය හොඳින් පිහිටවූ කෙනා වෙන්නේ ආදිශංකරාචාර්යයන්.

මේ අය පිළිගත් පොත් කොටස් තුනක් තියෙනවා ඒ,

1.ශ්‍රුති

2.ස්මෘති

3.සූත්‍ර


ශ්‍රුති කියන එකෙන් අදහස් කළේ බ්‍රාහ්මණ යටතේ තියෙනවා කිව්ව උපණිෂද් පොත්ටික. මේ අය බ්‍රාහ්මණ පිළිගන්න වැඩි කැමැත්තක් දැකවුවේ නැහැ. ඒ වෙනුවට ගත්තේ උපනිෂද් පොත්. පිළිගන්න හැකි.පරණම නියම උපනිෂද්.කියලා සලකන උපනිෂද්වලට අමතරව තවක් උපනිෂද් 200ක් විතර තියෙනවා. මේ අද්වෛතිකයෝ පිළිගන්න උපනිෂද් ප්‍රමාණය වෙන්නේ එයින් අර පරණම උපනීෂද් දොළහක් විතර තමයි.


1.ඊශ, 2.කේන, 3.කඨ, 4.මුණ්ඩක, 5.මාණ්ඩුක්‍ය, 6.ඓතරේය, 7.තෛත්තරීය, 8, බෘහදාරණ්‍යක, 9,ඡාන්දෝග්‍ය, 10.ප්‍රශ්න, 11.ශ්වේතාශ්වතර, 12.මහානාරායණ.


මෙයිනුත් වැඩි පිළිගැනීම තියෙන්නේ වඩා පැරණි මුල් උපනිෂද් 11ටයි. ඒ උපනිෂද් වඩාත් වැදගත් වෙන්නේ ඒවාට ආදිශංකරාචාර්යයන් ලියපු භාෂ්‍යත් තිබීමයි.


ස්මෘති කියන්නේ ශ්‍රීමද්භගවද්ගීතාව. මේක.ඇත්තටම වර්තමානය වනවිට මහාභාරතය කියන වීරකාව්‍යයේම කොටසක් විදිහට තියෙන පොතක්. හැබැයි වේදාන්තිකයෝ ඒකට විශේෂ වටිනාකමක් දෙනවා. හේකුව ඒක උපනිෂද් සාරය විදිහට සලකන්න පුලුවන් වීම. හැබැයි මෙතනදීත් මතක තියාගන්න අවශ්‍යම දේ තමයි, ගීතාව තනියම නෙමෙයි ගන්නේ අද්වෛතයේදී. ගීතාව සහ ඒකට ආදිශංකරාචාර්යයන් කරපු භාෂ්‍යයත් එක්ක තමයි ගන්නේ. හේතුව බොහෝදුරට හැම වේදාන්ත සම්ප්‍රදායක්ම තමන්ට අවශ්‍ය විදිහට ගීතාව අර්ථකථනය කරගෙන තිියෙන එක.


සූත්‍ර කියන්නේ, බ්‍රහ්මසූත්‍ර නැති නම් වේදාන්තසූත්‍ර කියන පොත. මේකත් සියලුම වේදාන්තිකයෝ පිළිගෙන තමන්ට හරියන විදිහේ භාෂ්‍ය ලියලා තියෙන නිසා අද්වෛතයේදී මේක ගන්නේ ශාරීරිකභාෂ්‍ය නැති නම් ශාඞ්කරභාෂ්‍ය කියන ආදිශංකරාචාර්යයන්ගේ භාෂ්‍යයත් එක්ක.


•විශිෂ්ටාද්වෛත

මේ සසම්ප්‍රදාය පටන් ගන්නේ රාමානුජාචාර්යයන්. මෙතුමාම ලියපු, ශ්‍රීභාෂ්‍ය කියන බ්‍රහ්මසූත්‍රභාෂ්‍යයත් ගීතා භාෂ්‍යයත් මේ සම්ප්‍රදායේ මූලග්‍රන්ථ වෙනවා.


•ද්වෛත

මධ්වාචාර්යයන් ආරම්භකරන මේ සම්ප්‍රදාය පිළිගන්න මූලග්‍රන්ථය වෙන්නේ මෙතුමා ලිව්ව අනුව්‍යාඛනබ්‍රහ්මසූත්‍රභාෂ්‍ය නම් පොත


මේ තමයි  ප්‍රධාන සහ පැරණි වගේම පැහැදිලි වේදාන්ත සම්ප්‍රදාය තුන. මීට අමතරව නිම්බාකරයන්ගේ ද්වෛතාද්වෛත, වල්ලභාචාර්යයන්ගේ ශුද්ධාද්වෛතය සහ චෛතන්‍ය මහාප්‍රභූගේ අචින්ත්‍ය අභේදය කියන සම්ප්‍රදායයන් තියෙනවා. එහෙම වුණත් මේ අවසා සම්ප්‍රදාය වේදාන්ත ලෙස පිළිගන්න තරම් සුදුසු වෙන්නේ නැත්තේ ඒ අය වේදාන්ත මූලග්‍රන්ථවලින් පිළිගන්නේ ගීතාව විතරක් නිසා.


කෙසේ වෙතත් මේකෙන් පැහැදිලි වෙන දේ තමයි මේ එක අය ඉදිරිපත් කරන අදහස් අපිට හිතාගන්න බැරි තරම් සියුම් වෙනස්කම් සහික වෙනවා වගේම ඒවට මුල් වෙලා තියෙන්නේ ඒ අයගේ මූලග්‍රන්ථ කියන එක. අපිට හින්දු ආගම ඉගෙනගන්නවා නම් මේ කියන වෙනස්කම් සහ සම්ප්‍රදායයන් ගැන සලකන්නම වෙනවා. නැකි නම් හින්දුකොක්ටේල් එකක් තමා එළියට එන්නේ.

ඇත්තටම එහෙම හින්දු කොක්ටේලුත් දැන් ඉන්දියාවේ සෑහෙන තරම් සාමාන්‍ය මිනිස්සු අතර ජනප්‍රියයි. සාමාන්‍ය කියන්නේ විද්‍යාව අරවා මේවා  උගත් ඈයොත් ඔය අතර ඉන්නවා. මේවා හරියට බෞද්ධ ක්‍රිස්තියානි ආගමික කල්ට් වගේ ඒවා. සීනිබෝල ආධ්‍යාත්මික කතන්දර කෝටියයි. ශාස්ත්‍රීය පදනම නිල්. ඉතින් ශාස්ත්‍රීය කියවීමක් කරනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. අද"වය්ස් හූ ඈම් අය් ටු ටෙල් යූ වට් ටු ෆලෝ ඕ නොට්....

සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

  සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය ·          පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. ·          කණ්ඩකාව්‍ය ගණයට අ...