සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

 සංස්කෘත ශතකකාව්‍ය

නිර්වචනය

·         පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ.

·         කණ්ඩකාව්‍ය ගණයට අයත් වන ශතකකාව්‍යයන්හි සුවිශේෂී ලක්ෂණය වන්නේ මුක්තකපද්‍යයන්ගෙන් සමන්විත වීමයි. එනම් ශතකයක ඇතුළත වන පද්‍ය එකිනෙක සම්බන්ධ ව නොපවතින අතර, එක් පද්‍යයකින් හුදු එක් අදහසක් ඉදිරිපත් කෙරෙයි.

පසුබිම

·         කාලිදාසගේ යුගයට සමකාලීන ව හෝ ඊට කෙටි කලකට පසුව වඩාත් නිදහස් කාව්‍යකරණයක් පිළිබඳ ඇති වූ අදහස් අනුව යමින් ශතකකාව්‍ය සාහිත්‍යය බිහි වූ බව ජයදේව තිලකසිරි ආදීහු පවසති. (තිලකසිරි.2007.පි.94)

·         කාලිදාසයන් කළ මේඝදූතයෙන් ඇරැඹි කණ්ඩකාව්‍ය සාහිත්‍යය, මහාකාව්‍ය වැනි දැඩි රීතීන් මගින් හැඩගැසී නොමැති නිසා කවීන්ගේ ආකර්ශනය ඒ වෙත යොමු විය. කෘතියෙහි කෙටි බව අවධාරණය වීමද කවීන්ට වඩාත් පහසුවක් විය.

·         කණ්ඩකාව්‍ය අතරෙහිම ගැණෙන ශතකකාව්‍ය රචකයින් සහ පාඨකයින් අතර වඩාත් ජනප්‍රිය විමට හේතු වන්නේ, කෙටි බව, විවිධ වෘත්තයන්ගේ භාවිතය සහ මුක්තකපද්‍යයන්ගෙන් සඞ්ග්‍රහ වීමයි.

පැරැණිම ශතකකාව්‍ය

·         පළමු හෝ අවශේෂ කෘති අතරින් පැරැණිම හෝ ශතකකාව්‍යය කුමක්දැයි නිශ්චිත නිගමනයකට පැමිණිමට තරම් ප්‍රාමාණික තොරතුරු නොමැති වීමෙන් ඒ පිළිබඳ විවිධ මතවාද පවතී.

§  ඇතැමෙක් පැරැණිම ශතකකාව්‍යය ලෙස අමරුශතකය හඳුනාගනිති.

§  එහෙත් භර්තෘහරී අමරුට පෙර ජීවත් වූ බවට ඇතැමෙක් තර්ක කරති.

§  ‘ශතක’ නාමය පිළිබඳ පමණක් සලකා ඇතැමෙක් ව්‍ය.ව. පළමු සියවසේ ලියැවුණු “අවදානශතක” නම් සර්වාස්තිවාදී බෞද්ධ සම්ප්‍රදායට අයත් අවදාන සියයක් ඇතුළත් ගද්‍ය කාව්‍යයක් පළමු ශතකය ලෙස හඳුන්වා දෙති.

§  එසේම ව්‍ය.ව පස්වැනි සියවසේ ආර්යභට්ට විසින් ලියැවුණු ආර්යාෂ්ටශතකය පැරැණිම ශතකය ලෙස පිළිගන්නෝද වෙති.

·         මෙසේ නිශ්චිත නිගමනයකට පැමිණිම අපහසු වීමට එක් හේතුවක් වන්නේ, “ශතකකාව්‍ය” නිර්වචනය කර ගැනීමේදී ‘පද්‍ය සියයක් පමණ ඇතුළත් වීම’ අවධාරණය කළ නමුත්, අනෙක් අවස්ථාවන්හිදී ‘ශතක’ නාමය කෙරෙහි පමණක් අවධානය ලබා දීමය.

§  ශතකකාව්‍ය ලෙස ඇතැමෙකු විසින් සලකනු ලබන නාමාෂ්ටශතකයෙහි පද්‍ය 18ක් පමණක් ඇති අතර,

§  චතුශ්ශතකයෙහි කාරිකා 400ක් දක්නට ලැබේ.

වස්තුවිෂය

·         පැරැණිම ශතකකාව්‍යය වන්නේ, අමරුශතකයයැයි සලකන්නේ නම්, ශතකයන්ගේ ආරම්භය සිදු වන්නේද කණ්ඩාව්‍ය සේම ශෘඞ්ගාරය වස්තුවිෂය කොටගනිමිනි.

·         කාලයත් සමග ස්තෝත්‍ර ආදි ආගමික වස්තුවිෂයයන් සහ නීති සහ ධර්මශාස්ත්‍ර සේම සදුපදේශයන්ද ශතකකාව්‍යයන්හි ප්‍රධාන වස්තුවිෂය බවට පත්විය. එම වස්තුවිෂයයන් සහ ඉලක්කගත අරමුණු පහත පරිදි දැක්විය හැකිය.

§  අලෞකික ජීවිතයට විරාගය ආදි ආගමික සංකල්ප

§  ලෞකික ජීවිතයට ශෘඞ්ගාරය

§  බ්‍රහ්මචාරී ජීවිතයට අධ්‍යාපනය සම්බ්නධ ධර්ම නීති ශාස්ත්‍ර

වෛරාග්‍යශතකය

කර්තෘ

·         ශෘඞ්ගාර, නීති සහ වෛරාග්‍යශතකත්‍රයම භර්තෘහරී වෙත පැවරෙන නමුත්, භර්තෘහරී පිළිබඳ නිශ්චිත තොරතුරු හමු වී නැත.

·         එයට හේතුව වන්නේ, වාක්‍යපදීය රචනා කළ භර්තෘහරී බෞද්ධයෙකු හෝ අද්වෛත දාර්ශනිකයෙකු හෝ වන අතර, ශතකත්‍රයෙහි කතුවරයා ශිවභක්තිකයෙකු වීමයි. (වෝලටර් මාරසිංහ තුමා වාක්‍යපදීය රචනා කළ කර්තෘවරයා බෞද්ධයෙකු බව දක්වති.)

·         වාක්‍යපදීය කතුවරයා ව්‍ය.ව. 600-651 පමණ ජීවත් වූ බව ඉ-ට්සිං වාර්තාවෙ සඳහන් වේ. එහෙත් ඔහු ශතකත්‍රයක් රචනා කිරීම පිළිබඳ තොරතුරු එහි දක්වා නැත.

·         ශතකත්‍රයෙහි කතුවරයා වික්‍රමාදිත්‍ය රජුගේ කාලයේ වාසය කළ බවත් ඔහු රජුගේ වැඩිමහල් සොයුරා බවත් සාම්ප්‍රදායික පිළිගැනීම වේ.

·         එච්.ජී. රොලින්සන් ආදීන් පවසන්නේ, එකම භර්තෘහරී පසුකාලීන ව බෞද්ධ ආගම වැළඳගන්නට ඇති බවයි. වෝලටර් මාරසිංහ තුමාත් ජයදේව තිලකසිරිත් එම මතතය පිළිගත හැකි බව දක්වති.

වෛරාග්‍යශතකය

·         මුක්තක කාව්‍යයකි.

·         සංස්කරණ දෙකක පද්‍ය සංඛ්‍යාව 100ක් සහ 116ක් ලෙස ඇතුළත් වෙයි.

·         මෙම සංස්කරණ දෙකටම පොදු පද්‍ය ගණනාවක් පවතින නුමුත්, ශ්ලෝක 28ක් සහ 44ක් එකිනෙක වෙනස්ව දක්නට ලැබේ.

·         වි+රඤ්ජ්+ඝඤ්+ණ්‍ය = වෛරාග්‍ය - दृष्टानुश्रविकविषयवितृष्णस्य वशीकारसंज्ञा वैराग्यम्॥योगसूत्र।१।१५॥ දෘෂ්‍ට හෙවත් ඇස ආදි ඉන්ද්‍රියයන්ට ගෝචර වන හෝ අනුශ්‍රවික හෙවත් ශාස්ත්‍රයන් මගින් (ආගමික ඉගැන්වීම් මගින්) ගෝචර වන අරමුණු කෙරෙහි ඇති තෘෂ්ණාව නැති වීම වශීකාරසංඥා නම් වෛරාග්‍යය වේ.

·         වෛරාග්‍යය වස්තුවිෂය කොටගත් වඩාත් කාව්‍යාත්මකම ග්‍රන්ථයක් ලෙස සම්භාවනාවට පාත්‍රවන වෛරාග්‍යශතකය තේමා දහයක් යටතේ බෙදී ඇත. ඒ අනුව එක් තේමාවකට ශ්ලෝක දහය බැගින් වන ලෙස ශ්ලෝක සියය සම්පූර්ණ වී ඇත. එම තේමා දහය පහත පරිදිය.

1.       තෘෂ්ණාවට ගැරහීම

2.       විෂය අතහැරීමේ නිෂ්ඵල ප්‍රයත්නය

3.       යදියාගේ දීන බව ගැරහීම

4.       විෂය භුක්තිවිඳීමේ අස්ථිරභාවය ගැරහීම

5.       කාලයේ වටිකාම වර්ණනා කිරීම

6.       යතියෙකු සහ රජෙකු අතර වෙනස

7.       අවබෝධයෙන් මනස සංයම කරගැනීම

8.      නිත්‍ය සහ අනිත්‍ය වස්තු විචාරය

9.       ශිව වන්දනය

10.   පූර්ණ වීතරාගී බ්‍රාහ්මණයෙකුගේ චර්යාව

අනෙකුත් ශතක අතර වෛරාග්‍යශතකයේ වස්තුවිෂය පමණක් නොව එහි ඉදිරිපත් කිරීමද වඩාත් වැදගත් තැනක් ගනී.

වලභිර්මුඛමාක්‍රාන්තං පලිතෛරඞ්කිතං ශිරඃ,
ගාත්‍රාණි ශිථිලායන්තේ තෘෂ්ණෛකා තරුණායතේ.8.

මුහුණ රැළිවලින් මැඬුනද, හිස පැසුණු කෙසින් සලකුණු වුණද, අත්පා මැලැවුණද එකම තෘෂ්ණාව (පමණක්) තරුණ වේයැයි දැක්වීමෙන් භර්තෘහරී තෘෂ්ණාවෙහි ස්වභාවය කාව්‍යාත්මක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. කෙටි නමුත්, පාඨකයාට හොඳින් වැ‍ටහෙන සහ පාඨක අවධානය යොමු වන ආකාරයෙන් පද්‍ය කරණයෙහි යෙදිමෙහි ලා භර්තෘහරීගේ හැකියාව මෙයින් පෙනෙයි. එසේම තණ්හාව රාගය වනාහි මැඩගත්තේ නොවේ නම්, දිනෙන් දින වැඩි වන්නක් මිස නැති වන්නක් නොවනව බව දැක්වීමට උත්සාහ කර ඇති බව පැහැදිලි වේ.

විරාගී බවෙහි ඇති ආනන්දමය ස්වභාවය මෙම ශතකයෙන් නිරූපණය කර ඇත්තේ රූපකාලඞ්කාරයන්ද යොදාගනිමිනි. එහිදී විරාගී මුනිවරයා සහ රජු අතර තුලනය කිරීමක් සිදු කරන කතුවරයා විරාගී මුනිවරයාගේ ආනන්දමය ස්වභාවය පිළිබඳ අවධාරණය කිරීම සිදු කරන්නේ අපූර්ව ආකාරයෙනි.

මහාශය්‍යා පෘථිවී විපුලමුපාධානං භුජලතා
විතානං චාකාශං ව්‍යජනමනුකූලො’යමනිලඃ,
ශරච්චන්ද්‍රෝ දීපෝ විරතිවනිතාසඞ්ගමුදිතඃ
සුඛී ශෘන්තඃ ශේතේ මුනිරතනුභූතිර්නෘප ඉව.49.

විරාගීහුගේ මහ සයනය පොළවයි, බාහුලතාව මහ කොට්ටයි, අහස වියනයි, අනුකූල වූ පවනම විජිනිපතයි, සරාසඳ පහනයි. එසේම විරාගී පුද්ගලයා විරතිය නැමැති කාන්තාවගේ ඇසුරින් ප්‍රමෝදයට පත් ව රජෙකු සේ සියලු සම්පතින් අඩු නැතිව සුවෙන් සැනසීමෙන් වැතිර හිඳී. විරාගී මුනිවරයාගේ අල්පේච්ඡ භාවය ශ්‍රමණ භාවය පිළිබඳ රූපක සමුච්ඡයකින් ඉදිරිපත් කරන කතුවරයා එම ජීවිතය රජෙකුගේ සැපතටත් සැනසිලිදායක සන්සුන් බවටත් සමාන කිරීම මගින්, එය මිනිසෙකුට ලැබිය හැකි ඉහළම ආනන්දය බව පාඨකයාට දන්වා සිටියි. එසේම රජෙකුට හෝ නොමැති උදුරාගත නොහැකි මහා සයනයක් සහ වියනක් සහිත මුනිවරයාගේ සැනසිලි දායක භාවය පිළිබඳ දැඩි අවධාරණයක් මෙම ශ්ලෝකයෙන් සිදුකිරීමට කතුවරයා කටයුතු කර ඇත.

උපදේශාත්මක ශතකකාව්‍ය අතර, වෛරාග්‍යශතකය සුවිශේෂි වන තවත් එක් හේතුවක් වන්නේ පාඨකයා සිතීමට යොමුකිරීමයි. එනම් පාඨකයා ඉදිරියේ මාවත් දෙකක් දක්වා එයින් කුමක් තෝරාගත යුතුද යන්න පාඨකයාට තීරණය කිරීමට ඉඩ සලසමින් කතුවරයා, තමන්ට කිසිවක් සිතාගත නොහැකි බව පවසා සිටීමයි.

තපස්‍යන්තඃ සන්තඃ නිමධිනිවසාමඃ සුරනදීං
ගුණෝදාරාන්දාරානුත පරිචරාමඃ සවිනයම්,
පිබාමඃ ශාස්ත්‍රෝඝානුත විවිධකාව්‍යාමෘතරසා-
න්න විද්මඃ කිං කුර්මඃ කතිපයනිමේෂායුෂි ජනේ.76.

තවුස්දම් පුරන්නන් වී අහස්ගඟ සමීපයෙහි‍ හෙවත් ස්වර්ගයහි (ද්‍යුලෝකයෙහි) වාසය කරමුද, නැතහොත් උදාර ගුණැති බිරින්දෑවරුන් හික්මීමෙන් සකලමින් සිටිමුද, ශාස්ත්‍ර නැමැති මහා ජලකඳ පානය කරමුද නැති නම් විවිධ කාව්‍ය නැමැති අමෘතය පානය කරමුද, නිමේෂයක් ආයුෂ ඇති ජනයා වූ කල්හි කුමක් කරමුදැයි නොදනිමු. ලෙස තම පද්‍ය අවසාන කරන භර්තෘහරී මෙහිදී පාඨකයාට වඩාත් සුදුසු යැයි සිතෙන දේ තෝරාගැනීමේ අවස්ථාව සලසා දෙන්නේය. නැතහොත්, පාඨකයාට විමසා බලා තීරණය කිරිමට ආරාධනා කරයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ, එම විමසීමේදී වඩාත් නිවැරදි තීරණයට එළැඹිය හැකි ආකාරයෙන් මාර්ගය සකසා දීමට භර්තෘහරී දක්වා ඇති ශක්‍යතාවයි. එය ඔහු ගුරුවරයෙකු ලෙසත්, කවියෙකු ලෙසත් අද්විතීය වන ආකාරය මැනැවින් නිරූපණය කිරීමට සමත් වෙයි. යහපත් කාර්යයන් අතරින් වුවද වඩාත් යහපත් කාර්යය කුමක්දැයි තොරාගත යුතු බව අවධාරණය කරන භර්තෘහරී, වෛරාග්‍ය සහ ධර්මඥානයෙහි ඇති වැදගත්කම පාඨකයාට නොපිිළිගෙන නොසිටිය හැකි ආකාරයෙන් ඉදිරිපත් කර ඇත.

ජීවන දර්ශනය

රම්‍යං හර්ම්‍යතලං න කිං වසතයේ ශ්‍රව්‍යං න ගේයාදිකං
කිං වා ප්‍රාණසමාසමාගමසුඛං නෛවාධිකප්‍රීතයේ,
කින්තු භ්‍රාන්තපතඞ්ගපක්ෂපවනව්‍යාලෝලදීපාඞ්කුර-
ච්ඡාචඤ්චලමාකලය්‍ය සකලං සන්තෝ වනාන්තං ගතාඃ.80.

වාසය කිරීමට ප්‍රාසාදයක් රම්‍ය නොවන්නේද? ගීත ආදිය කන්කළු නෝවේද? ප්‍රාණය සමාන වූ බිරිඳගේ ඇසුර සුවදායක හෝ අධික ප්‍රීතිය පිණිස හේතු නොවන්නේද? එසේ නමුත්, සියල්ල කැලැඹුණු පළඟැටියෙකුගේ පියාපත්වල සුළඟින් සැලෙන පහන් දැල්ලක ඡායාව සේ චංචල බව වටහාගත් යෝගීහු වනයට ගියහ. ලෙසින් පවසන කතුවරයා මෙහිදී ලෞකික සැපතෙහි ඇති මතුපිට සැපවත් භාවය ප්‍රශ්න කිරීම වෙනුවට එහි ගැඹුරේ පවිතින අනිත්‍යතාවය නිසා උපදින දුක පිළිබඳ පාඨක අවධානය වඩාත් යොමු කරවයි. කවියා දක්වන සියලල්ම සැපවත් සැපදායී සිත් සැනසෙන වැඩි වැඩියෙන් ලබා ගැනීමට කැමති වන දේ නමුත්, ඒ සියල්ලම එක් ක්ෂණයකදී නැති වී යෑමට හැකිය. ඒ සියල්ල සෑම ක්ෂණයකදීම වෙනස් වෙමින් ක්ෂය වෙමින් පවතියි. ඒ වෙනස් වීම නොදැක එය තේරුම් නොගෙන, විරාගී ජීවිතයකට යොමු නොවන්නා හට එයින් ඇති වන දුක වටහා ගත නොහැකිය. භර්තෘහරී මෙහිදී පෙන්වා දෙන්නේ. ජීවිතයේ ඇති සියලුම සැපවත් දෑ පිටුපස පවතින වෙනස් වීම අනිත්‍ය ක්ෂණිකත්වය අවබෝධ කටයුතු බවයි. එය ඔහුගේ ජීවන දර්ශනයෙහි මූලික පදනමක් ලෙස දැක්විය හැකි වන්නේ සමස්ත වෛරාග්‍යය වෙත යොමු වීම ඒ මතින් සිදු වන නිසාය. ඒ බව පහත ශ්ලෝකය මගින්ද මැනැවින් පැහැදිලි වේ.

රම්‍යාශ්චන්ද්‍රමරීචියස්තෘණවතී රම්‍යා වනාන්තඃස්ථලී
රම්‍යං සාධුසමාගමාගතසුඛං කාව්‍යේෂු රම්‍යාඃ කථාඃ,
කෝපෝපාහිතබාෂ්පබින්දුතරලං රම්‍යං ප්‍රියායා මුඛං
සර්වං රම්‍යමනිත්‍යතාමුපගතේ චිත්තේ න කිඤ්චිත්පුනඃ.79.

සඳරැස් රම්‍යවේ, තණබිම් සහිත වනාන්තර රම්‍ය වේ, සුදනන් ඇසුරින් ලත් සුවය රම්‍ය වේ, කාව්‍ය අතර කථා රම්‍ය වේ, කෝපයෙන් හටගත් කඳුළු සහිතව ගැහෙන සොඳුරි‍යගේ මුහුණ රම්‍ය වේ. මේ සියල් රම්‍ය වන්නෙ නමුත්, සිත අනිත්‍ය භාවයට පත් වූ විට කිසිවක් රම්‍ය නොවේ. මේ අනුව භර්තෘහරී  විසින් ඉදිරිපත් කෙරෙන ජීවන දර්ශනයෙහි මුඛ්‍ය පාදම ලෙස අනිත්‍යත්වය සහ අනිත්‍යත්වය පිළිබඳ ලබා ගන්නා අවබෝධය හඳුනාගැනීමේ වරදක් නැත.

ආයුර්වර්ෂශතං නෘණෘං පරිමිතං රාත්‍රෞ තදර්ධං ගතං
තස්‍යාර්ධස්‍ය පරස්‍ය චාර්ධමපරං බාලත්වවෘද්ධත්වයෝඃ,
ශේෂං ව්‍යාධිවියෝගදුඃඛසහිතං සේවාදිභිර්නීයතේ
ජීවේ වාරිතරඞ්ගචඤ්චලතරේ සෞඛ්‍යං කුතඃ ප්‍රාණිනාම්.49.

මිනිසුන්ගේ ආයුකාලය වසර සීයකි. එයින් අඩක් රාත්‍රීකාලයේ ගෙවී ඇත. ඉතිරියෙන් අඩක් බාලකාලයේ සහ මහළු කාලයේ ගෙවී ඇත. ලෙඩවීම් වියෝ වීම් ආදියෙන් යුක්ත ඉතිරි කොටස සේවාකම් කිරීම් ආදියෙන් ගෙනයනු ලබයි. දියරලටත් වඩා සසල වූ ජීවිතය තුළ ප්‍රාණීන්නට සුවයක් කොහිද? මේ අනුව ජීවිතයෙන් හතරෙන් කොටසක් පමණක් මිනිසෙක් ක්‍රියාශීලී ලෙස ගත කරන නමුත්, එම කාලය පවා ගෙවී යන්නේ, ලෙඩරෝග වියෝ දුක් ආදියෙන් පීඩිතව සේම, අනුන්ට සේවය කිරීම් ආදියෙනි. මෙම ශ්ලෝකය භර්තෘහරීගේ ජීවන දර්ශනයෙහි ඉතා වැදගත්ම කොටස නිරූපණය කරන ආකාරය මේ අනුව පැහැදිලි වේ. එනම්, ජීවිතය කෙරෙහි තණහාවෙන් රාගයෙන් ජීවත් වන්නා ජීවිතය තුළ ලෞකික ව කටයුතු කිරීමේදී තව තවත් දුකින් දුකට මැදි ව කල් ගෙවනු මිස එයින් නිදහස් වීමට හෝ තමන් වෙත නිත්‍ය වූ සැපයක් ළඟා කර ගැනීමට කටයුතු නොකරන බවයි. අවසානයේදී ඔවුහු ලෞකික වූ සැපත සෙවීමෙන් දුකටම පත් වන බවය. ජීවන දර්ශනයක් ලෙස තම චිනත්නය ඉදිරිපත් කිරීමේදී භර්තෘහරී අවධාරණය ‍කරන්නේ, තණ්හාව මගින් මැඩී ඒ ඔස්සේ කටයුතු කිරීම මනුෂ්‍යයා තවත් පීඩාවට පත් කරන බව අවබෝධ කටයුතු බවයි.

අශීමහි වයං භික්ෂාමාශාවසෝ වසීමහි,
ශයීමහි මහීපෘෂ්ඨේ කුර්වීමහි කිමීශ්වරෛඃ.55.

අපි සිඟාගත් පිඬු බුදිමු, අහස නැමැති වස්ත්‍ර හඳිමු, පොළෝ තලයෙහි නිදමු, ධනවතුන්ගෙන් කුමක් කරමුද? ලෙස ඉදිරිපත් කෙරෙන මෙම ශ්ලෝකයෙන් වෛරාග්‍යශතකයෙහි එනම් විරාගී පුද්ගලයෙකුගේ ජීවනදර්ශනයෙහි පැවතිය යුතු තවත් එක් ප්‍රධානතම ලක්ෂණයක් අලඞ්කාරවත් ව ඉදිරිපත් කර ඇත. විරාගී මනිවරයා වනයෙහි වාසය කරයි. හේ වස්ත්‍ර පමණකටත් අයිතියක් නැත්තේ වෙයි. එ් නිසා ධනය ඇති ධනවතුන් ඇසුරින් කුමක් ලබන්නද? එනම් මෙයින් අවධාරණය කෙරන්නේ විරාගී පුද්ලයාගේ අල්පේච්ඡභාවයයි. එයින්ම පරම ආන්දයක් ජීවිතයෙහි ලැබිය හැකි බව මෙම ශ්ලෝකය සහ අනෙකුත් ශ්ලෝක ගැලපීමෙන් පාඨකයාට අපහසුවකින් තොරව අවබෝධ කර ගැනීමට භර්තෘහරී ඉඩ සලසා ඇත.

ස්ඵුරත්ස්ඵාරජ්‍යෝත්ස්නාධවලිතතලේ ක්වාපි පුලිනේ
සුඛාසීනාඃ ශාන්තධ්වනිෂු රජනීෂු ද්‍යුසරිතඃ,
භවාභෝගෝද්විග්නාඃ ශිව ශිව ශ‍ිවේත්‍යුච්චවචසඃ
කදා යාස්‍යාමෝ’න්තර්ගතබහුලබාෂ්පාකුලදශාම්.85.

සන්සුන්වූ රාත්‍රීන්හි අහස්ග‍ෙඟහි බැ‍බලෙමින් වර්ධනය වන සඳරැසින් සුදු පැහැ ගැන්වුණු ඉවුරු තලයක් ඇති කොහේ හෝ වැලිතලාවක සුවසේ හිඳිමින් භව සම්පත් භුක්ති විඳීමෙන් කළකිරීම නිසා ශිව ශිව ශිව යැයි උස් හඬින් ජපන්නා වූ අප තුළ නැගෙන සතුටින් උපන් කඳුළින් ඔද වැඩගිය තත්වයට පත් වන්නේ කවදාදැයි අසන මෙම ශ්ලෝකය මගින් භර්තෘහරීගේ ජීවන දර්ශනයෙහි නිෂ්ටාව සලකුණු කිරීමක් සිදු වන්නේය. එනම්, විරාගී පුද්ගලයෙකුගේ අරමුණ වන්නේ, පරිපූර්ණ විරාගී භාවයට පත්ව, ජීවිතයේ භවසම්පත් භුක්ති විඳීමෙන් ඇති වන්නා වූ දුකින් සම්පූර්ණයෙන් නිදහස් වීමයි. භර්තෘහරී ශිව භක්තිකයෙකු නිසා, ශිව තුළ ලීන වීම ලෙස එය දක්වන අතර, සමස්තයක් ලෙස සැලකීමේදී ආගමික නිෂටාවට පත් වීම මෙයින් අදහස් කරන බව පැහැදිලි වේ. එනම් භර්තෘහරීගේ ජීවන දර්ශනයේ තවත් වැගත් කොටසක් වන්නේ මිනිසා විසින් ආගමික නිෂ්ටාවට පත්වීමට හෙවත් සම්පූර්ණයෙන් රාගයෙන් තොර වීමෙන් ලබන්නා වූ ආනන්දය ලැබීමට උත්සාහවන්ත විය යුතු බවයි. පාඨකයා ඒ වෙතට යොමු කිරීමක් මෙම ශ්ලෝකයෙන් කතුවරයා සිදු කර ඇත.


සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

  සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය ·          පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. ·          කණ්ඩකාව්‍ය ගණයට අ...