සෙමින් ගලායන ජලය ඉවුරේ වැදී හඬනගන බවක් මේ දැන් ඔහු ගේ සවනේ වැකුණු හඬින් දැනගන්නා තුරු දැන නො සිටි කසුන් ඒ හඬට කන්දෙන්න විය. ඍෂිකේශ් හී පරමාර්ථනිකේතනය ඉහළින් පැමිණි සූර්‍යකිරණ ඔහු ඉදිරියේ ඇති ගංගා නදී තලයේ වැදී ඔහු සොයා පැමිණීමට ඇත්තේ සුලු වේලාවක් බව ඔහු දැනගත්තේ උදෑසන ගංගා ස්නානයට පැමිණෙන බැතිමතුන් නිසාවෙන් ය. සීතල, සම මස සිඳ ඇටමිදුලු දක්වා ගමන් කරද්දී වුව ද බැතිමත් පිරිස ජෝතියෙන් පමණක් සැරසී ගංගා නදියට අවතීර්ණ වීමට සූදානම් වනු ඔහු නිහඬව බලා සිටී. ඇතැම් වේදනාවන් තුළ සැඟවුණු සුවයන් ඇතැයි, මේ ටික දිනට ඔහු පසක් කොට ගෙන සිටී. කළ යුතු කිසිවක් සිතාගත නො හැකි ව, අනවරතයෙන් ඒ මේ අත ගසාගෙන යන සිතිවිලි ශ්‍රෝතයක පැටලී රැය පහන් වන තුරු ම ඔහු එතැනට වී සිට ඇත. අසල වේදියේ ඊයේ රාත්‍රියේ පැවැත්වූ අග්නිහෝත්‍රයේ අළු පමණක් ඉතිරි වී ඇත. ඒ හැර රාත්‍රියේ පැවති කිසිවක් හෝ කිසිවකු ඔහු සමග මේ සීත උදෑසන බෙදාගැනීමට පැමිණ නැත.
ඇගේ අත්ල සීතල
වී ඇත. උරහිස මත තබා සිටිනා හිස ටිකෙන් ටික බර වන්නා සේ ඔහුට දැනෙන්නේ ය. සූර්‍යෝදයට
තව වෙලාවක් ඉතිරි වී ඇත. තවමත් ගංගා නදියට බැසගත් තාරකාවන් එයින් නික්මී අහස්කුසට ;
තමන්ට උරුම හිස් ආකාශයට
නැගී ගොස් නැත. රැය මුළුල්ලේ දොඩමලු වූ ඇය අලුයම හිරු ගේ පැමිණීම ආසන්න වන විට උරහිසට
බර දී ඔහු ගේ සුරත වැළඳගෙන නිහඬ ව සිටී. ඇය ගේ දෑත් සුමුදු නැත, නුමුත් ඇයට ම අනන්‍ය වූ
කෝමල ස්වභාවයක් උරුම ඇගේ දෑතේ ඇඳි මෙහෙන්දි රටා දැන් ඉතිරි ව ඇත්තේ යාන්තමට ය.
හවස්වරුව ම වෙහෙසී
ඒ මෙහෙන්දි රටා ඇන්දේ ඔහු ය. එය සියුම් සංකීර්ණ රටාවකි. සියුම් රේඛා සමූහයකින් සහ ලාලිත්‍යයකින්
යුතු රේඛා සමූහයකින් ඇගේ දෑත මත නිර්මාණය කළ ඒ මෝස්තරය කුමක් දැ යි අසන්නී ය. එය පරසතුමල්
යැ යි ඇයට කිවා ඔහුට මතක ය. ඉන්පසු බොහෝ වේලාවක් වැය කරමින් කුලියට ගත් කුඩා නිවසේ
ඇඳමත සිට ඔහු සාහිත්‍යයේ ඇති දෑ සිහි කරමින් පරසතුමලේ විශේෂත්වය ඇයට කියා දෙන්නේ ය.
එළියේ බරණැස විදිවලින් නැගෙන හඬ ටිකෙන් යික තුරල් වන තුරු ම පවති මේ කතාවේ දී ඔහුට
අවශ්‍ය ඇය ගේ සුන්දරත්වයත් වටිනාකමත් විශේෂත්වයත් ප්‍රකාශ කිරීමට ය. ඇගේ දෙපා මත ;
උඩුපතුල් හී ද පරසතුමල්
මෝස්තරයක් ඇඳීමට ඔහුට සිදු විය. එදා රාත්‍රියේ ඇයට කෑම කැව්වේ ඔහු ය.
ඇගේ දෙතොල් රෝස
පැහැති ය. ඔහු ඇය දුටු පළමු වර සිතුවේ ඒ තොල් ආලේපන කියා ය. නුමුත් ඒ ඇය ගේ දෙතොලේ
සැබෑ පැහැය විය. එහි පැහැය තරමට ම කෝමල සුමුදු පහසක් ද උරුම විය. ඇගේ උකුලේ හිස තබාන
ඇය ගයන ගී අසා සිටින ඔහු බලා සිටින්නේ ඇගේ දෙතොල් දෙස ය. සෑම මෝතක ම ඈ නැවුම් ය. වඩාත්
සුන්දර ය. අඩ අඳුරේ විදුලි පහනින් ගලා ආ ළා ආලෝකයෙන් වැසුණු විටත්, සල්වාර් කමිසයෙන් සහ දුපට්ටාවෙන්
වැසුණු විටත් ඈ එක සේ සුන්දර විය.
සරසවියේ ප්‍රධාන
මාර්ගය දිගේ ඇය සමග ගමන් කරමින් සිටින ඔහු ඇය ගේ සෑම ඉරියව්වක් ම රසවිඳිමින් සිටී.
මාර්ගය දෙපස කොහොඹගස් පෙළ අලුතින් දළු දමා නැවුම් වී ඇත. උදෑසන ම මාවතට පැමිණි පිරිස
සුහුසුළුව ඒ මේ අත ගමන් කරමින් සිටී. ඔහුට සිතෙන්නේ මේ සියල්ල ප්‍රාණවත් කර ඇත්තේ ඇය
බව යි. රූපයත් ස්වරූපයත් සුන්දර වූ ඇය ගේ සෞන්දර්‍යමය සිත සුන්දරත්වය නො දක්නා තැනක්
නැත. ඉතා ම දුඃඛිත පරිසරයක වුව ඇය සුන්දරත්වය සොයා ගන්නී ය. කිසිදු බලපොරොත්තුවක් තබාගත
නො හැකි වූ, ඇය කිසි දිනක කතා
කිරීමට උත්සාහ නො කළ සැබෑ අනාගතයේ පවා සුන්දරත්වයක් ඇති බව ඈ අඩ අඳුරේ ඔහු ගේ කන්ට
කෙදිරුවා ය. ඒ මොහොතේ දෙසැම්බර් සීතල අතර ඔහු ගේ ළයෙහි රැඳි ඇගේ ළයෙහි උණුසුම කිසිදිනක
ඔහුට අමතක නො වනු ඇත.
ඇය අනාගතය ගැන
ඒ රාත්‍රියෙන් පසු කිසිවක් පැවසූයේ නැත. ඒ පිළිබඳ නිහඬ වතක් පිරුවාය. විසඳා ගත යුතු
අනාගතයට වඩා විඳගත හැකි වර්තමානයේ ජීවත් වියයුතු යැ යි, එය විඳගත යුතු යැ යි ඔහු ද සිතුවේ ය. වරක් දෙවරක්
හැර ඔහු ඇයගෙන් අනාගතය ගැන විමසුවේ නැත.
ගංගා නදී තීරයේ
රාත්‍රිය පුරා වාඩි වී සිටිය ද ඔහු බලාපොරොත්තු වූ ලෙස ඈ කිසිවක් කීවේ නැත. දෙවසරක්
අවසන් වී ඇත. තවත් දින දෙකකින් පසු නැවත සියරට
බලා පිටත් ව යා යුතු ය. ඔවුන් නැවතත් තම සැබෑ ජීවිතයට ඇතුළු විය යුතු ය.
"අපි ගෙවල්වලට කියමු.
මට ජොබ් එක තියෙන නිසා අපි දෙන්නට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එන විදියක් බලමු" ඔහු
කියාගෙන කියාගෙන ගියේ ය. එයට ඇය කිසිදු ප්‍රතිචාරයක් නො දැක්වූ තරම් ය. ඒ රාත්‍රියේ
ම ඔහුට එය නැවත නැවත පවසා ඇයගෙන් පිළිතුරක් ලබා ගැනීමට තිබුණා යැ යි ඔහුට සිතේ. නැවත
ලංකාවට යන අතරමග ඇය සමග මේ ගැන කතා කළ යුතු ව තිබිණැ යි ඔහුට සිතේ. ගුවන්-යානයේ පිටුපස දී, ඇය ඔහුගේ මුහුණ දෝතින් ම ගෙන තදින් සිපගත්තා ය. ගොඩ බැසීමෙන්
පසු ඇය පෙනෙන්නට නොසිටියා ය. දෙතැනක අසුන් ගෙන සිටි නිසාත් ඇය ගැන කොතරම් අවධානයෙන්
සිටිය ද ඇය ඔහු ගේ නෙත් අතරින් බැහැර වි තිබිණ. ඇයට සම්බන්ධ විය හැකි එක ක්‍රමයක් හෝ
ඇය ඉතිරි කර නො තිබිණි.
මාස දෙකකට පසු
ඔහුට කෙටි පණිවිඩයක් ලැබිණි.
සොඳුරුතම මතකයන්
ගුලි කර
ළමැදේ හොවා ගෙන
අඳුරුතම යුගයක
දී
අවසන් කරන්නෙමි
ගලා යන දිය පහර.
ආදර කසුන්,
හැදී වැඩුණු පවුල
හෝ වර්තමාන පවුල හෝ සමාව දීම ගැන සිතන්නේ වත් නැත, ඒ ගැන මගේ ආසාවක් ද නැත. අර්රහීම් අල්ලාහ් ද
මට කමා කරන්නේ නැත. මේ ගමනින් අල්ලාහ් සමීපයේ මට කිසිදු ඉඩක් ලැබෙන්නේ ද නැත. ඒ නිසා
වත් මට සමාව දෙන්න.
ඔයා ගේ ම ආදර,
ආයාත්.
ගඟට වැටුණු හිරු
කිරණ ඔහු ගේ මුහුණට වැටී ඔහුව මතකයන් පොදියෙන් මොහිතකට ගලවා ගත්තේ ය. ඇය ගැන සෑම මතකයක්
ම එකතු කොට ගෙන අවසන් ය. මේ ඇය ගැන ඇති අවසාන මතකය යි. නැවුම් හිරු කිරණින් සුදෝ සුදුවට
බබලන ශිවරූපය ගංගා නදිය මත දිදුලමින් තිබේ. ගංගාවේ මතුපිට සීතල වුව ද ඇතුළත උනුසුම්
බව ඔහුට සිහි විය.