නමක් නැති කතාවක්



උදේ හයට නාගහ හන්දියට එන බස්ඒක අල්ලා ගැනීම එතරම් අපහසු නැත, නුමුත් ගස් අතරින් ඉහිරෙන නැවුම් හිරු කිරණින් නැහැවී බැබලෙන පිණිබරණිිිින් සැරසුණු දෙවැටපාර මේ වේලාවට කලාගාරයක් වැනිය. එය නොසලකා ගමන් කිරීම තරමක් අසීරු වැඩකි. මේ වෙලාවට මේ පාරෙන් ගමන් කරන වෙන කිසිවෙක් නැති නිසා කලාගාරය වින්දනය කිරීමේ උපරිම නිදහස මා සතුවීම සතුටට කරුණකි. පාසල් ගමන ආරම්භ කර මාස කීපයක් වුවද තාමත් මේ සුන්දරත්වය කෙරෙහි අලස වීමක් සිදුු නොවීමත් පුදුම සහගතය. සාරි වාටියේ පැටලෙන කොළ රොඩුත් තණබිස්සේ දැවටුණු පිනි ගෑවීම නිසා තෙමුණුපාවහන් දෙකෙන් දැනෙන අපහසුවත් හැරුණු විට මේ වෙලාවට දෙවැටපාර සෑම අතින්ම සුන්දර විය. නොසිතූ වෙලාවක පසුපසින් නැගුණු පියවර හඬ නිසා කනස්සල්ලට පත් වූයේ දැන් ඒ එන කා සමග හෝ කතාකරමින් යෑමට වීම ගැනය. නුමුත් ඒ සැහැල්ලුවට දුවගෙන එන හඬක් විය.

"ගුඩ් මෝනිං මිස්""

"සරලා... ගුඩ්මෝනිං! අද කලින්ම යන්න හිතුනේ මොකද? වෙනදට පරක්කු වෙලා නේ එන්නේ"

"දැන් කලින් යනවා මිස්"යැයි කීවේ මුහුණේ මොඩ සිනාවක් ඇඳගනිමින්ය. මා නැවතී සිට කාමරයේ ජනේලයට ඉදිරියෙන් ඇති නිවසේ වසන ඇය මගේ ශිෂයාවකි. අමුතු ප්‍රියමනාප කමකින් යුතු වූ තරුණියක් වූ ඇය, ඇතැම් විට එ නිසාම අභූත ප්‍රේමඡෝදනාවලට නිමිත්තකි විය. ඒත් ඒ ඇය කියන හැටිය, ඇතැම් විට ඉන් ඒකක් අභුත නොවන්නටද ඉඩ ඇත. ඇරත් උ.පෙළ පන්තියේ දරුවෙකුට ප්‍රේම සම්බන්ධයක් තිබීම ඒ තරම් අරුමයකැයි මට සිතෙන්නේ නැත.

"මිස්, පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්නද?"

"හම්..."

"ඇත්තටම මිනෝවන් ශිෂ්ටාචාරය විනාස වෙන්න ඇත්තේ ඇයි?"

මෙය බලාපොරොත්තු නොවූ ප්‍රශ්නයක් විය. කුඩා පාසලක් වූ නිසා මට සිටි ඉතිහාසය ශිෂයයන් දෙදෙනාගෙන් කෙනෙකි සරලා, ඇත්තටම නම් අනිත් කොලුවා පන්තියේ සිටියත් නොසිටියා ගාණට සිටිය නිදිමත කොලුවෙකි. සරලා ඊට වඩා තරමක් හොඳ ශිෂයාවක් වුවත් මේ වැනි වෙලාවක මේ වැනි ප්‍රශ්නයක් බලාපොරොු නොවීමි. කෙසේ වෙතත් එතැන් පටන් පාසලට යන තුරුම කතාව ගලා ගියේ එ ගැනය.

“ඒක පුදුම ශිෂ්ටාචාරයක්නේ මිස්, ආව තැනකුත් නැහැ, ඉවර වුණ විදහකුත් නැහැ, මුලක් අගක් නැහැ නේ”

“හීනයක් වගේ නේ?”

“ඇයි ඒ?”

“හීනවලටත් මුලක් අගක් නැහැනේ.”

“අගක් කියෙන්නේ නැගිට්ටුනම”

“ඒත් හීනේ අග ඒක නෙමේනේ”

“ඔව් නේ මට එහෙම හිතිලා තිබ්බේ නැහැ, මං යන්නම් මිස් පන්තියට එහෙනම්”

“හරි පුතා, පීරියඩ් එකේදී හම්බෙමු”

මේ කතාව මේ තරම් ඇදෙනු ඇතැයි මට නොසිතුනත්, ඇය එවවැන්ක් විමසීමෙන් ඇති වූ සතුටත්, පැහැදිලි කිරීම අතරේ ඇගේ දිදුලන දෑසත් මගේ පැහැදිලි කිරීම තවත් වැඩි කළා යැයි කීමේ වරදක් නැත.

සරලා නිසා ලැබුණු සතුට පවත්වා ගැනිමට තරම් හැකියාවක් ඇගේ පන්ති සගයා මට ලබා දුන්නේ නැත. සුපුන්ට ලෝකයුද්ධ දෙකේ කාලයවත් මත නැත. විභාගයට තවත් ඇත්තේ අවුරුද්දකට අඩු කාලයකි. මට පන්තිය ලැබී ගත වී ඇතතේ මාස කීපයක් පමණක් වුවත් ශිෂයයන්ගේ වගකීම මට පැවරී ඇත. මේ කොල්ලාට මෙච්චර පොඩි කරුණකුත් මතක නැත. සුපුන් යනු මූණ දුටු විට බනින්න හිතෙන ජාතිය කොල්ලෙක් නො වීය, අපමණ දඩ්බ්බරයන් අතර පාඩුවේ සිටින අහිංසකයෙක් විය. කොහොම වුණත්, පාඩම් කළ යුතු විදිහත් කරුණු මතක් කළ යුතු විදිහත්, නැවතත් සිහි කරමින් අද උදෑසන සිදු වූ සිදුවීමද සිහිකර, “අන්න එහෙම ප්‍රශ්නයක් තියේ නම් අහන්න, ප්‍රශ්න ඇහැහව්වට මුකුත් කියන්නේ නැහැනේ, මං නම් කැමති එහෙම ප්‍රශ්න අහන ළමයින්ට.”යැ යි කීවෙමි.

සරලා ලැජ්ජාකාර කෙල්ලක් නොවූවත්, මා එසෙ පවසන විට ආඩම්මර මූනක් සාදාගෙන සුපුන්ට විරිත්තනු වෙනුවට මුහුන රතුකරගෙන භාගෙට බිම බලාගෙන සිටි ආකාරය සංකීර්ණ සිතුමක් සේ විය.

දැන් පාසල් යෑමත් ඒමත් සිදු වූයේ සරලා සමගය. ඉන් පෙරදීත් ඇය නිවසේදීත් කතා බහ කළද දැන් ඇය වෙනදාට වඩා සමීප වී ඇත. කුමක් හෝ හේතුවකට, අමතක කර දැමීමට තරයේ සිතට ගත් පරණ මතකයක් විසින් උත්තේජනය වී බඩු මල්ලෙන් එළියට නොගත් මට අයිති නැති මගේ අයිතියේ දමා ගිය දිනපොත කියවන අතර, බෝල බෝල ලස්සන අකුරු අතර ඒ රවුම් මුහුණ සිතින් ඉවත් වූයේ නැත. “දැන් මේවා මගෙ ළඟ තියා ගන්න බැහැනේ, පුච්චන්න හැදුවත් මට ලෝබයි, ඔයා තියාගන්න හරි කැමති දෙයක් කරන්න” කියා ඉවතට ඇදී යි, තවමත් කුමක් කිවයුතුදැයි සිතාගත  නොහැකිව බලා සිට දිනපොත් දෙස බැලූ විට ඒ අතර එක් කුඩා කොල කෑල්ලක “මට සමාවෙන්න - ජාන්වී” යැයි ලියා තිබිණි. යන්තම් බොඳ වූ දෙනෙතින් ජනේලයෙන් එළිය බලන විට පෙනෙන්නේ සරලා මොනවා හෝ භාජනයක දමාගෙන මේ දෙසට එමින් සිටින බව පමණි. ළානිල්පාට ගවුමත්, ගණ කෙස්කළඹත් තවත් අතීතාවර්ජනයක ආරම්භයක් වුවද. “මිස් ඇඹරැලලා අච්චාරු ගෙනාවා ඇතුළට එන්නම්ද?’ කියා ඇසීමෙන් අතරමග නැවතිණි. “නැහැ පුතා මං එන්නම් අපි යං වෙළ පැත්තේ”

“නියමයි, නියමයි, මිස් නිදාගෙන හිටියද, ඇස් නිදිමත පාටයි” ඇය කීවේ ඇනුම්පදයක්ද යන්න තේරුම් ගැනීම අපහසු විය.

හවස වෙලේ හුළඟ නිසා එහි කාලය ගත කිරීම සැපදායක විය. මහනියර අයිනේ පොල් කොටයකින් සාදා තිබූ බංකුවට වී වෙල දෙසත් ඇළේ හඳයින් දෙසත් බලා සිටීම ටික කලක සිට අපි දෙදෙනාට පුරුද්දක් වී ඇති සේය.

“මිස් ගොයම් පැහිල නිසා වෙළ සුවඳයි නේද?”

“ඇත්තම කියනවා නම් මට එන්නේ කෙල්ලක ළඟින් එන සබන් සුවඳ පමණයි”

“ආහ්… ඉතින් ඔයා ළඟත් සුවඳයිනේ, බේබි සබන් සුවඇඳයි, බබා…!” ඇය මගේ ගෙල දෙසට සමීප වී සුවඳ බලමින් කියයි. ටිකෙන් ටික සරලා ශිෂ්‍යාවකගේ ස්වභාවයෙන් නිදහස් වෙමින් සිටී, එහි ඇති වරදක් නැත, එයින් ඇයට සමීප වී ඇය වඩා හොඳින් විභාගයට සූදානම් කිරීමටත්, ඇයට වරදක් විය හැකි යමක් වැඩි හිටියන්ගෙන් සඟවයි නම් එයින් ඇය බේරාගන්නටත් මට හැකිය. ඇරත් වසර තුනකින් පමණ මට ලැබුණු මිතුරියත්, පවුලත් ඇයයි, එය දොසක් විය හැක්කේ කෙසේද?

“මිස් අත දෙන්න සාත්තරයක් කියන්න”

“බොරු සාත්තර”

“බොරු නෙමේ ඇත්ත අනේ දෙන්නකෝ” බලෙන්ම අත රැගෙන අත්ල දෙස බලා හිඳී

“කොහොමද අනේ මෙච්චර ලස්සනට අත් තියාගන්නේ, ඔයා රෙදි හෝදන්නෑ නේද?”

“ඇයි ම‌ගේ රෙදි හෝදන්නේ උඹද?”

“හාං මං හෝදලා දෙනවා ඉතින් මට දුන්නොත්.”

“අම්මේ ඔව් හෝදයි හෝදයි, මං දකිනවා අම්මා රෙදි වනනවා යට ඇඇඳුමුත් එක්ක.”

“අපෝ ඒවා බලන්න එපා අනේ, ඒ ඉතින් විභාගෙ නිසානේ මං වැඩනේ”

“මං නොදන්න විභාගේ”

“ඉන්නකෝ ඉන්නකෝ සාත්තරයක් කියන්න” ඇය අත ඒ අත මේ අත හරවමින් කියවයි, සිනාසෙයි. ටිකෙන් ටික ලං වී එක් අතක් උකුලේ තබාගෙන අනිත් තඅට සම්පූර්ණයෙන් හේත්තු වී බොරු සාත්තරයක් කියයි.

ඇය රෑට පාඩම් කරන්නේ මගෙ කාමරේය. ඒ නිසා ඇය පාන්දර දෙක තුන වන තුරු පාඩම් කරයි. නැති නම් දොළහටත් කලින් කාමරේ ලයිට් නිමී යයි.

මට “ග්‍රීක ශිෂ්ටාචාරය” පපුව උඩ තබාගෙන නින්න්ද යෑම නිසා අවදි වී බලන විට, සරලා මා දෙස බලා සිට එක් වර දෑස් ඉවතට ගත්තාය. “ආහ් මිස් නැගිට්ටද, මිස්ව නැට්ටවන්න ලෝබ කමට මං තව ටිකක් වෙලා පාඩම් කරා”

“අපරාදේ දන්නවා නම් එළි වෙනකම්ම නිදා ගන්නවා, කීයද වෙලාව?”

“තුනට කාලයි.”

“නිදිමතයි නේ, එනවා එනවා ලයිට් ඔ්ෆ් කරලා” ඇය ලයිට් නිවා දමා අතපත ගාමින් විත් ඇඳට ගොඩවෙයි. එක් අයෙකුට යන්තම් සෑහෙන ඇඳ අපි දෙන්නා පිරිමහ ගන්නේ මං තරමක් සිහින් නිසාය, සරලා වැනි පිරිපුන් විසේ ඇති කෙල්ලෝ දෙන්නෙකුට නම් වරකට එකා බැගින් මිස මේ ඇ‌ෙඳ් නිදියන්න වන්නේ නැත.

රස්නයක් නැතත් දාඩියෙන් යන්තම් තෙමී අවදිවන විට සරලා බෝනික්කියක් සේ තුරුළු වීගෙන සිටීඇයට බාධා නොකර නැගිටින්න හැදුවත් ඇය අවධි විය. නැවතත් ඇයගේ මුහුණ නිදිමත ගතිය සමගම සංකීර්ණ සිතුවමක් බට පත්වී ඇත. වාඩින්චිගේ හිස නොපීරු තරුණියගේ මුහුණ සේ ලාලිතයයත්, තවත් බොහෝ දේත් එක් වූවා සේය.

විභායෙන් පසු ඉංග්‍රීසි ඉගෙනගන්නටත්, බොහෝ විට චිත්‍රපටි නරඹන්නටත් ඇය පැමිණෙයි, නුමුත් ඉන් පෙර සේ බොහෝ වෙලාවක් වෙල් එළියේ ගත කරන්නට හෝ කිටි කිටියේ ඇඳ බෙදාගන්නට හෝ අවස්ථාවක් නොලැබෙන්නේ අම්මා ඇය‌ට පවරන රාජකාරි ඊට වඩා වැඩි නිසාය.

ඒත් සරලාගේ අම්මා දැන් මා සමග වැඩිය නැතැයි මට සිතේ. මා නැවතී සිටින නිවසේ අක්කා නම් කියන්නේ කාගේ හෝ මොකක් හරි වැරැද්දක් හොයා ගැනීම ඇගේ හැටි නිසා ඒවා ගණන් නොගත යුතුයි කියාය.

ගෙදර අක්කාගේ මහන මැෂිම ඇති නිසා මා දුටු ගවුම් මෝස්තරයක් සරලාගේ තරමට මැහැව්වේ, ගවුම්වලට ආසා වුණත් දැන් ගවුම් ඇන්දම පොඩියට පේනවා යැයි සිතන නිසාය. අනික අද දවල් වන විට ප්‍රතිඵල නික්තු වනු ඇත, ඒ වෙනුවෙන් පොඩි තෑග්ගක් දීමට තරම් සරලා වටිනවා යැය මට සිතේ. ඇඟ දෙපසින් පපුවට පහළ සිට උකුළ දක්වා පමණ ගවුමට උඩින් බීක්කු අල්ලා ලේස් කර ඇති, හීන් රැලි තැබූ රෝසමල් වැටුණු ළා නිල් පැහැ ගවුමට ඇය තවත් සුන්දරය. “සරලා අඵ්රොඩිටේ වගේ දැන්නම්” “මොකක් වගේ?” “වීනස් වගේ කියලා කිව්වේ, වීනස්ගේ ග්‍රීක දේවතාවිය තමා අඵ්රෝඩිටේ, ආදරයට සහ සුන්දරත්වයට අධිපති දෙවඟන”සරලාව නැවතත් රතු වෙයි, කියවා ගැනීමට අපහසු සිතුවමක් බවට පත් වෙයි.

සරලා කෙදිනක හෝ අත්නොහරින්නට සේ මා වැළඳනෙ සිටී, කම්මුල් හරහා ගලා විත් මගේ උරහිස දිගෙ උණුසුම්ව ගලා යන කඳුළුවලටත් වැඩිය ඇගේ වැළඳගැනීම උණුසුම් ය. බලාපොරොත්තු වූ සේම ඇය සරසවි වරම් ලබාගෙන ඇත. “මිස් නිසා තමයි නැත්තං මටත් හේන් කොටන්න තමා වෙන්නේ” ඇය ඉකිගැසීම අතරින් කියයි. “මිස් ගේ කඳුළු රස්නෙයි” ඇයි කඳුළු පිසගනිමින් කීවේ මගේ දෑස දෙස බලාගෙනමය. “මං අම්මට කියලා එන්නම් මිස්” යැයි කියා ඇය කිසිත් කියන්නට පෙර දිවයන දෙස අහේතුක නුමුත් සුපුරුදු හුදකලාවෙන් බලා සිටිනු හැර කළ හැකි දෙයක් නොවීය. ඇගේ අවපැහැ ගැන්වුණු දැළි ගෑවුණු කලක් කහපාටට තිබුණු පැරණි ගවුම මගේ ගමන් මල්ල උඩ සිට නිසොල්මනේ මා දෙස බලා සිටී.

පසුදා උදෑසන කාමරයට දිව ආ සරලා තාමත් ඇඳ මත සිටි මා වෙතට සුබපැතුම් පතක් වැන්නක් දී දිවගියාය. ඒහි ඇතුළත ස්තුතියෙන් පිරි කවිපන්තියක් විය. ඊට අමතරව ඒ තුළ හතරට නැමූ ෆුල්ස්කේප් කොලයක් විය. දවස් කීපයක්ම ඇය, “මිස් අරක බැලුවදැ”යි අසන සෑම විටම මා කීවේ “ඒක ලස්සන කවියක් දරුවෝ, මං අරක පස්සේ බලන්නම්කො තාම වැඩවල හිරවෙලා නේ මං” කියා පමණි.

ඇය සරසවියට ඇතුළත් වන්නට යන දිනයේ කාමරයට පැමිණ වැඳ, සීතල වැළඳගැනීමකින් පසු ඇගේ නලලත මගෙන් උදුරාගත් සීතල සිප ගැනීමක් ගෙන පිටව ගියාය. 

No comments:

Post a Comment

සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

  සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය ·          පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. ·          කණ්ඩකාව්‍ය ගණයට අ...