සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

 සංස්කෘත ශතකකාව්‍ය

නිර්වචනය

·         පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ.

·         කණ්ඩකාව්‍ය ගණයට අයත් වන ශතකකාව්‍යයන්හි සුවිශේෂී ලක්ෂණය වන්නේ මුක්තකපද්‍යයන්ගෙන් සමන්විත වීමයි. එනම් ශතකයක ඇතුළත වන පද්‍ය එකිනෙක සම්බන්ධ ව නොපවතින අතර, එක් පද්‍යයකින් හුදු එක් අදහසක් ඉදිරිපත් කෙරෙයි.

පසුබිම

·         කාලිදාසගේ යුගයට සමකාලීන ව හෝ ඊට කෙටි කලකට පසුව වඩාත් නිදහස් කාව්‍යකරණයක් පිළිබඳ ඇති වූ අදහස් අනුව යමින් ශතකකාව්‍ය සාහිත්‍යය බිහි වූ බව ජයදේව තිලකසිරි ආදීහු පවසති. (තිලකසිරි.2007.පි.94)

·         කාලිදාසයන් කළ මේඝදූතයෙන් ඇරැඹි කණ්ඩකාව්‍ය සාහිත්‍යය, මහාකාව්‍ය වැනි දැඩි රීතීන් මගින් හැඩගැසී නොමැති නිසා කවීන්ගේ ආකර්ශනය ඒ වෙත යොමු විය. කෘතියෙහි කෙටි බව අවධාරණය වීමද කවීන්ට වඩාත් පහසුවක් විය.

·         කණ්ඩකාව්‍ය අතරෙහිම ගැණෙන ශතකකාව්‍ය රචකයින් සහ පාඨකයින් අතර වඩාත් ජනප්‍රිය විමට හේතු වන්නේ, කෙටි බව, විවිධ වෘත්තයන්ගේ භාවිතය සහ මුක්තකපද්‍යයන්ගෙන් සඞ්ග්‍රහ වීමයි.

පැරැණිම ශතකකාව්‍ය

·         පළමු හෝ අවශේෂ කෘති අතරින් පැරැණිම හෝ ශතකකාව්‍යය කුමක්දැයි නිශ්චිත නිගමනයකට පැමිණිමට තරම් ප්‍රාමාණික තොරතුරු නොමැති වීමෙන් ඒ පිළිබඳ විවිධ මතවාද පවතී.

§  ඇතැමෙක් පැරැණිම ශතකකාව්‍යය ලෙස අමරුශතකය හඳුනාගනිති.

§  එහෙත් භර්තෘහරී අමරුට පෙර ජීවත් වූ බවට ඇතැමෙක් තර්ක කරති.

§  ‘ශතක’ නාමය පිළිබඳ පමණක් සලකා ඇතැමෙක් ව්‍ය.ව. පළමු සියවසේ ලියැවුණු “අවදානශතක” නම් සර්වාස්තිවාදී බෞද්ධ සම්ප්‍රදායට අයත් අවදාන සියයක් ඇතුළත් ගද්‍ය කාව්‍යයක් පළමු ශතකය ලෙස හඳුන්වා දෙති.

§  එසේම ව්‍ය.ව පස්වැනි සියවසේ ආර්යභට්ට විසින් ලියැවුණු ආර්යාෂ්ටශතකය පැරැණිම ශතකය ලෙස පිළිගන්නෝද වෙති.

·         මෙසේ නිශ්චිත නිගමනයකට පැමිණිම අපහසු වීමට එක් හේතුවක් වන්නේ, “ශතකකාව්‍ය” නිර්වචනය කර ගැනීමේදී ‘පද්‍ය සියයක් පමණ ඇතුළත් වීම’ අවධාරණය කළ නමුත්, අනෙක් අවස්ථාවන්හිදී ‘ශතක’ නාමය කෙරෙහි පමණක් අවධානය ලබා දීමය.

§  ශතකකාව්‍ය ලෙස ඇතැමෙකු විසින් සලකනු ලබන නාමාෂ්ටශතකයෙහි පද්‍ය 18ක් පමණක් ඇති අතර,

§  චතුශ්ශතකයෙහි කාරිකා 400ක් දක්නට ලැබේ.

වස්තුවිෂය

·         පැරැණිම ශතකකාව්‍යය වන්නේ, අමරුශතකයයැයි සලකන්නේ නම්, ශතකයන්ගේ ආරම්භය සිදු වන්නේද කණ්ඩාව්‍ය සේම ශෘඞ්ගාරය වස්තුවිෂය කොටගනිමිනි.

·         කාලයත් සමග ස්තෝත්‍ර ආදි ආගමික වස්තුවිෂයයන් සහ නීති සහ ධර්මශාස්ත්‍ර සේම සදුපදේශයන්ද ශතකකාව්‍යයන්හි ප්‍රධාන වස්තුවිෂය බවට පත්විය. එම වස්තුවිෂයයන් සහ ඉලක්කගත අරමුණු පහත පරිදි දැක්විය හැකිය.

§  අලෞකික ජීවිතයට විරාගය ආදි ආගමික සංකල්ප

§  ලෞකික ජීවිතයට ශෘඞ්ගාරය

§  බ්‍රහ්මචාරී ජීවිතයට අධ්‍යාපනය සම්බ්නධ ධර්ම නීති ශාස්ත්‍ර

වෛරාග්‍යශතකය

කර්තෘ

·         ශෘඞ්ගාර, නීති සහ වෛරාග්‍යශතකත්‍රයම භර්තෘහරී වෙත පැවරෙන නමුත්, භර්තෘහරී පිළිබඳ නිශ්චිත තොරතුරු හමු වී නැත.

·         එයට හේතුව වන්නේ, වාක්‍යපදීය රචනා කළ භර්තෘහරී බෞද්ධයෙකු හෝ අද්වෛත දාර්ශනිකයෙකු හෝ වන අතර, ශතකත්‍රයෙහි කතුවරයා ශිවභක්තිකයෙකු වීමයි. (වෝලටර් මාරසිංහ තුමා වාක්‍යපදීය රචනා කළ කර්තෘවරයා බෞද්ධයෙකු බව දක්වති.)

·         වාක්‍යපදීය කතුවරයා ව්‍ය.ව. 600-651 පමණ ජීවත් වූ බව ඉ-ට්සිං වාර්තාවෙ සඳහන් වේ. එහෙත් ඔහු ශතකත්‍රයක් රචනා කිරීම පිළිබඳ තොරතුරු එහි දක්වා නැත.

·         ශතකත්‍රයෙහි කතුවරයා වික්‍රමාදිත්‍ය රජුගේ කාලයේ වාසය කළ බවත් ඔහු රජුගේ වැඩිමහල් සොයුරා බවත් සාම්ප්‍රදායික පිළිගැනීම වේ.

·         එච්.ජී. රොලින්සන් ආදීන් පවසන්නේ, එකම භර්තෘහරී පසුකාලීන ව බෞද්ධ ආගම වැළඳගන්නට ඇති බවයි. වෝලටර් මාරසිංහ තුමාත් ජයදේව තිලකසිරිත් එම මතතය පිළිගත හැකි බව දක්වති.

වෛරාග්‍යශතකය

·         මුක්තක කාව්‍යයකි.

·         සංස්කරණ දෙකක පද්‍ය සංඛ්‍යාව 100ක් සහ 116ක් ලෙස ඇතුළත් වෙයි.

·         මෙම සංස්කරණ දෙකටම පොදු පද්‍ය ගණනාවක් පවතින නුමුත්, ශ්ලෝක 28ක් සහ 44ක් එකිනෙක වෙනස්ව දක්නට ලැබේ.

·         වි+රඤ්ජ්+ඝඤ්+ණ්‍ය = වෛරාග්‍ය - दृष्टानुश्रविकविषयवितृष्णस्य वशीकारसंज्ञा वैराग्यम्॥योगसूत्र।१।१५॥ දෘෂ්‍ට හෙවත් ඇස ආදි ඉන්ද්‍රියයන්ට ගෝචර වන හෝ අනුශ්‍රවික හෙවත් ශාස්ත්‍රයන් මගින් (ආගමික ඉගැන්වීම් මගින්) ගෝචර වන අරමුණු කෙරෙහි ඇති තෘෂ්ණාව නැති වීම වශීකාරසංඥා නම් වෛරාග්‍යය වේ.

·         වෛරාග්‍යය වස්තුවිෂය කොටගත් වඩාත් කාව්‍යාත්මකම ග්‍රන්ථයක් ලෙස සම්භාවනාවට පාත්‍රවන වෛරාග්‍යශතකය තේමා දහයක් යටතේ බෙදී ඇත. ඒ අනුව එක් තේමාවකට ශ්ලෝක දහය බැගින් වන ලෙස ශ්ලෝක සියය සම්පූර්ණ වී ඇත. එම තේමා දහය පහත පරිදිය.

1.       තෘෂ්ණාවට ගැරහීම

2.       විෂය අතහැරීමේ නිෂ්ඵල ප්‍රයත්නය

3.       යදියාගේ දීන බව ගැරහීම

4.       විෂය භුක්තිවිඳීමේ අස්ථිරභාවය ගැරහීම

5.       කාලයේ වටිකාම වර්ණනා කිරීම

6.       යතියෙකු සහ රජෙකු අතර වෙනස

7.       අවබෝධයෙන් මනස සංයම කරගැනීම

8.      නිත්‍ය සහ අනිත්‍ය වස්තු විචාරය

9.       ශිව වන්දනය

10.   පූර්ණ වීතරාගී බ්‍රාහ්මණයෙකුගේ චර්යාව

අනෙකුත් ශතක අතර වෛරාග්‍යශතකයේ වස්තුවිෂය පමණක් නොව එහි ඉදිරිපත් කිරීමද වඩාත් වැදගත් තැනක් ගනී.

වලභිර්මුඛමාක්‍රාන්තං පලිතෛරඞ්කිතං ශිරඃ,
ගාත්‍රාණි ශිථිලායන්තේ තෘෂ්ණෛකා තරුණායතේ.8.

මුහුණ රැළිවලින් මැඬුනද, හිස පැසුණු කෙසින් සලකුණු වුණද, අත්පා මැලැවුණද එකම තෘෂ්ණාව (පමණක්) තරුණ වේයැයි දැක්වීමෙන් භර්තෘහරී තෘෂ්ණාවෙහි ස්වභාවය කාව්‍යාත්මක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. කෙටි නමුත්, පාඨකයාට හොඳින් වැ‍ටහෙන සහ පාඨක අවධානය යොමු වන ආකාරයෙන් පද්‍ය කරණයෙහි යෙදිමෙහි ලා භර්තෘහරීගේ හැකියාව මෙයින් පෙනෙයි. එසේම තණ්හාව රාගය වනාහි මැඩගත්තේ නොවේ නම්, දිනෙන් දින වැඩි වන්නක් මිස නැති වන්නක් නොවනව බව දැක්වීමට උත්සාහ කර ඇති බව පැහැදිලි වේ.

විරාගී බවෙහි ඇති ආනන්දමය ස්වභාවය මෙම ශතකයෙන් නිරූපණය කර ඇත්තේ රූපකාලඞ්කාරයන්ද යොදාගනිමිනි. එහිදී විරාගී මුනිවරයා සහ රජු අතර තුලනය කිරීමක් සිදු කරන කතුවරයා විරාගී මුනිවරයාගේ ආනන්දමය ස්වභාවය පිළිබඳ අවධාරණය කිරීම සිදු කරන්නේ අපූර්ව ආකාරයෙනි.

මහාශය්‍යා පෘථිවී විපුලමුපාධානං භුජලතා
විතානං චාකාශං ව්‍යජනමනුකූලො’යමනිලඃ,
ශරච්චන්ද්‍රෝ දීපෝ විරතිවනිතාසඞ්ගමුදිතඃ
සුඛී ශෘන්තඃ ශේතේ මුනිරතනුභූතිර්නෘප ඉව.49.

විරාගීහුගේ මහ සයනය පොළවයි, බාහුලතාව මහ කොට්ටයි, අහස වියනයි, අනුකූල වූ පවනම විජිනිපතයි, සරාසඳ පහනයි. එසේම විරාගී පුද්ගලයා විරතිය නැමැති කාන්තාවගේ ඇසුරින් ප්‍රමෝදයට පත් ව රජෙකු සේ සියලු සම්පතින් අඩු නැතිව සුවෙන් සැනසීමෙන් වැතිර හිඳී. විරාගී මුනිවරයාගේ අල්පේච්ඡ භාවය ශ්‍රමණ භාවය පිළිබඳ රූපක සමුච්ඡයකින් ඉදිරිපත් කරන කතුවරයා එම ජීවිතය රජෙකුගේ සැපතටත් සැනසිලිදායක සන්සුන් බවටත් සමාන කිරීම මගින්, එය මිනිසෙකුට ලැබිය හැකි ඉහළම ආනන්දය බව පාඨකයාට දන්වා සිටියි. එසේම රජෙකුට හෝ නොමැති උදුරාගත නොහැකි මහා සයනයක් සහ වියනක් සහිත මුනිවරයාගේ සැනසිලි දායක භාවය පිළිබඳ දැඩි අවධාරණයක් මෙම ශ්ලෝකයෙන් සිදුකිරීමට කතුවරයා කටයුතු කර ඇත.

උපදේශාත්මක ශතකකාව්‍ය අතර, වෛරාග්‍යශතකය සුවිශේෂි වන තවත් එක් හේතුවක් වන්නේ පාඨකයා සිතීමට යොමුකිරීමයි. එනම් පාඨකයා ඉදිරියේ මාවත් දෙකක් දක්වා එයින් කුමක් තෝරාගත යුතුද යන්න පාඨකයාට තීරණය කිරීමට ඉඩ සලසමින් කතුවරයා, තමන්ට කිසිවක් සිතාගත නොහැකි බව පවසා සිටීමයි.

තපස්‍යන්තඃ සන්තඃ නිමධිනිවසාමඃ සුරනදීං
ගුණෝදාරාන්දාරානුත පරිචරාමඃ සවිනයම්,
පිබාමඃ ශාස්ත්‍රෝඝානුත විවිධකාව්‍යාමෘතරසා-
න්න විද්මඃ කිං කුර්මඃ කතිපයනිමේෂායුෂි ජනේ.76.

තවුස්දම් පුරන්නන් වී අහස්ගඟ සමීපයෙහි‍ හෙවත් ස්වර්ගයහි (ද්‍යුලෝකයෙහි) වාසය කරමුද, නැතහොත් උදාර ගුණැති බිරින්දෑවරුන් හික්මීමෙන් සකලමින් සිටිමුද, ශාස්ත්‍ර නැමැති මහා ජලකඳ පානය කරමුද නැති නම් විවිධ කාව්‍ය නැමැති අමෘතය පානය කරමුද, නිමේෂයක් ආයුෂ ඇති ජනයා වූ කල්හි කුමක් කරමුදැයි නොදනිමු. ලෙස තම පද්‍ය අවසාන කරන භර්තෘහරී මෙහිදී පාඨකයාට වඩාත් සුදුසු යැයි සිතෙන දේ තෝරාගැනීමේ අවස්ථාව සලසා දෙන්නේය. නැතහොත්, පාඨකයාට විමසා බලා තීරණය කිරිමට ආරාධනා කරයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ, එම විමසීමේදී වඩාත් නිවැරදි තීරණයට එළැඹිය හැකි ආකාරයෙන් මාර්ගය සකසා දීමට භර්තෘහරී දක්වා ඇති ශක්‍යතාවයි. එය ඔහු ගුරුවරයෙකු ලෙසත්, කවියෙකු ලෙසත් අද්විතීය වන ආකාරය මැනැවින් නිරූපණය කිරීමට සමත් වෙයි. යහපත් කාර්යයන් අතරින් වුවද වඩාත් යහපත් කාර්යය කුමක්දැයි තොරාගත යුතු බව අවධාරණය කරන භර්තෘහරී, වෛරාග්‍ය සහ ධර්මඥානයෙහි ඇති වැදගත්කම පාඨකයාට නොපිිළිගෙන නොසිටිය හැකි ආකාරයෙන් ඉදිරිපත් කර ඇත.

ජීවන දර්ශනය

රම්‍යං හර්ම්‍යතලං න කිං වසතයේ ශ්‍රව්‍යං න ගේයාදිකං
කිං වා ප්‍රාණසමාසමාගමසුඛං නෛවාධිකප්‍රීතයේ,
කින්තු භ්‍රාන්තපතඞ්ගපක්ෂපවනව්‍යාලෝලදීපාඞ්කුර-
ච්ඡාචඤ්චලමාකලය්‍ය සකලං සන්තෝ වනාන්තං ගතාඃ.80.

වාසය කිරීමට ප්‍රාසාදයක් රම්‍ය නොවන්නේද? ගීත ආදිය කන්කළු නෝවේද? ප්‍රාණය සමාන වූ බිරිඳගේ ඇසුර සුවදායක හෝ අධික ප්‍රීතිය පිණිස හේතු නොවන්නේද? එසේ නමුත්, සියල්ල කැලැඹුණු පළඟැටියෙකුගේ පියාපත්වල සුළඟින් සැලෙන පහන් දැල්ලක ඡායාව සේ චංචල බව වටහාගත් යෝගීහු වනයට ගියහ. ලෙසින් පවසන කතුවරයා මෙහිදී ලෞකික සැපතෙහි ඇති මතුපිට සැපවත් භාවය ප්‍රශ්න කිරීම වෙනුවට එහි ගැඹුරේ පවිතින අනිත්‍යතාවය නිසා උපදින දුක පිළිබඳ පාඨක අවධානය වඩාත් යොමු කරවයි. කවියා දක්වන සියලල්ම සැපවත් සැපදායී සිත් සැනසෙන වැඩි වැඩියෙන් ලබා ගැනීමට කැමති වන දේ නමුත්, ඒ සියල්ලම එක් ක්ෂණයකදී නැති වී යෑමට හැකිය. ඒ සියල්ල සෑම ක්ෂණයකදීම වෙනස් වෙමින් ක්ෂය වෙමින් පවතියි. ඒ වෙනස් වීම නොදැක එය තේරුම් නොගෙන, විරාගී ජීවිතයකට යොමු නොවන්නා හට එයින් ඇති වන දුක වටහා ගත නොහැකිය. භර්තෘහරී මෙහිදී පෙන්වා දෙන්නේ. ජීවිතයේ ඇති සියලුම සැපවත් දෑ පිටුපස පවතින වෙනස් වීම අනිත්‍ය ක්ෂණිකත්වය අවබෝධ කටයුතු බවයි. එය ඔහුගේ ජීවන දර්ශනයෙහි මූලික පදනමක් ලෙස දැක්විය හැකි වන්නේ සමස්ත වෛරාග්‍යය වෙත යොමු වීම ඒ මතින් සිදු වන නිසාය. ඒ බව පහත ශ්ලෝකය මගින්ද මැනැවින් පැහැදිලි වේ.

රම්‍යාශ්චන්ද්‍රමරීචියස්තෘණවතී රම්‍යා වනාන්තඃස්ථලී
රම්‍යං සාධුසමාගමාගතසුඛං කාව්‍යේෂු රම්‍යාඃ කථාඃ,
කෝපෝපාහිතබාෂ්පබින්දුතරලං රම්‍යං ප්‍රියායා මුඛං
සර්වං රම්‍යමනිත්‍යතාමුපගතේ චිත්තේ න කිඤ්චිත්පුනඃ.79.

සඳරැස් රම්‍යවේ, තණබිම් සහිත වනාන්තර රම්‍ය වේ, සුදනන් ඇසුරින් ලත් සුවය රම්‍ය වේ, කාව්‍ය අතර කථා රම්‍ය වේ, කෝපයෙන් හටගත් කඳුළු සහිතව ගැහෙන සොඳුරි‍යගේ මුහුණ රම්‍ය වේ. මේ සියල් රම්‍ය වන්නෙ නමුත්, සිත අනිත්‍ය භාවයට පත් වූ විට කිසිවක් රම්‍ය නොවේ. මේ අනුව භර්තෘහරී  විසින් ඉදිරිපත් කෙරෙන ජීවන දර්ශනයෙහි මුඛ්‍ය පාදම ලෙස අනිත්‍යත්වය සහ අනිත්‍යත්වය පිළිබඳ ලබා ගන්නා අවබෝධය හඳුනාගැනීමේ වරදක් නැත.

ආයුර්වර්ෂශතං නෘණෘං පරිමිතං රාත්‍රෞ තදර්ධං ගතං
තස්‍යාර්ධස්‍ය පරස්‍ය චාර්ධමපරං බාලත්වවෘද්ධත්වයෝඃ,
ශේෂං ව්‍යාධිවියෝගදුඃඛසහිතං සේවාදිභිර්නීයතේ
ජීවේ වාරිතරඞ්ගචඤ්චලතරේ සෞඛ්‍යං කුතඃ ප්‍රාණිනාම්.49.

මිනිසුන්ගේ ආයුකාලය වසර සීයකි. එයින් අඩක් රාත්‍රීකාලයේ ගෙවී ඇත. ඉතිරියෙන් අඩක් බාලකාලයේ සහ මහළු කාලයේ ගෙවී ඇත. ලෙඩවීම් වියෝ වීම් ආදියෙන් යුක්ත ඉතිරි කොටස සේවාකම් කිරීම් ආදියෙන් ගෙනයනු ලබයි. දියරලටත් වඩා සසල වූ ජීවිතය තුළ ප්‍රාණීන්නට සුවයක් කොහිද? මේ අනුව ජීවිතයෙන් හතරෙන් කොටසක් පමණක් මිනිසෙක් ක්‍රියාශීලී ලෙස ගත කරන නමුත්, එම කාලය පවා ගෙවී යන්නේ, ලෙඩරෝග වියෝ දුක් ආදියෙන් පීඩිතව සේම, අනුන්ට සේවය කිරීම් ආදියෙනි. මෙම ශ්ලෝකය භර්තෘහරීගේ ජීවන දර්ශනයෙහි ඉතා වැදගත්ම කොටස නිරූපණය කරන ආකාරය මේ අනුව පැහැදිලි වේ. එනම්, ජීවිතය කෙරෙහි තණහාවෙන් රාගයෙන් ජීවත් වන්නා ජීවිතය තුළ ලෞකික ව කටයුතු කිරීමේදී තව තවත් දුකින් දුකට මැදි ව කල් ගෙවනු මිස එයින් නිදහස් වීමට හෝ තමන් වෙත නිත්‍ය වූ සැපයක් ළඟා කර ගැනීමට කටයුතු නොකරන බවයි. අවසානයේදී ඔවුහු ලෞකික වූ සැපත සෙවීමෙන් දුකටම පත් වන බවය. ජීවන දර්ශනයක් ලෙස තම චිනත්නය ඉදිරිපත් කිරීමේදී භර්තෘහරී අවධාරණය ‍කරන්නේ, තණ්හාව මගින් මැඩී ඒ ඔස්සේ කටයුතු කිරීම මනුෂ්‍යයා තවත් පීඩාවට පත් කරන බව අවබෝධ කටයුතු බවයි.

අශීමහි වයං භික්ෂාමාශාවසෝ වසීමහි,
ශයීමහි මහීපෘෂ්ඨේ කුර්වීමහි කිමීශ්වරෛඃ.55.

අපි සිඟාගත් පිඬු බුදිමු, අහස නැමැති වස්ත්‍ර හඳිමු, පොළෝ තලයෙහි නිදමු, ධනවතුන්ගෙන් කුමක් කරමුද? ලෙස ඉදිරිපත් කෙරෙන මෙම ශ්ලෝකයෙන් වෛරාග්‍යශතකයෙහි එනම් විරාගී පුද්ගලයෙකුගේ ජීවනදර්ශනයෙහි පැවතිය යුතු තවත් එක් ප්‍රධානතම ලක්ෂණයක් අලඞ්කාරවත් ව ඉදිරිපත් කර ඇත. විරාගී මනිවරයා වනයෙහි වාසය කරයි. හේ වස්ත්‍ර පමණකටත් අයිතියක් නැත්තේ වෙයි. එ් නිසා ධනය ඇති ධනවතුන් ඇසුරින් කුමක් ලබන්නද? එනම් මෙයින් අවධාරණය කෙරන්නේ විරාගී පුද්ලයාගේ අල්පේච්ඡභාවයයි. එයින්ම පරම ආන්දයක් ජීවිතයෙහි ලැබිය හැකි බව මෙම ශ්ලෝකය සහ අනෙකුත් ශ්ලෝක ගැලපීමෙන් පාඨකයාට අපහසුවකින් තොරව අවබෝධ කර ගැනීමට භර්තෘහරී ඉඩ සලසා ඇත.

ස්ඵුරත්ස්ඵාරජ්‍යෝත්ස්නාධවලිතතලේ ක්වාපි පුලිනේ
සුඛාසීනාඃ ශාන්තධ්වනිෂු රජනීෂු ද්‍යුසරිතඃ,
භවාභෝගෝද්විග්නාඃ ශිව ශිව ශ‍ිවේත්‍යුච්චවචසඃ
කදා යාස්‍යාමෝ’න්තර්ගතබහුලබාෂ්පාකුලදශාම්.85.

සන්සුන්වූ රාත්‍රීන්හි අහස්ග‍ෙඟහි බැ‍බලෙමින් වර්ධනය වන සඳරැසින් සුදු පැහැ ගැන්වුණු ඉවුරු තලයක් ඇති කොහේ හෝ වැලිතලාවක සුවසේ හිඳිමින් භව සම්පත් භුක්ති විඳීමෙන් කළකිරීම නිසා ශිව ශිව ශිව යැයි උස් හඬින් ජපන්නා වූ අප තුළ නැගෙන සතුටින් උපන් කඳුළින් ඔද වැඩගිය තත්වයට පත් වන්නේ කවදාදැයි අසන මෙම ශ්ලෝකය මගින් භර්තෘහරීගේ ජීවන දර්ශනයෙහි නිෂ්ටාව සලකුණු කිරීමක් සිදු වන්නේය. එනම්, විරාගී පුද්ගලයෙකුගේ අරමුණ වන්නේ, පරිපූර්ණ විරාගී භාවයට පත්ව, ජීවිතයේ භවසම්පත් භුක්ති විඳීමෙන් ඇති වන්නා වූ දුකින් සම්පූර්ණයෙන් නිදහස් වීමයි. භර්තෘහරී ශිව භක්තිකයෙකු නිසා, ශිව තුළ ලීන වීම ලෙස එය දක්වන අතර, සමස්තයක් ලෙස සැලකීමේදී ආගමික නිෂටාවට පත් වීම මෙයින් අදහස් කරන බව පැහැදිලි වේ. එනම් භර්තෘහරීගේ ජීවන දර්ශනයේ තවත් වැගත් කොටසක් වන්නේ මිනිසා විසින් ආගමික නිෂ්ටාවට පත්වීමට හෙවත් සම්පූර්ණයෙන් රාගයෙන් තොර වීමෙන් ලබන්නා වූ ආනන්දය ලැබීමට උත්සාහවන්ත විය යුතු බවයි. පාඨකයා ඒ වෙතට යොමු කිරීමක් මෙම ශ්ලෝකයෙන් කතුවරයා සිදු කර ඇත.


සාතන් සහ ලුසිෆර් Satan Lucifer

 

සාතන් satan හේබ්‍රෙව් ඇරමැයික් පදයක්. මේ පදය හේබ්‍රෙව් බයිබලයේ තැන් කීපයකම විරුද්ධවාදියා කියන අදහසින් යෙදිලා තියෙනවා. ගණන් 22.32 සහ සැමුවෙල් 19.22 වගේ තැන්වල.   ඒ නිසා  මේ වචනය තමයි මුල් යුදෙව් ආගමේ සහ ක්‍රිස්තියානියේ යක්ෂයා වෙනුවෙන් භාවිත වුණේ.


ලුසිෆ" Lucifer පදය සුමේරියානු විශ්වාස එක්ක එන පදයක්. ඒක පස්සේ යුදෙව් අදහස් සමග මිශ්‍ර වෙනවා. සිකුරු තරුවට ලුසිෆ" කියනවා. ආලෝකය රැගෙන එන්නා කියන අදසින්.


මේ ආලෝකය රැගෙන එන්නා පදය බයිබලයේ පැරැණි ගිවිසුමේ යෙසායා පොතේ 14.12 පදයේ බැබිලෝනියේ රජුට උපමාවක් ලෙස යෙදෙනවා. හේබ්‍රෙව් "හේලේල්" "ආලෝකමත් තැනැත්තා" අදහසින්. සමහර බයිබල් පරිවර්තනවල ඒක ලුසිෆ" විදිහට පරිවර්තනය කරලා තියෙනවා. සිංහල බයිබල් සංගමයේ පරිවර්තනයේදී "දීප්තිමත් පහන්තාරකාව" විදිහට අරගෙන තියෙනවා. New king james version එකේ "Lucifer", English Stand Version එකේ "Day star", The scriptures Research version එකේ "Hĕlĕl", Nev International Version එකේ "morning star" විදිහටත් පරිවර්තනය කෙරෙනවා. 


කොහොම වුණත් ලුසිෆ" සාතන් නම් දෙක එකම යක්ෂයා වෙනුවෙන් භාවිත කෙරෙන නම් දෙකක් අද වෙනකොට. ඒකට හේතුවක් වෙනවා ලූක් 10.18දී "සාතන් විදුලියක් මෙන් අහසසින් වැටෙනු දුටිමි" කියන තැන සාතනාන් නැකි නම් සාතන් පදය ග්‍රීක්වලින් යෙදී තිබීම. මේක යෙසායා 14.12 එක්ක අරගෙන මේ පද දෙක එකම සාතන්හෙවත් යක්ෂයාව අදහස් කරන්න යොදාගෙන තියෙනවා. මේ වැඩේ මුලින්ම කළා කියන්නේ 11වැනි සියවසේ ලියැවුණු පිර්ඛේ ද' රබ්බී එලිඅස'ර් කියන රබ්බීය සාහිත්‍යයට අයිති යෙන යුදෙව් පොතේ. 


කොටින් ඔය දෙකෙන්ම අදහස් කරන්නේ එකම යකා. වචන දෙකේ වෙනස සහ ඒ වචන දෙකේ පටන් ගැනිල්ලේ වෙනසක් තමයි තියෙන්නේ. The light bringer,  Morning Star අදහස් යුදෙව් අදහසට වඩා ටිකක් පරණයි.  මගේ පෞද්ගලික අදහස නම්, මේ ලුසිෆ" පදය බැබිලෝනියානු රජුගේ වැටීමේදී රජුව හඳුන්වන්න බයිබල්කරුවා යොදාගත්තේ එවකටත් මේ සංකල්පයේ තිබුණු පැරණි බව නිසා වෙන්න පුලුවන් කියලා. ඒක එතනට සෙට් වෙනවා ලස්සනට. 


සාතන් පදය අරමැයික් හේබ්‍රෙව් මූලයක් සහිත පදයක් නිසා අරාබි ෆාර්සි උර්දු වගේ ගොඩක් භාෂාවල යක්ෂයාට භාවිත වෙනවා.


මේක අරාබි වලට ශේටාන් කියලා අරගෙන ඒක ආයි විවරණය කරගන්නවා දැවීමේ පිච්චීමේ ශෙඉට් ධාතුවෙන් හැදුණු පදයක් විදිහට. ඒක කෙලින්ම යක්ෂයා අදහස් කරන්නම සුදුසු විදිහට විවරණය කරගැනීමක් වෙලා තියෙන්නේ හේබ්‍රෙව් පදයෙන් අරගෙන. 


ග්‍රීක්වලදී සටාන්

ලතින් සටන්


පස්සේ මේ දෙකෙන් ගොඩක් භාෂා ඔය වචනය අරගන්නවා.


අරාබි වචනයෙන් උර්දූ හින්දුස්ථානි හින්දී තුනම ශෛතාන් කියලා හදාගන්නවා. එතනදී  වෙන්නේ ට > ත වෙන එක. හැබැයි ඇරැබික්වලත් අකුර නම් එකම ط තමයි. ඇරැබික්වලදීත් දෘඪ තල්ලම තමයි උච්චාරණ ස්ථානය. ඒක තයන්නම තමයි.


මේ පද දෙකේ දේවධාර්මික කරුණු සුට්ටකුත් හැංගිලා තියෙනවා. ඒක එක විදිහකට හර්ම රසවත්.


හේබ්‍රෙව් සාතන් පදය යෙදෙන්නේ විරුද්ධවාදියා නැති නම් විරුද්ධ පක්ෂයට අයත් තැනැත්තා අදහස් කරන්න. දෙවියන්ට විරුද්ධ වීමම තමයි ක්‍රිස්තියානියේ හෝයුදෙව් ආගමේ පාපය ලෙස අදහස් කරන්නේ. ඒ හැර අමුතු පැවැත්මක් නෙමෙයි. ඉතින් දෙවියන්ට විරුද්ධ වන්නා සාතන් වෙනවා.


ඒ වගේම ලූක් පොතේ කියන්නේ ආලෝකයක් විදිහට ස්වරයෙන් වැටුණු කියලනේ. ඒකම යෙසායා පොතටත් අදාළයි, රජුගේ ශ්‍රීය සහ උසස් භාවය ආලෝකය කියන එකෙන් අදහස් කෙරෙනවා. ඒ ආලෝකය ලැබෙන්නේ දෙවියන්ගෙන්. දෙවියන් තමයි ආලොක්ය. ඉතින් දෙවියන් ආලෝකය නම් දෙවියන් ප්‍රතික්ෂේප කිරීමේදී විරුද්ධ වීමේදී දෙවියන්ගෙන් ලැබුණු ආලෝකය ලැබූ අය ජරබරාස් ගාලා වැටෙනවා. එතනින් පේන්නෙත් පාපය කියන්නේ දෙවියන් අතහැරීම හෝ දෙවියන්ට විරුද්ධ වීම කියන එක.


දැන් අලුතෙන් එන ප්‍රශ්නය තමයි, එතකොට "පාපය" පැවැත්මක් ඇති දෙයක් නෙමේද? නිකම්ම දෙවියන්ගේ "අභාවය"ද පාපය වෙන්නේ? එතකොට එහෙම අභාවයකින් පැවැත්මක් නැති දෙයකින් මෙච්චර අවුලක් මේ විශ්වයේ සිද්ධවෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ දෙවියන් නැති තැනක දෙවියන්ගේ අභාවය ඇති විට පවතින වෙනත් මොකක් හරි බලයක් තියෙන නිසාද? 


උදාහරණයක් විදිහට, ආලෝකයෙන් කාචයක් අලල්ලා පුලුන් අවුලන්න වගේ දේවල් කරන්න පුලුවන්. හැබැයි ආලෝකය නැති වීම නිසා ඇති වෙන අඳුරෙන් මුකුත් කරන්න බැහැනේ.


හැබැයි දැන් දෙවියන් නැති වීම නිසා මරණය ලෙඩ වීම වගේ සෑහෙන දේවල් ඇති වෙලා තියෙනවනේ. එතකොට ඒවා නිකම්ම දෙවියන්ගේ අභාවය නිසා හේතු රහිතව සිද්ධවෙන දේවල්ද?

කතෝලික ක්‍රිස්තියානි වෙනස


සරලව තේරුම් ගන්න ගිහාම සංකීර්ණ වෙන දෙයක් ඕක. 

ක්‍රිස්තියානිය අවධි කීපයකින් සංවර්ධනය වෙලා තියෙනවා,


1. ජේසුස්වහන්සේ කන්දඋඩ දේශනාව කිරීමෙන් පස්සේ එතුමා සමග එකතු වෙන පිරිස. - මේ අය යුදෙව් ආගමේම නිකායක් විදිහට ජේසුස්වහන්සේගේ දේශනාව අනුගමනය කරමින් ඉන්නවා.


2. ජේසුස්වහන්සේ මරණයෙන් උත්තානවී ස්වර්ගයට ඔසවාගත්තාට පස්සේ. - මෙතනදී අන්‍ය ජාතීන්ට ඒ කියන්නේ යුදෙව්වන් නොවන අයට ජේසුස්වහන්සේගේ ඉගැන්වීම අරගෙන යන්න පටන් ගන්නවා. මේ ගැන බයිබලයේ ක්‍රියාපොතේ පැහැදිලි කරනවා. මේ යන්නේ ගෝලයෝ දොළහේ පිරිස සහ සාවුල්. - මෙතනදී යුදෙව් ආගමේ නිකායක් කියනවාට වඩා වෙනම ආබ්‍රහමික ආගමක් විදිහට මේ අය හඳුනගන්න පුලුවන වෙන්නේ, අන්‍යජාතීන් විසින්, යුදෙව්වන් කළා වගේ සුන්නත් කිරීම, හෝ ආහාර ගැන සීමා පනවා ගැනීමක් කරන්නේ නැති නිසා. ඒ වගේම උපතින් යුදෙව්වන් නොවන අය මේ ආගමට බැඳෙනවා සෑහෙන පමණින්. -- මේ පිරිස අපට පුලුවන් "මුල් ක්‍රිස්තියානි සභාව" විදිහට අඳුනගන්න. මේ අය පොදුවේ ජේසුස්වහන්සේව පිළිගත් අය.


3. යුරෝපයේ රෝමඅධිරාජ්‍යයේදී මේ මුල් ක්‍රිස්තියානින් සෑහෙන පීඩාවට ලක් වෙනවා. එහෙම වුණත් සෑහෙන්න ව්‍යාප්ත වෙන මේ ආගමේ චින්තකයින් බිහි වෙන්න ගන්නවා. - මේ අයත් මුල් ක්‍රිස්තියානි සභාවේම තමයි, හැබැයි මෙයාලා ජේසුස්වහන්සේ ගැන විවිධ මත ඉදිරිපත් කරන අය විදිහට වෙන් වෙනවා. ඒ කියන්නේ, ජේසුස්වහන්සේ දෙවියන්වහන්සේමයි. කියන පාවුලුගේ මතය ගැන ප්‍රශ්න කිරීම වගේ. මේ අය අතර පිරිසක් තවමත් ජේසුස්වහන්සේ කියන්නේ දෙවියන්වහන්සේමයි කියලා පිළිගන්නවා, තවත් පිරිසක් දේවදූතයෙක් විදිහට පිළිගන්නවා. හැබැයි වැඩි ව්‍යාප්තියක් කෙසේ වෙතක් සමාජ බලයක් ජේසුස්වහන්සේ දෙවියන්වහන්සේමය කිව්ව පිරිසට ලැබෙනවා.


4. කොන්ස්තන්තියන්ගේ කාලයේදී අර ජේසුස්වහන්සේ දෙවියන්වහන්සේමයි කිව්ව අයව පළමු වතාවට වගේ රාජ්‍ය පිළිගැනීමක් ලැබෙනවා. (ඒ අයට විතරක් නෙමෙයි පොදුවේ ජේසුස්වහන්සේගෙන් ආරම්භ වුණු සියලු දෙනාට ලැබුණත්, රාජ්‍ය අනුග්‍රහය මුලින් කී පිරිසට වැඩියෙන් ලැබෙනවා.) - කොන්ස්තන්තියන්ගේ මරනයෙන් පස්සේ ටික ටික අර මුලින් කී ජේසුස්වහන්සේ දෙවියන්වහන්සේමයි කිව්ව පිරිස රෝම අධිරාජ්‍යය තුළ බලවත් වෙනවා.


5. රෝමය තුළ බලවත් වෙමින් යන විට සහ බලවත් වූ විට, තමන්ගේ මතයන්ට වඩා වෙනස් මත ඉදිරිපත් කළ අය වාරණය කිරීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒ පිරිස වෙන් වෙලාම යනවා. මෙයින් සමහර දෙනෙක් ආසියාව පැත්තට එන සාම්ප්‍රදායික ඒ කියන්නේ ජේසුස්වහන්සේ දෙවියන්මයි කියන දේ පිළිගත්ත අය වුණත්, රෝමය තුළ කේන්ද්‍රගත වුනු අයගේ ආගමික සංවිධානයේ සැකැස්ම සහ දැඩි රෝමානුකරණය වීම ප්‍රතික්ෂේප කරපු අය. අර ජේසුස්වහන්සේ දේව දූතයෙක් කිව්ව අයත් ඔය චෝදනාව කරනවා රෝමයේ අයට. - මේ විදිහට රෝමය කේන්ද්‍රකරගත්තු පිරිස තමන් කතෝලිකයින් විදිහට හඳුන්වාගන්න කොට පිට හිටපු අය ඒ අයට සමච්චලේට කිව්වා  රෝමානු කතෝලික කියලා. පස්සේ ඒ අය ඒක සතුටින් බාරගත්තා.


6. මධ්‍යතන යුගයේ අඳුරු කාලය කියන කොටසේදී මේ රෝමානු කතෝලික ආගමේ පූජකයින් දේශපාලන බලය එක්ක කටයුතු කිරීම නිසා, මුදල් ධනය පස්සේ යෑම නිසාත්, ඊට කලකට පෙර සිටන් තමන්ගේ සභාව වඩා නිවැරදි එක බවට පැවති විශ්වාසය නිසාත්, සභාවෙන් පමණක් ගැලවීම ලැබිය හැකියි කියන මතය නිසාත් බොහෝම සංකීර්ණ දේශපාලන ස්වරූපී ආගමක් වෙලා පූජකප්‍රසාදීන්ට පූජකකම අමතක වෙනවා  - මේ කාලයේදී ⁣ආගමික පුනරුදයක් විදිහට රෝමානු කතෝලික අදහස් වෙනුවට, සභාවෙන් තොරව ඍජුව දෙවියන්වහන්සේ සමග ගනුදෙනු කරන්න පුලුවන් කියන පිරිසක් බිහි වෙනවා. ආගමික ප්‍රතිසංස්කරණ වාදීන් විදිහට -- මේ අය අතර අර කලින්ම කිව්ව ජේසුස්වහන්සේ දෙවියන්වහන්සේමයි කියපු අයත් දේව දූතයෙක් කියපු අයත් හිටියා. ඒ නිසා මේ අයගේ ඇති වීම නැගීම එක්ක බොහෝ ප්‍රමාණයක් කොටස්, ශාඛා ඇතිවෙන්න ගත්තා. මේ අයගේ පොදු සාධකයක් කමයි මේ අය රැඩිකල් නැති නම් මූලධර්මවාදීන් විදිහට කටයුතු කිරීම. ඒ කියන්නෙ බයිබලය ගැන සහ ආගමික සංකල්ප ගැන ජේසුස්වහන්සේගේ කාලයේ තිබුණේ මෙහෙමයි කියලා හිතුනු දකින විදිහටම ආගමික භක්තිමත් වීමකින් වැඩ කිරීම. ඒ නිසා මේ අය කතෝලිකයින් පසු කාලීනව සම්මත කරගත් කාලයක්තිස්සේ භාවිත බයිබල පොතේ තියෙන පොත් කීපයක් අයින් කරනවා වගේ වැඩ කළා.


± ආගමික ප්‍රතිසංස්කරණවාදීන්ට කලින් මධ්‍යතනයුගයේ ස්වර්ණමය අවධියේදී බිහිවුණු සාන්ත ඇක්වයිනාස්තුමා වගේ පිරිස අර රෝමානු කතෝලික ආගම දාර්ශනික ස්වරූපයකින් වර්ධනය කරන්න පැහැදිලි කරන්න ගත්තා ග්‍රීක දර්ශනය භාවිතයෙන්, ඒකේ ප්‍රතිඵලයක් විදිහට කාලෙන් කාලයට සංවර්ධනය වුණු සහ වෙන දේවවේදයක් ඒ අයට තියෙනවා. ඒ වගේම බයිබලය පිළිබඳ පිළිගත් ශාස්ත්‍රානුකූල අදහස් පිළිගැනීම් තියෙනවා. - මේ බොහෝ දේවල් අනිත් සභාවන්ගෙන් පිළිගන්නේ නැහැ.


± මීට අමතරව දාසයවැනි සියවසේ මැද හරියේදී එංගලන්තයේ රජු විදිහට හිටපු අටවැනි හෙන්රි පෞද්ගලික හේතුවක් නිසා රෝමානුකතෝලික සභාවෙන් වෙන් වෙනවා. එහෙම වෙන් වෙලා ඇංගලිකන් සභාව හෙවත් එංගලන්ත සභාව හදාගන්නවා. මේ අය සභාව ගැලවීමේ මාර්ගයයි කියනදේත් පාප්වහන්සේගේ අධිකාරීත්වයත් හැර සාමාන්‍යයෙන් කතෝලික දේවවේදය පිළිගන්න අය.


@ මේ ටික ඔක්කෝම එකට ගත්තම පොදුවේ ව්‍යවහාර කරන නම තමයි ක්‍රිස්තියාන් කියන්නේ.  ඒ ක්‍රිස්තියානින් අතර,

= රෝමය කේන්ද්‍ර කරගත්තු අය රෝමානුකතෝලික

= මුලින්ම ඒ රෝමානුකතෝලිකයින් ගෙන් වෙන් වුණු ජේසුස්වහන්සේ දේවියන්මයි කියා පිළිගත් ආසියාවට ආ පිරිස ආසියානු ඔතෝඩොක්ස් සභාව

= ආගමික ප්‍රතිසංස්කරණවාදීන් බොහෝ ප්‍රමාණයක් විවිධ විදිහට බෙදෙනවා ඒ සියලු දෙනාට විවිධ නම් තියෙනවා, පොදුවේ ක්‍රිස්තියානීන් කියලා කියනවා. මේ අයට තමයි යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සහ බෝන්අ'ගේන් වගේ සභාවන් අයිති වෙන්නේ.


(කතෝලිකයින්ට හැරුණුකොට අනිත් ප්‍රධාන සභාවන්ටත් දේවවේදීන් සහ දේවවේදී මත තියෙනවා.)


මේ සරලම කෙටිම සහ ඉතාම මූලික කරුණු විතරයි මීට අමකරව තවත් ප්‍රධාන සභාවන් තියෙනවා, වෙනම වෙනස් වෙන සහ තව ප්‍රධාන සිද්ධි තියෙනවා අඩු වැඩි වශයෙන් බලපාපු.


පද අර්ථසහ නිෂ්පත්ති-

කතෝලික පදය


ග්‍රීක  :-


කථ් + ඔලොස් (තුළ + සියල්ල)

කථොලොඋ + ඉකොස් (සියල්ල තුළ + පවතින හෝ අයත්)

කථොලිකොස්

මේ ග්‍රීක පදයෙන් ලතින් භාෂාවටත එයින් ඉංගිලිසිය ඇතුළු නූතන භාෂාවන්ටත් එයින් සිංහලයටත් පැමිණ තිබෙනවා. - මෙහි අදහස සියලු තැන්හි පවත්න කියන අදහස. මේ⁣ පදය වෛදික භාෂාවේ විශ්ව පදයෙන් හදාගන්න විශ්වීය කියන අදහසට සමානයි. ඒ කියන්නේ සමස්තය සහ සමස්තයට අයත් කියන අදහස. මේ පදය පළමුවෙන්  ආගම වෙනුවෙන් යොදාගැනෙන්නේ අන්තියෝඛ්හි ඉග්නාතියුස් තුමා ව්‍යා.ව110දී ලියූ ලිපියක.


ක්‍රිස්තියානි පදය


ඇරමැයික් :- 

මශඃ ධාතුව (තොරා ගැනීම)


හේබ්‍රෙව් :- 

මාශීඅහ් (තෝරාගත් පුද්ගලයා)


බයිබලීය හේබ්‍රෙව් :-

ම'ශාඃ (තෝරාගත් පුද්ගලයා)


ග්‍රීක :-

මේ අර්ථය ⁣දීම සඳහා ග්‍රීක භාෂාවේ

ක්‍රීඕ + ටොස් (තොරාගැනීමේ ධතුව + කෘදන්ත ප්‍රත්‍ය)


ලතින් :-

ක්‍රිස්ටෝස් + ආනුස් (තෝරාගත් පුද්ගලයා + අපත්‍යාර්ථ තද්ධිත ප්‍රත්‍ය)

ක්‍රිස්ටියානුස්


මෙය ඉංග්‍රීසි ඇතුළු නූතන භාෂාවන්ට පැමිණ එයින් සිංහලයට පැමිණ ඇත. අදහස තෝරාගත් පුද්ගලයා අනුව යන හෝ ඔහුට අයිති හෝ ඔහුගේ පිරිස යන්නයි.


මේ පදයත් මුලින්ම ආගමික කණ්ඩායම හැඳින්වීම සඳහා භාවිත කිරීම ඉග්නාතියුස් තුමා සිදු කළ බව පිළිගත හැකියි. පදයේ භාවිතය බයිබලයේ ක්‍රියාපොතෙත් දකින්න හැකියි. 


සභාව පදය


ග්‍රීක කුරිආකොන් හෙවත් දෙවියන්ට අයත් යන පදයෙන් බිඳී ආ church පදය සිංහලයට ගත් ආකාරටයි.

හින්දු ආගමේ මූලාශ්‍රය

නැහැ මං හින්දු ආගම උගන්වන්න නෙමෙයි හදන්නේ. හින්දු ආගම ඉගෙනගන්න විදිහ ගැන ටිකක් කියන්න හදන්නේ.

පළවැනියටම තේරුම් ගන්න ඕනේ හින්දු කියලා අපි කිව්වට ඇත්තටම එහෙම එක ආගමක් නැහැ. හින්දු කියන වචනේ හැදෙන්නේ සින්ධු පදය ප"සියානු හුරුවට උච්චාරණය කිරීමෙන්. මුලම කාලෙදි හින්දු කියලා තියෙන්නේ සින්ධු නදියෙන් මෙපිට ඇති දේවල්වලට. හැබැයි පස්සේ බෞද්ධ ජෛන වගේ ආගම්වලින් වෙනස් වුණු වේදය කියන පොත් හතර පිළිගන්න බව කියන ආගමික සම්ප්‍රදායන් ඇටහුටහාමාරකට විතර පොදුවේ දීපු නම තමයි හින්දු කියලා කියන්නේ. ඉතින් ඒ නිසා හින්දු කිව්වම එක ආගමික සම්ප්‍රදායක් එක ආගමක් නෙමේ ආගම් ගණනාවක් අයිති වෙනවා.

මේ ආගම් ගණනම අපිට තේරුම් ගන්න ලේසිට ප්‍රධාන කොටස් කීපයකට බෙදන්න හැකියි.

1.මුල් වෛදික ආගම

2.බ්‍රාහ්මණ ආගම

3.පෞරාණික ආගම්

4.ෂඩ්දර්ශන


හින්දු ආගම ඉගෙනගන්නකොට රකින්න වෙන මූලික සිල්පදයක් වගේ එකක් තියෙනවා. ඒ තමයි සත්‍ය දැනගැනීමේ මාර්ගතුන සමාදං වීම. ඒ කියන්නේ හැම හින්දුවම පොදුවේ පිළිගන්න සත්‍ය දැනගැනීමේ මාර්ග තුනක්වත් අඩුම තියෙනවා. ඉතින් ඒ මාර්ග තුන හරියටම සේසෙටම පිළිපදින්න වෙනවා.

1. දැකලා, අලල්ලලා බලලා, පාවිච්චි කරලා බලලා තහවුරු කර ගැනීම. (ප්‍රත්‍යක්ෂය)

2. දැකපු ඒවා ගැන තියෙන දැණුමෙන් අනුමාන කරගැනීම.

3. ශුද්ධ වූ පිළිගත් ග්‍රන්ථ


මේ තුනෙන් ඉතාම වැදගත් සහ විශ්වසනීයම මාර්ගය පළවැනි එක නෙමේ තුන්වැනි එක. ඒකම තමයි හින්දු ආගම් ඉගෙනගන්න එකේ තියෙන අමාරු වැඩේ. මොකද හරියටම මොන පොත්ද මේ එක එක අය පිළිගන්නේ කියන එක දැනගන්න වෙනවා. අනිත් ප්‍රධානම දේ තමයි මේ පොත්වල තියෙන කරුණු සෑහෙන තරම් අටුවා ටීකා සන්න ලියලා අරිථකථනය කරලා තියෙන එක. ඒක පහසුවක් වෙනවා වගේම ලොකු සීමාවකුත් වෙනවා. ඒ කියන්නේ අපිට හිතුමනාපෙට පොත්වල තියෙන දේවල් අර්ථකථනය කරන්න තේරුම් කරගන්න බැහැ. හැම තිස්සේම වගේ සිද්ධවෙන්නේ අර දීලා තියෙන අර්ථකථන මත යැපෙන්න. ඔව් ඉතින් ඒ කියන්⁣නේ කොච්චර ගොං කතා කිව්වත් අපිට වෙන්නේ ඒ ආගම ඇතුළේ ඒ ගොං කතා පිළිගන්න. අපි ආස විදිහට තේරුම් නොගෙන.

දැන් බලමු අර කලින් කිව්ව කොටස්වලට අයිති පිළිගත් ශුද්ධග්‍රන්ථ මොනවද කියලා.


1. මුල් වෛදික

මේක තමයි ලේසිම කොටස. මේ කොටසට අයිති වෙන්නේ ඍග්, යජුර්, සාම, අථර්වන් කියන පොත් හතර. හතරක් කිව්වට ඇත්තටම පළවැනි තුන බොහෝම සමානයි ගොඩක් පැතිවලින්. මේවට කියනවා සංහිතා කියලා.

ඒ වගේම මේක තමයි වැදගත්ම කොටස, මොකද අනිත් සෑම සම්ප්‍රදායක්ම මේ කොටසේ තියෙන ශුද්ධග්‍රන්ථවල ශුද්ධත්වය පිළිගන්නවා. ඒ කියන්නේ මේ පොත් හතරේ තියෙන්නේ ඇත්තම ඇත්ත විදිහට ඒ හැමම පිළිගන්නවා.


2.බ්‍රාහ්මණ

මේ අයට පොත් දාහතරක් තියෙනවා. ඒවාගේ නමත් බ්‍රාහ්මණ. මේවා ලියවෙන්නේ යාගයක  කරන විදිහ, ඇයි යාගයක් කරන්නේ, කොහොමද යාගයක් කරන්නේ, වේදයේ තියෙන මන්ත්‍ර කොහොමද යාගයට සම්බන්ධ වෙන්නේ වගේ දේවල් පැහැදිලි කරන්න.

මේ පොත්වල වචනවල තේරුමත් සමහර තැනවල දක්වලා තියෙනවා, එහෙම වචන තේරුම් කරන්න හෝ යාගය ගැන අර කිව්ව දේවල් විස්තර කරන්න හෝ මේ පොත්වල අර්ථවාද කියලා ක්‍රමයකුත් භාවිත කරලා තියෙනවා. ඒකෙදි කරන්නේ කතන්දරයක් කියලා ඒ හරහා අදාළ දේ පැහැදිලි කරන එක. මේ සමහර කතන්දර ආර්යයන් භාරතයට එන්නත් කලින් ඇති වුණු ජනකතා වගත් ⁣දකින්න හැකියි. හැබැයි එව්වා ටිකක් නීරසයි හේතුව කතාව කියන එක එයාලගේ අරමුණ නොවුණු එක තමා.

මේ බ්‍රාහ්මණ තවත් වැදගත් වෙන්න හේතුවක් තමයි මේවගේ අග ආරණ්‍යක උපනිෂද් කියලා වෙනම අඳුනගන්න පොත් අමුණලා තියෙන එක. ඒවා බ්‍රාහ්මණ වගේ යාගය ගැන කතානොකර ආත්මය පරමදෙවියන් වගේ දේවල් ගැන දාර්ශනිකව කතාකරලා තියෙන පොත්. මෙතනින් සම්පූර්ණ වෛදික පොත් බිහි වීම නතර වෙනවා. ඒ කියන්නේ සංහිතා බ්‍රාහ්මණ ආරණ්‍යක සහ උපනිෂද් තමා වෛදික සාහිත්‍ය කියන්නේ. 


3.පෞරාණික ආගම්

මේ කොටස සෑහෙන තරමක් සංකීර්ණයි. මේ අයගේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒවා ඇත්තටම බැලුවොත් ආගම් තුනක් වගේම තමා.

          1.වෛෂ්ණව - විෂ්ණු ආගම

          2. ශෛව - ශිව ආගම

          3. දෛවී - දුර්ගා ආගම

මේ අය පොදුවේ කලින් කිව්ව වේද හතරම පිංලිගන්න අතරේ ටිකක් සංකීර්ණ ක්‍රමයකට බ්‍රාහ්මණත් වෙන වෙනම පිළිගන්නවා. හැබැයි මේ ආගම් තුන මූලිකව හැඩගැහෙන්නේ පුරාණ කියන පොත් දහඅට අනුව. එක එක ආගමට මේ පුරාණ වෙන් වෙන්ව තමා අදාළ වෙන්නේ. ඒ අතර පොදු කොටසුත් තියෙනවා.

ඒ පුරාණවල නම්,


1. අග්නි පුරාණය. 2. භාගවත පුරාණය. 3. භවිෂ්‍ය පුරාණය. 4. බ්‍රහ්මාණ්ඩ පුරාණය. 5. බ්‍රහ්මවතාර පුරාණය. 6. ගරුඩ පුරාණය. 7. කුර්ම පුරාණය. 8. ලින්ග පුරාණය. 9. මාර්කණ්ඩ පුරාණය. 10. මත්ස්‍ය පුරාණය. 11. නාරදිය හෝ නාරද පුරාණය. 12. පද්ම පුරාණය. 13. ශිව පුරාණය. 14. ස්කන්ධ පුරාණය. 15. වාමන පුරාණය. 16. වරහ පුරාණය. 17. වායු පුරාණය. 18. විෂ්ණු පුරාණය.


මේවගේ වැඩියම තියෙන්නේ කථා. මේ කථා අර බ්‍රාහ්මණවල තියෙන කථාවලම දිගුවක් වෙන තැනුත් අමුතුම කථා විදිහට හැදෙන ඒවත් දෙකේම එකතුවක්. ඒ අතර  දාර්ශනික කරුණුත් මේවාගේ ඇතුළත් වෙනවා.

මීට අමතරව වීරකාව්‍ය දෙක වුණු රාමායණය මහාභාරතය දෙකත් මේ අයගේ පිළිගත් ග්‍රන්ථ වෙනවා.


4. ෂඩ්දර්ශන


මේ කොටස අනිත් කොටස්වලට වඩා තරමක් සංකීර්ණයි. හැබැයි සමහර විට පෞරාණික ආගම් තරම් සංකීර්ණ නැතිවත් ඇති. නමෙන්ම තේරෙනවා වගේ මේ කොටසට අයිති දර්ශන හයක් තියෙනවා. මේවා හඳුන්වන්නේම දර්ශන කියන නමින්. ඒ හය නම්,

1.සාංඛ්‍ය

2.යෝග

3.න්‍යාය

4.වෛශේෂික

5.පූර්වමීමාංසා

6.වේදාන්ත


මේ හයෙන්ම අද වෙනකොට අනෙක් ආගම් වගේම ක්‍රියාකාරීව තියෙන්නේ වේදාන්ත කියන කොටස විතරයි.  හැබැයි න්‍යාය යෝග වගේ දර්ශනත් එක්තරා විදිහකට ක්‍රියාකාරීව තියෙන් බව කියන්න හැකි. මේවාගෙන් අවසාන දර්ශනය වෙන වේදාන්ත දර්ශනය හැරුණුකොට අනිත් දර්ශනවල පිළිගත් පොත් මො⁣නවද කියන එක ඒ තරම් සංකීර්ණ නැහැ. කොහොම උණත් මේ හයටම තම තමන්ට ආවේනික සූත්‍ර ග්‍රන්ථ හයක් තියෙනවා. සූත්‍ර කිව්වට මේවා පාළි සූත්‍ර වගේ නෙමෙයි e=mc^2 වගේ සූත්‍ර. ඉතින් මේ සූත්‍රවලින් කියන දේ සාමාන්‍යයෙන් මනුස්සයෙකුට තේරෙන්නේ නැති නිසා, මේවට අටුවා ලියලා තියෙනවා. ඒවට කියන්නේ භාෂ්‍ය කියලා. මතක තියාගන්න අවශ්‍යම දේ තමයි මේ සූත්‍ර-පොත්වලින් එකක් හරි නම් කරනකොට ඒ නම් කරන්නේ ඒකේ භාෂ්‍යයත් එක්ක කියන දේ.


1.සාංඛ්‍ය

මේ දර්ශනයේ ආදිකර්තෘ නැති නම් මේකේ ආරම්භකයා වෙන්නේ කපිල ඍෂිවරයා. මෙයාලගේ සූත්‍රග්‍රන්ථය සාංඛ්‍යප්‍රවචනසූත්‍ර. මීට අමතරව සාංඛ්‍යකාරිකා කියන පොතත් මේ අයගේ පිළිගත් පොත් අතර ඉහළම තියෙනවා.


2.යෝග

පතඤ්ජලී ඍෂිවරයා ආරම්භ කරපු යෝග දර්ශනයේ සූත්‍රග්‍රන්ථය යෝගසූත්‍ර කියන පොත. 


3.න්‍යාය

මේ දර්ශනය පටන් ගන්නේ ගෞතම අක්ෂපාද නම් ඍෂිවරයා. න්‍යායසූත්‍ර තමයි ප්‍රධානම පිළිගත් ග්‍රන්ථය වෙන්නේ.


4.වෛශේෂික

කනාද ඍෂිවරයා ආරම්භ කළ මේ දර්ශනයේ සූත්‍රග්‍රන්ථය වෛශේෂිකසූත්‍ර. මීට අමතරව පදාර්ථධර්මසංග්‍රහ පොතත් ලොකු.පිළිගැනීමක් තියෙන පොතක්.


5.පූර්වමීමාංසා

ජෛමිනී ඍෂිවරයා ආදිකර්තෘ විදිහට සලකන මේ දර්ශනයේ පිළිගත් මූලග්‍රන්ථය වෙන්නේ පූර්වමීමංසාසූත්‍ර ග්‍රන්ථය.


6.වේදාන්ත

මේක අනිත් දර්ශනවලට වඩා සංකීර්ණයි. හේතුව මේකේ දර්ශන සම්ප්‍රදායයන් නැකි නම් තෙරෙන සිංහලෙන් ස්කූල්ස් කීපයක් තියෙනවා. මේ අතරින් සමහර ඒවා අහසපොළව වගේ වෙනස්. සමහර ඒවා හින්දී උර්දුයි ස්පාඤ්ඤයි ප්‍රුතුගාලයි වගේ ඉගෙනගන්නකම්ම වෙනසක් හොයන්න බැහැ. හැබැයි මේවාගේ තියෙන පොත් මාරු කරලා තේරුම් ගත්තොතත් හෝ පොත් නැතිව තේරුම් ගන්න ගියොත් වෙන්නේ වේදාන්ත වෙනුවට වෙනම අදහස් ටිකක පැටලෙන්න. හේතුව තමයි මං කලින් සටහනේ කිව්වා වගේ මේ අය පිළිගත් ග්‍රන්ථ නැති නම් ශ්‍රුතියට ප්‍රධානත්වය දෙන එක.


•අද්වෛත

වේදාන්තවලින් පැරණිම සම්ප්‍රදාය මේක. මේ කේ ආරම්භකයා ගෞඩපාද වුණත් මේකේ ප්‍රතිස්ථාපකයා නැකි නම් මේ දර්ශනය හොඳින් පිහිටවූ කෙනා වෙන්නේ ආදිශංකරාචාර්යයන්.

මේ අය පිළිගත් පොත් කොටස් තුනක් තියෙනවා ඒ,

1.ශ්‍රුති

2.ස්මෘති

3.සූත්‍ර


ශ්‍රුති කියන එකෙන් අදහස් කළේ බ්‍රාහ්මණ යටතේ තියෙනවා කිව්ව උපණිෂද් පොත්ටික. මේ අය බ්‍රාහ්මණ පිළිගන්න වැඩි කැමැත්තක් දැකවුවේ නැහැ. ඒ වෙනුවට ගත්තේ උපනිෂද් පොත්. පිළිගන්න හැකි.පරණම නියම උපනිෂද්.කියලා සලකන උපනිෂද්වලට අමතරව තවක් උපනිෂද් 200ක් විතර තියෙනවා. මේ අද්වෛතිකයෝ පිළිගන්න උපනිෂද් ප්‍රමාණය වෙන්නේ එයින් අර පරණම උපනීෂද් දොළහක් විතර තමයි.


1.ඊශ, 2.කේන, 3.කඨ, 4.මුණ්ඩක, 5.මාණ්ඩුක්‍ය, 6.ඓතරේය, 7.තෛත්තරීය, 8, බෘහදාරණ්‍යක, 9,ඡාන්දෝග්‍ය, 10.ප්‍රශ්න, 11.ශ්වේතාශ්වතර, 12.මහානාරායණ.


මෙයිනුත් වැඩි පිළිගැනීම තියෙන්නේ වඩා පැරණි මුල් උපනිෂද් 11ටයි. ඒ උපනිෂද් වඩාත් වැදගත් වෙන්නේ ඒවාට ආදිශංකරාචාර්යයන් ලියපු භාෂ්‍යත් තිබීමයි.


ස්මෘති කියන්නේ ශ්‍රීමද්භගවද්ගීතාව. මේක.ඇත්තටම වර්තමානය වනවිට මහාභාරතය කියන වීරකාව්‍යයේම කොටසක් විදිහට තියෙන පොතක්. හැබැයි වේදාන්තිකයෝ ඒකට විශේෂ වටිනාකමක් දෙනවා. හේකුව ඒක උපනිෂද් සාරය විදිහට සලකන්න පුලුවන් වීම. හැබැයි මෙතනදීත් මතක තියාගන්න අවශ්‍යම දේ තමයි, ගීතාව තනියම නෙමෙයි ගන්නේ අද්වෛතයේදී. ගීතාව සහ ඒකට ආදිශංකරාචාර්යයන් කරපු භාෂ්‍යයත් එක්ක තමයි ගන්නේ. හේතුව බොහෝදුරට හැම වේදාන්ත සම්ප්‍රදායක්ම තමන්ට අවශ්‍ය විදිහට ගීතාව අර්ථකථනය කරගෙන තිියෙන එක.


සූත්‍ර කියන්නේ, බ්‍රහ්මසූත්‍ර නැති නම් වේදාන්තසූත්‍ර කියන පොත. මේකත් සියලුම වේදාන්තිකයෝ පිළිගෙන තමන්ට හරියන විදිහේ භාෂ්‍ය ලියලා තියෙන නිසා අද්වෛතයේදී මේක ගන්නේ ශාරීරිකභාෂ්‍ය නැති නම් ශාඞ්කරභාෂ්‍ය කියන ආදිශංකරාචාර්යයන්ගේ භාෂ්‍යයත් එක්ක.


•විශිෂ්ටාද්වෛත

මේ සසම්ප්‍රදාය පටන් ගන්නේ රාමානුජාචාර්යයන්. මෙතුමාම ලියපු, ශ්‍රීභාෂ්‍ය කියන බ්‍රහ්මසූත්‍රභාෂ්‍යයත් ගීතා භාෂ්‍යයත් මේ සම්ප්‍රදායේ මූලග්‍රන්ථ වෙනවා.


•ද්වෛත

මධ්වාචාර්යයන් ආරම්භකරන මේ සම්ප්‍රදාය පිළිගන්න මූලග්‍රන්ථය වෙන්නේ මෙතුමා ලිව්ව අනුව්‍යාඛනබ්‍රහ්මසූත්‍රභාෂ්‍ය නම් පොත


මේ තමයි  ප්‍රධාන සහ පැරණි වගේම පැහැදිලි වේදාන්ත සම්ප්‍රදාය තුන. මීට අමතරව නිම්බාකරයන්ගේ ද්වෛතාද්වෛත, වල්ලභාචාර්යයන්ගේ ශුද්ධාද්වෛතය සහ චෛතන්‍ය මහාප්‍රභූගේ අචින්ත්‍ය අභේදය කියන සම්ප්‍රදායයන් තියෙනවා. එහෙම වුණත් මේ අවසා සම්ප්‍රදාය වේදාන්ත ලෙස පිළිගන්න තරම් සුදුසු වෙන්නේ නැත්තේ ඒ අය වේදාන්ත මූලග්‍රන්ථවලින් පිළිගන්නේ ගීතාව විතරක් නිසා.


කෙසේ වෙතත් මේකෙන් පැහැදිලි වෙන දේ තමයි මේ එක අය ඉදිරිපත් කරන අදහස් අපිට හිතාගන්න බැරි තරම් සියුම් වෙනස්කම් සහික වෙනවා වගේම ඒවට මුල් වෙලා තියෙන්නේ ඒ අයගේ මූලග්‍රන්ථ කියන එක. අපිට හින්දු ආගම ඉගෙනගන්නවා නම් මේ කියන වෙනස්කම් සහ සම්ප්‍රදායයන් ගැන සලකන්නම වෙනවා. නැකි නම් හින්දුකොක්ටේල් එකක් තමා එළියට එන්නේ.

ඇත්තටම එහෙම හින්දු කොක්ටේලුත් දැන් ඉන්දියාවේ සෑහෙන තරම් සාමාන්‍ය මිනිස්සු අතර ජනප්‍රියයි. සාමාන්‍ය කියන්නේ විද්‍යාව අරවා මේවා  උගත් ඈයොත් ඔය අතර ඉන්නවා. මේවා හරියට බෞද්ධ ක්‍රිස්තියානි ආගමික කල්ට් වගේ ඒවා. සීනිබෝල ආධ්‍යාත්මික කතන්දර කෝටියයි. ශාස්ත්‍රීය පදනම නිල්. ඉතින් ශාස්ත්‍රීය කියවීමක් කරනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. අද"වය්ස් හූ ඈම් අය් ටු ටෙල් යූ වට් ටු ෆලෝ ඕ නොට්....

පාපියා ගේ පලා යෑම.

 සෙමින් ගලායන ජලය ඉවුරේ  වැදී හඬනගන බවක් මේ දැන් ඔහු ගේ සවනේ වැකුණු හඬින් දැනගන්නා තුරු දැන නො සිටි කසුන් ඒ හඬට කන්දෙන්න විය.  ඍෂිකේශ් හී පරමාර්ථනිකේතනය ඉහළින් පැමිණි සූර්‍යකිරණ ඔහු ඉදිරියේ ඇති ගංගා නදී තලයේ වැදී ඔහු සොයා පැමිණීමට ඇත්තේ සුලු වේලාවක් බව ඔහු දැනගත්තේ උදෑසන ගංගා ස්නානයට පැමිණෙන බැතිමතුන් නිසාවෙන් ය. සීතල, සම මස සිඳ ඇටමිදුලු දක්වා ගමන් කරද්දී වුව ද බැතිමත් පිරිස ජෝතියෙන් පමණක් සැරසී ගංගා නදියට අවතීර්ණ වීමට සූදානම් වනු ඔහු නිහඬව බලා සිටී. ඇතැම් වේදනාවන් තුළ සැඟවුණු සුවයන් ඇතැයි, මේ ටික දිනට ඔහු පසක් කොට ගෙන සිටී. කළ යුතු කිසිවක් සිතාගත නො හැකි ව, අනවරතයෙන් ඒ මේ අත ගසාගෙන යන සිතිවිලි ශ්‍රෝතයක පැටලී රැය පහන් වන තුරු ම ඔහු එතැනට වී සිට ඇත. අසල වේදියේ ඊයේ රාත්‍රියේ පැවැත්වූ අග්නිහෝත්‍රයේ අළු පමණක් ඉතිරි වී ඇත. ඒ හැර රාත්‍රියේ පැවති කිසිවක් හෝ කිසිවකු ඔහු සමග මේ සීත උදෑසන බෙදාගැනීමට පැමිණ නැත.

ඇගේ අත්ල සීතල වී ඇත. උරහිස මත තබා සිටිනා හිස ටිකෙන් ටික බර වන්නා සේ ඔහුට දැනෙන්නේ ය. සූර්‍යෝදයට තව වෙලාවක් ඉතිරි වී ඇත. තවමත් ගංගා නදියට බැසගත් තාරකාවන් එයින් නික්මී අහස්කුසට ; තමන්ට උරුම හිස් ආකාශයට නැගී ගොස් නැත. රැය මුළුල්ලේ දොඩමලු වූ ඇය අලුයම හිරු ගේ පැමිණීම ආසන්න වන විට උරහිසට බර දී ඔහු ගේ සුරත වැළඳගෙන නිහඬ ව සිටී. ඇය ගේ දෑත් සුමුදු නැත, නුමුත් ඇයට ම අනන්‍ය වූ කෝමල ස්වභාවයක් උරුම ඇගේ දෑතේ ඇඳි මෙහෙන්දි රටා දැන් ඉතිරි ව ඇත්තේ යාන්තමට ය.

හවස්වරුව ම වෙහෙසී ඒ මෙහෙන්දි රටා ඇන්දේ ඔහු ය. එය සියුම් සංකීර්ණ රටාවකි. සියුම් රේඛා සමූහයකින් සහ ලාලිත්‍යයකින් යුතු රේඛා සමූහයකින් ඇගේ දෑත මත නිර්මාණය කළ ඒ මෝස්තරය කුමක් දැ යි අසන්නී ය. එය පරසතුමල් යැ යි ඇයට කිවා ඔහුට මතක ය. ඉන්පසු බොහෝ වේලාවක් වැය කරමින් කුලියට ගත් කුඩා නිවසේ ඇඳමත සිට ඔහු සාහිත්‍යයේ ඇති දෑ සිහි කරමින් පරසතුමලේ විශේෂත්වය ඇයට කියා දෙන්නේ ය. එළියේ බරණැස විදිවලින් නැගෙන හඬ ටිකෙන් යික තුරල් වන තුරු ම පවති මේ කතාවේ දී ඔහුට අවශ්‍ය ඇය ගේ සුන්දරත්වයත් වටිනාකමත් විශේෂත්වයත් ප්‍රකාශ කිරීමට ය. ඇගේ දෙපා මත ; උඩුපතුල් හී ද පරසතුමල් මෝස්තරයක් ඇඳීමට ඔහුට සිදු විය. එදා රාත්‍රියේ ඇයට කෑම කැව්වේ ඔහු ය.

ඇගේ දෙතොල් රෝස පැහැති ය. ඔහු ඇය දුටු පළමු වර සිතුවේ ඒ තොල් ආලේපන කියා ය. නුමුත් ඒ ඇය ගේ දෙතොලේ සැබෑ පැහැය විය. එහි පැහැය තරමට ම කෝමල සුමුදු පහසක් ද උරුම විය. ඇගේ උකුලේ හිස තබාන ඇය ගයන ගී අසා සිටින ඔහු බලා සිටින්නේ ඇගේ දෙතොල් දෙස ය. සෑම මෝතක ම ඈ නැවුම් ය. වඩාත් සුන්දර ය. අඩ අඳුරේ විදුලි පහනින් ගලා ආ ළා ආලෝකයෙන් වැසුණු විටත්, සල්වාර් කමිසයෙන් සහ දුපට්ටාවෙන් වැසුණු විටත් ඈ එක සේ සුන්දර විය.

සරසවියේ ප්‍රධාන මාර්ගය දිගේ ඇය සමග ගමන් කරමින් සිටින ඔහු ඇය ගේ සෑම ඉරියව්වක් ම රසවිඳිමින් සිටී. මාර්ගය දෙපස කොහොඹගස් පෙළ අලුතින් දළු දමා නැවුම් වී ඇත. උදෑසන ම මාවතට පැමිණි පිරිස සුහුසුළුව ඒ මේ අත ගමන් කරමින් සිටී. ඔහුට සිතෙන්නේ මේ සියල්ල ප්‍රාණවත් කර ඇත්තේ ඇය බව යි. රූපයත් ස්වරූපයත් සුන්දර වූ ඇය ගේ සෞන්දර්‍යමය සිත සුන්දරත්වය නො දක්නා තැනක් නැත. ඉතා ම දුඃඛිත පරිසරයක වුව ඇය සුන්දරත්වය සොයා ගන්නී ය. කිසිදු බලපොරොත්තුවක් තබාගත නො හැකි වූ, ඇය කිසි දිනක කතා කිරීමට උත්සාහ නො කළ සැබෑ අනාගතයේ පවා සුන්දරත්වයක් ඇති බව ඈ අඩ අඳුරේ ඔහු ගේ කන්ට කෙදිරුවා ය. ඒ මොහොතේ දෙසැම්බර් සීතල අතර ඔහු ගේ ළයෙහි රැඳි ඇගේ ළයෙහි උණුසුම කිසිදිනක ඔහුට අමතක නො වනු ඇත.

ඇය අනාගතය ගැන ඒ රාත්‍රියෙන් පසු කිසිවක් පැවසූයේ නැත. ඒ පිළිබඳ නිහඬ වතක් පිරුවාය. විසඳා ගත යුතු අනාගතයට වඩා විඳගත හැකි වර්තමානයේ ජීවත් වියයුතු යැ යි, එය විඳගත යුතු යැ යි ඔහු ද සිතුවේ ය. වරක් දෙවරක් හැර ඔහු ඇයගෙන් අනාගතය ගැන විමසුවේ නැත.

ගංගා නදී තීරයේ රාත්‍රිය පුරා වාඩි වී සිටිය ද ඔහු බලාපොරොත්තු වූ ලෙස ඈ කිසිවක් කීවේ නැත. දෙවසරක් අවසන් වී ඇත. තවත් දින දෙකකින්  පසු නැවත සියරට බලා පිටත් ව යා යුතු ය. ඔවුන් නැවතත් තම සැබෑ ජීවිතයට ඇතුළු විය යුතු ය.

"අපි ගෙවල්වලට කියමු. මට ජොබ් එක තියෙන නිසා අපි දෙන්නට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එන විදියක් බලමු" ඔහු කියාගෙන කියාගෙන ගියේ ය. එයට ඇය කිසිදු ප්‍රතිචාරයක් නො දැක්වූ තරම් ය. ඒ රාත්‍රියේ ම ඔහුට එය නැවත නැවත පවසා ඇයගෙන් පිළිතුරක් ලබා ගැනීමට තිබුණා යැ යි ඔහුට සිතේ. නැවත ලංකාවට යන අතරමග ඇය සමග මේ ගැන කතා කළ යුතු ව තිබිණැ යි ඔහුට සිතේ. ගුවන්‍-යානයේ පිටුපස  දී, ඇය ඔහුගේ මුහුණ දෝතින් ම ගෙන තදින් සිපගත්තා ය. ගොඩ බැසීමෙන් පසු ඇය පෙනෙන්නට නොසිටියා ය. දෙතැනක අසුන් ගෙන සිටි නිසාත් ඇය ගැන කොතරම් අවධානයෙන් සිටිය ද ඇය ඔහු ගේ නෙත් අතරින් බැහැර වි තිබිණ. ඇයට සම්බන්ධ විය හැකි එක ක්‍රමයක් හෝ ඇය ඉතිරි කර නො තිබිණි.

මාස දෙකකට පසු ඔහුට කෙටි පණිවිඩයක් ලැබිණි.

සොඳුරුතම මතකයන් ගුලි කර

ළමැදේ හොවා ගෙන

අඳුරුතම යුගයක දී

අවසන් කරන්නෙමි

ගලා යන දිය පහර.

ආදර කසුන්,

හැදී වැඩුණු පවුල හෝ වර්තමාන පවුල හෝ සමාව දීම ගැන සිතන්නේ වත් නැත, ඒ ගැන මගේ ආසාවක් ද නැත. අර්රහීම් අල්ලාහ් ද මට කමා කරන්නේ නැත. මේ ගමනින් අල්ලාහ් සමීපයේ මට කිසිදු ඉඩක් ලැබෙන්නේ ද නැත. ඒ නිසා වත් මට සමාව දෙන්න.

ඔයා ගේ ම ආදර, ආයාත්.

ගඟට වැටුණු හිරු කිරණ ඔහු ගේ මුහුණට වැටී ඔහුව මතකයන් පොදියෙන් මොහිතකට ගලවා ගත්තේ ය. ඇය ගැන සෑම මතකයක් ම එකතු කොට ගෙන අවසන් ය. මේ ඇය ගැන ඇති අවසාන මතකය යි. නැවුම් හිරු කිරණින් සුදෝ සුදුවට බබලන ශිවරූපය ගංගා නදිය මත දිදුලමින් තිබේ. ගංගාවේ මතුපිට සීතල වුව ද ඇතුළත උනුසුම් බව ඔහුට සිහි විය.

නමක් නැති කතාවක්



උදේ හයට නාගහ හන්දියට එන බස්ඒක අල්ලා ගැනීම එතරම් අපහසු නැත, නුමුත් ගස් අතරින් ඉහිරෙන නැවුම් හිරු කිරණින් නැහැවී බැබලෙන පිණිබරණිිිින් සැරසුණු දෙවැටපාර මේ වේලාවට කලාගාරයක් වැනිය. එය නොසලකා ගමන් කිරීම තරමක් අසීරු වැඩකි. මේ වෙලාවට මේ පාරෙන් ගමන් කරන වෙන කිසිවෙක් නැති නිසා කලාගාරය වින්දනය කිරීමේ උපරිම නිදහස මා සතුවීම සතුටට කරුණකි. පාසල් ගමන ආරම්භ කර මාස කීපයක් වුවද තාමත් මේ සුන්දරත්වය කෙරෙහි අලස වීමක් සිදුු නොවීමත් පුදුම සහගතය. සාරි වාටියේ පැටලෙන කොළ රොඩුත් තණබිස්සේ දැවටුණු පිනි ගෑවීම නිසා තෙමුණුපාවහන් දෙකෙන් දැනෙන අපහසුවත් හැරුණු විට මේ වෙලාවට දෙවැටපාර සෑම අතින්ම සුන්දර විය. නොසිතූ වෙලාවක පසුපසින් නැගුණු පියවර හඬ නිසා කනස්සල්ලට පත් වූයේ දැන් ඒ එන කා සමග හෝ කතාකරමින් යෑමට වීම ගැනය. නුමුත් ඒ සැහැල්ලුවට දුවගෙන එන හඬක් විය.

"ගුඩ් මෝනිං මිස්""

"සරලා... ගුඩ්මෝනිං! අද කලින්ම යන්න හිතුනේ මොකද? වෙනදට පරක්කු වෙලා නේ එන්නේ"

"දැන් කලින් යනවා මිස්"යැයි කීවේ මුහුණේ මොඩ සිනාවක් ඇඳගනිමින්ය. මා නැවතී සිට කාමරයේ ජනේලයට ඉදිරියෙන් ඇති නිවසේ වසන ඇය මගේ ශිෂයාවකි. අමුතු ප්‍රියමනාප කමකින් යුතු වූ තරුණියක් වූ ඇය, ඇතැම් විට එ නිසාම අභූත ප්‍රේමඡෝදනාවලට නිමිත්තකි විය. ඒත් ඒ ඇය කියන හැටිය, ඇතැම් විට ඉන් ඒකක් අභුත නොවන්නටද ඉඩ ඇත. ඇරත් උ.පෙළ පන්තියේ දරුවෙකුට ප්‍රේම සම්බන්ධයක් තිබීම ඒ තරම් අරුමයකැයි මට සිතෙන්නේ නැත.

"මිස්, පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්නද?"

"හම්..."

"ඇත්තටම මිනෝවන් ශිෂ්ටාචාරය විනාස වෙන්න ඇත්තේ ඇයි?"

මෙය බලාපොරොත්තු නොවූ ප්‍රශ්නයක් විය. කුඩා පාසලක් වූ නිසා මට සිටි ඉතිහාසය ශිෂයයන් දෙදෙනාගෙන් කෙනෙකි සරලා, ඇත්තටම නම් අනිත් කොලුවා පන්තියේ සිටියත් නොසිටියා ගාණට සිටිය නිදිමත කොලුවෙකි. සරලා ඊට වඩා තරමක් හොඳ ශිෂයාවක් වුවත් මේ වැනි වෙලාවක මේ වැනි ප්‍රශ්නයක් බලාපොරොු නොවීමි. කෙසේ වෙතත් එතැන් පටන් පාසලට යන තුරුම කතාව ගලා ගියේ එ ගැනය.

“ඒක පුදුම ශිෂ්ටාචාරයක්නේ මිස්, ආව තැනකුත් නැහැ, ඉවර වුණ විදහකුත් නැහැ, මුලක් අගක් නැහැ නේ”

“හීනයක් වගේ නේ?”

“ඇයි ඒ?”

“හීනවලටත් මුලක් අගක් නැහැනේ.”

“අගක් කියෙන්නේ නැගිට්ටුනම”

“ඒත් හීනේ අග ඒක නෙමේනේ”

“ඔව් නේ මට එහෙම හිතිලා තිබ්බේ නැහැ, මං යන්නම් මිස් පන්තියට එහෙනම්”

“හරි පුතා, පීරියඩ් එකේදී හම්බෙමු”

මේ කතාව මේ තරම් ඇදෙනු ඇතැයි මට නොසිතුනත්, ඇය එවවැන්ක් විමසීමෙන් ඇති වූ සතුටත්, පැහැදිලි කිරීම අතරේ ඇගේ දිදුලන දෑසත් මගේ පැහැදිලි කිරීම තවත් වැඩි කළා යැයි කීමේ වරදක් නැත.

සරලා නිසා ලැබුණු සතුට පවත්වා ගැනිමට තරම් හැකියාවක් ඇගේ පන්ති සගයා මට ලබා දුන්නේ නැත. සුපුන්ට ලෝකයුද්ධ දෙකේ කාලයවත් මත නැත. විභාගයට තවත් ඇත්තේ අවුරුද්දකට අඩු කාලයකි. මට පන්තිය ලැබී ගත වී ඇතතේ මාස කීපයක් පමණක් වුවත් ශිෂයයන්ගේ වගකීම මට පැවරී ඇත. මේ කොල්ලාට මෙච්චර පොඩි කරුණකුත් මතක නැත. සුපුන් යනු මූණ දුටු විට බනින්න හිතෙන ජාතිය කොල්ලෙක් නො වීය, අපමණ දඩ්බ්බරයන් අතර පාඩුවේ සිටින අහිංසකයෙක් විය. කොහොම වුණත්, පාඩම් කළ යුතු විදිහත් කරුණු මතක් කළ යුතු විදිහත්, නැවතත් සිහි කරමින් අද උදෑසන සිදු වූ සිදුවීමද සිහිකර, “අන්න එහෙම ප්‍රශ්නයක් තියේ නම් අහන්න, ප්‍රශ්න ඇහැහව්වට මුකුත් කියන්නේ නැහැනේ, මං නම් කැමති එහෙම ප්‍රශ්න අහන ළමයින්ට.”යැ යි කීවෙමි.

සරලා ලැජ්ජාකාර කෙල්ලක් නොවූවත්, මා එසෙ පවසන විට ආඩම්මර මූනක් සාදාගෙන සුපුන්ට විරිත්තනු වෙනුවට මුහුන රතුකරගෙන භාගෙට බිම බලාගෙන සිටි ආකාරය සංකීර්ණ සිතුමක් සේ විය.

දැන් පාසල් යෑමත් ඒමත් සිදු වූයේ සරලා සමගය. ඉන් පෙරදීත් ඇය නිවසේදීත් කතා බහ කළද දැන් ඇය වෙනදාට වඩා සමීප වී ඇත. කුමක් හෝ හේතුවකට, අමතක කර දැමීමට තරයේ සිතට ගත් පරණ මතකයක් විසින් උත්තේජනය වී බඩු මල්ලෙන් එළියට නොගත් මට අයිති නැති මගේ අයිතියේ දමා ගිය දිනපොත කියවන අතර, බෝල බෝල ලස්සන අකුරු අතර ඒ රවුම් මුහුණ සිතින් ඉවත් වූයේ නැත. “දැන් මේවා මගෙ ළඟ තියා ගන්න බැහැනේ, පුච්චන්න හැදුවත් මට ලෝබයි, ඔයා තියාගන්න හරි කැමති දෙයක් කරන්න” කියා ඉවතට ඇදී යි, තවමත් කුමක් කිවයුතුදැයි සිතාගත  නොහැකිව බලා සිට දිනපොත් දෙස බැලූ විට ඒ අතර එක් කුඩා කොල කෑල්ලක “මට සමාවෙන්න - ජාන්වී” යැයි ලියා තිබිණි. යන්තම් බොඳ වූ දෙනෙතින් ජනේලයෙන් එළිය බලන විට පෙනෙන්නේ සරලා මොනවා හෝ භාජනයක දමාගෙන මේ දෙසට එමින් සිටින බව පමණි. ළානිල්පාට ගවුමත්, ගණ කෙස්කළඹත් තවත් අතීතාවර්ජනයක ආරම්භයක් වුවද. “මිස් ඇඹරැලලා අච්චාරු ගෙනාවා ඇතුළට එන්නම්ද?’ කියා ඇසීමෙන් අතරමග නැවතිණි. “නැහැ පුතා මං එන්නම් අපි යං වෙළ පැත්තේ”

“නියමයි, නියමයි, මිස් නිදාගෙන හිටියද, ඇස් නිදිමත පාටයි” ඇය කීවේ ඇනුම්පදයක්ද යන්න තේරුම් ගැනීම අපහසු විය.

හවස වෙලේ හුළඟ නිසා එහි කාලය ගත කිරීම සැපදායක විය. මහනියර අයිනේ පොල් කොටයකින් සාදා තිබූ බංකුවට වී වෙල දෙසත් ඇළේ හඳයින් දෙසත් බලා සිටීම ටික කලක සිට අපි දෙදෙනාට පුරුද්දක් වී ඇති සේය.

“මිස් ගොයම් පැහිල නිසා වෙළ සුවඳයි නේද?”

“ඇත්තම කියනවා නම් මට එන්නේ කෙල්ලක ළඟින් එන සබන් සුවඳ පමණයි”

“ආහ්… ඉතින් ඔයා ළඟත් සුවඳයිනේ, බේබි සබන් සුවඇඳයි, බබා…!” ඇය මගේ ගෙල දෙසට සමීප වී සුවඳ බලමින් කියයි. ටිකෙන් ටික සරලා ශිෂ්‍යාවකගේ ස්වභාවයෙන් නිදහස් වෙමින් සිටී, එහි ඇති වරදක් නැත, එයින් ඇයට සමීප වී ඇය වඩා හොඳින් විභාගයට සූදානම් කිරීමටත්, ඇයට වරදක් විය හැකි යමක් වැඩි හිටියන්ගෙන් සඟවයි නම් එයින් ඇය බේරාගන්නටත් මට හැකිය. ඇරත් වසර තුනකින් පමණ මට ලැබුණු මිතුරියත්, පවුලත් ඇයයි, එය දොසක් විය හැක්කේ කෙසේද?

“මිස් අත දෙන්න සාත්තරයක් කියන්න”

“බොරු සාත්තර”

“බොරු නෙමේ ඇත්ත අනේ දෙන්නකෝ” බලෙන්ම අත රැගෙන අත්ල දෙස බලා හිඳී

“කොහොමද අනේ මෙච්චර ලස්සනට අත් තියාගන්නේ, ඔයා රෙදි හෝදන්නෑ නේද?”

“ඇයි ම‌ගේ රෙදි හෝදන්නේ උඹද?”

“හාං මං හෝදලා දෙනවා ඉතින් මට දුන්නොත්.”

“අම්මේ ඔව් හෝදයි හෝදයි, මං දකිනවා අම්මා රෙදි වනනවා යට ඇඇඳුමුත් එක්ක.”

“අපෝ ඒවා බලන්න එපා අනේ, ඒ ඉතින් විභාගෙ නිසානේ මං වැඩනේ”

“මං නොදන්න විභාගේ”

“ඉන්නකෝ ඉන්නකෝ සාත්තරයක් කියන්න” ඇය අත ඒ අත මේ අත හරවමින් කියවයි, සිනාසෙයි. ටිකෙන් ටික ලං වී එක් අතක් උකුලේ තබාගෙන අනිත් තඅට සම්පූර්ණයෙන් හේත්තු වී බොරු සාත්තරයක් කියයි.

ඇය රෑට පාඩම් කරන්නේ මගෙ කාමරේය. ඒ නිසා ඇය පාන්දර දෙක තුන වන තුරු පාඩම් කරයි. නැති නම් දොළහටත් කලින් කාමරේ ලයිට් නිමී යයි.

මට “ග්‍රීක ශිෂ්ටාචාරය” පපුව උඩ තබාගෙන නින්න්ද යෑම නිසා අවදි වී බලන විට, සරලා මා දෙස බලා සිට එක් වර දෑස් ඉවතට ගත්තාය. “ආහ් මිස් නැගිට්ටද, මිස්ව නැට්ටවන්න ලෝබ කමට මං තව ටිකක් වෙලා පාඩම් කරා”

“අපරාදේ දන්නවා නම් එළි වෙනකම්ම නිදා ගන්නවා, කීයද වෙලාව?”

“තුනට කාලයි.”

“නිදිමතයි නේ, එනවා එනවා ලයිට් ඔ්ෆ් කරලා” ඇය ලයිට් නිවා දමා අතපත ගාමින් විත් ඇඳට ගොඩවෙයි. එක් අයෙකුට යන්තම් සෑහෙන ඇඳ අපි දෙන්නා පිරිමහ ගන්නේ මං තරමක් සිහින් නිසාය, සරලා වැනි පිරිපුන් විසේ ඇති කෙල්ලෝ දෙන්නෙකුට නම් වරකට එකා බැගින් මිස මේ ඇ‌ෙඳ් නිදියන්න වන්නේ නැත.

රස්නයක් නැතත් දාඩියෙන් යන්තම් තෙමී අවදිවන විට සරලා බෝනික්කියක් සේ තුරුළු වීගෙන සිටීඇයට බාධා නොකර නැගිටින්න හැදුවත් ඇය අවධි විය. නැවතත් ඇයගේ මුහුණ නිදිමත ගතිය සමගම සංකීර්ණ සිතුවමක් බට පත්වී ඇත. වාඩින්චිගේ හිස නොපීරු තරුණියගේ මුහුණ සේ ලාලිතයයත්, තවත් බොහෝ දේත් එක් වූවා සේය.

විභායෙන් පසු ඉංග්‍රීසි ඉගෙනගන්නටත්, බොහෝ විට චිත්‍රපටි නරඹන්නටත් ඇය පැමිණෙයි, නුමුත් ඉන් පෙර සේ බොහෝ වෙලාවක් වෙල් එළියේ ගත කරන්නට හෝ කිටි කිටියේ ඇඳ බෙදාගන්නට හෝ අවස්ථාවක් නොලැබෙන්නේ අම්මා ඇය‌ට පවරන රාජකාරි ඊට වඩා වැඩි නිසාය.

ඒත් සරලාගේ අම්මා දැන් මා සමග වැඩිය නැතැයි මට සිතේ. මා නැවතී සිටින නිවසේ අක්කා නම් කියන්නේ කාගේ හෝ මොකක් හරි වැරැද්දක් හොයා ගැනීම ඇගේ හැටි නිසා ඒවා ගණන් නොගත යුතුයි කියාය.

ගෙදර අක්කාගේ මහන මැෂිම ඇති නිසා මා දුටු ගවුම් මෝස්තරයක් සරලාගේ තරමට මැහැව්වේ, ගවුම්වලට ආසා වුණත් දැන් ගවුම් ඇන්දම පොඩියට පේනවා යැයි සිතන නිසාය. අනික අද දවල් වන විට ප්‍රතිඵල නික්තු වනු ඇත, ඒ වෙනුවෙන් පොඩි තෑග්ගක් දීමට තරම් සරලා වටිනවා යැය මට සිතේ. ඇඟ දෙපසින් පපුවට පහළ සිට උකුළ දක්වා පමණ ගවුමට උඩින් බීක්කු අල්ලා ලේස් කර ඇති, හීන් රැලි තැබූ රෝසමල් වැටුණු ළා නිල් පැහැ ගවුමට ඇය තවත් සුන්දරය. “සරලා අඵ්රොඩිටේ වගේ දැන්නම්” “මොකක් වගේ?” “වීනස් වගේ කියලා කිව්වේ, වීනස්ගේ ග්‍රීක දේවතාවිය තමා අඵ්රෝඩිටේ, ආදරයට සහ සුන්දරත්වයට අධිපති දෙවඟන”සරලාව නැවතත් රතු වෙයි, කියවා ගැනීමට අපහසු සිතුවමක් බවට පත් වෙයි.

සරලා කෙදිනක හෝ අත්නොහරින්නට සේ මා වැළඳනෙ සිටී, කම්මුල් හරහා ගලා විත් මගේ උරහිස දිගෙ උණුසුම්ව ගලා යන කඳුළුවලටත් වැඩිය ඇගේ වැළඳගැනීම උණුසුම් ය. බලාපොරොත්තු වූ සේම ඇය සරසවි වරම් ලබාගෙන ඇත. “මිස් නිසා තමයි නැත්තං මටත් හේන් කොටන්න තමා වෙන්නේ” ඇය ඉකිගැසීම අතරින් කියයි. “මිස් ගේ කඳුළු රස්නෙයි” ඇයි කඳුළු පිසගනිමින් කීවේ මගේ දෑස දෙස බලාගෙනමය. “මං අම්මට කියලා එන්නම් මිස්” යැයි කියා ඇය කිසිත් කියන්නට පෙර දිවයන දෙස අහේතුක නුමුත් සුපුරුදු හුදකලාවෙන් බලා සිටිනු හැර කළ හැකි දෙයක් නොවීය. ඇගේ අවපැහැ ගැන්වුණු දැළි ගෑවුණු කලක් කහපාටට තිබුණු පැරණි ගවුම මගේ ගමන් මල්ල උඩ සිට නිසොල්මනේ මා දෙස බලා සිටී.

පසුදා උදෑසන කාමරයට දිව ආ සරලා තාමත් ඇඳ මත සිටි මා වෙතට සුබපැතුම් පතක් වැන්නක් දී දිවගියාය. ඒහි ඇතුළත ස්තුතියෙන් පිරි කවිපන්තියක් විය. ඊට අමතරව ඒ තුළ හතරට නැමූ ෆුල්ස්කේප් කොලයක් විය. දවස් කීපයක්ම ඇය, “මිස් අරක බැලුවදැ”යි අසන සෑම විටම මා කීවේ “ඒක ලස්සන කවියක් දරුවෝ, මං අරක පස්සේ බලන්නම්කො තාම වැඩවල හිරවෙලා නේ මං” කියා පමණි.

ඇය සරසවියට ඇතුළත් වන්නට යන දිනයේ කාමරයට පැමිණ වැඳ, සීතල වැළඳගැනීමකින් පසු ඇගේ නලලත මගෙන් උදුරාගත් සීතල සිප ගැනීමක් ගෙන පිටව ගියාය. 

සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

  සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය ·          පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. ·          කණ්ඩකාව්‍ය ගණයට අ...