පූ.ව්‍ය.ව 2500 දී පමණ භාරතයට ආවා වූ වෛදික ආර්යයන් විසින් වන්දනාවට ලක්
කළා වූ ඉන්ද්‍ර වරුණ අග්ණි ඈ දෙවියන් ට ස්තූති කිරීම සේ මැ යාඥා කිරීම විෂයෙහි බැඳ
පද්‍ය ඡන්දසානුගත වැ බැඳී. මෙහි ලා ඡන්දස් යනු කුමක් දැ යි පැහැදිලි කරගත යුතු යැ.
සාමාන්‍ය වහරෙහි ලා ඡන්දස් යනු එක් පාදයකැ එක්තරා නිශ්චිත අක්ෂර සංඛ්‍යාවක් සහිත
වැ එවන් පාද සතරකින් යුතු මිණුමකැ. එම අක්ෂර සංඛ්‍යාව ලඝු ගුරු සේ වුව දු ඒ යෙදීමේ
විශ්චිත ක්‍රමයක් නැත්තේ, හුදු නියමිත අක්ෂර සංඛ්‍යාව එක් පාදයකැ තිබීම ප්‍රමාණවත්
යැ. වෘත්ත යනු කිසියම් ඡන්දසක් තුළැ නිශ්චිත පිලිවෙලකට පිහිටන
ලහු ගුරු පිහිටීමක් අනුව සෑදූ මිණුමකැ. මේ අනුව ඡන්දස මතැ වෘත්ත සාදාගැනීම කළ හැති
බව නාට්‍යශාස්ත්‍රය දක්වා යි.
කෙසේ වුවත් වෛදික සූක්ත
රදනයේ දී ඡන්දස් භෘවිත කර ඇති ක්‍රමයේ සුලු වෙනස් කමක් දු දැක්ක හැකැ. එනම් එහි ලා
පාදයෙන් පාදය ගැණැ ඡන්දස මිණීම ට වඩා සමස්ත පද්‍යෙය් මැ අක්ෂර ගණන ගැනැ ඡන්දස
තීරණය කිරීම කරන්නේ යැ. තව ද මෙහි ලා නැවත වරක් දැක්විය යුතු වනුයේ මේ ඡන්දස් හි
ගණිනු බලන්නේ මාත්‍රා ගණන නො ව අක්ෂර ගණන වන බව යැ. තව ද මෙහි දී මවිසින් ප්‍රස්තාර
කිරීම සඳහා භාවිත කරනුයේ ජාත්‍යන්තර වැ දු භාරතයේ දු භාවිත වන ප්‍රස්තාර ක්‍රමය වන
සංයුක්තාක්ෂරයක ට පූර්වයෙන් පිහිටි ලඝු අක්ෂරය සහ එය ගැණැ ගුරක් ලෙස සැලකීමේ ක්‍රමය
වන බව යැ. තව ද ගුරක් දැක්වීම පිණිස කෙලින් ඉරක් ද ලඝුව සඳහා වක් ඉරක් ද මෙහි ලා
ප්‍රයෝගිත යැ. (විද්‍යතෙ _U_ කශ්චිද්ධිත්වා _ _ _ _)
වෛදික සාහිත්‍ය තුළැ බහුල වැ භාවිත වූ
ඡන්දස් වර්ගය දිව්‍ය ඡන්දස් නමින් හඳුන්වන්නේ ඡන්දස් හතක් දක්නව ලැබේනේ යැ. පෙර කී
ලෙස මේ ඡන්දසයන් ගේ එක් පාදයකට එන අක්ෂර ගණන අනුව පිළිවෙල කිරීම ඵෘසු ව නුමුත්
සමස්ථයක් ලෙස සැලකූ විට පාද හතරෙහි මැ එකතුව සලකා ඡන්දස මණීනු ලැබේ. පහත වරහණින්
ගුණ කරමින් දක්වා ඇත්තේ පාදයක සාමාන්‍ය යෙන් තිබිය යුතු වන අක්ෂර ගණන වන අතර
පිටින් දක්වා ඇත්තේ සම්පූර්ණ පද්‍යයේ විය යුතු අක්ෂර ගණන යැ.
- ගායත්‍රී (6*4) 24
- උෂ්ණික් (7*4) 28
- අනුෂ්ටුප් (8*4) 32
- බෘහතී (9*4) 36
- පඞ්ක්තී (10*4) 40
- ත්‍රිෂ්ටුප් (11*4) 44
- ජගතී (12*4) 48
~ ගායත්‍රී,
ඍග්වේදයේ ආදි මැ පද්‍ය ආරම්භ වන්නේ ද ගායත්‍රී ඡන්දසිනි. නුමුත් මෙහි ලා
දැක්විය යුතු කරුණක් ඇතැ. එනම් අප විසින් පෙර දැක්වූ ආකාරයේ හයේ පාද හතරක් වෙනුවට
අටේ පාදත්‍රයකින් ගායත්‍රී විරිත දැක්වීම යැ. එය බොහේ විට එසේ මැ වන්නේ, පෙර කී
ලෙස පාදයක අක්ෂර ගණන ට වඩා සම්පූර්ණ පද්‍යයේ අක්ෂර ගණන ගැණීම වන බවට දු එය උදාහරණ
වන්නේ යැ.
අග්නිමීළේ පුරෝහිතම් _U_ _ U_U_ (8)
යඥස්‍ය දේවමෘත්විජම් _ _U_U_U_ (8)
හෝතාරං රත්නධෘතමම් _ _ _ _ U_U_ (8)
මෙහි දී දැක්විය යුතු තවත් වෙසෙස් කරුණ නම් උක්ත පද්‍යයේ කෙසේ වුව දු සෑම
විට ම පාදාරම්භයේ පිහිටි ලඝු ගුරු පිහිටීම සමාන වීමක් නො වන බව යැ. එයට පහද පද්‍ය
උදාහරණ කළ හැකැ.
"යං යඥ නයථා නර
ආදිත්‍යා ඍජුනා පථා
ප්‍ර ව: ස ධීතයේ නශත්"
_ _ U U U _ U _
_ _ _ U U _ U _
U _ U _ U _ U _
~උෂ්ණික්,
එතරම් සංප්‍රයෝගිත නො වන
නුමුත් ඇතැම් තැනැ දක්නට ලැබෙන මෙය බොහෝ විට හමුවනුයේ 16 හා 12 අක්ෂර ගණනි යුතු
පාද දෙකක් වශයෙන් ගෙන අක්ෂර විසිඅට පූර්ණය කර ඇති ආකාරයෙන් යැ.
"ය ඒක ඉද් විදයතේ වසු මතෝථ දාශුෂේ
ඊශානෝ අප්‍රතිශ්කෘත ඉන්ද්‍රෝ අංග"
U _ U _ U U U _ U U U _ U _ U _ (16)
_ _ _ _ U _ U U _ _ _ _ (12)
~අනුෂ්ටුප්,
ජනප්‍රිය සේ ම බහුල වැ
යෙදී ඇති මෙම මාත්‍රා තිස්දෙකක් ඇති ඡන්දස උක්ත සේ මැ අක්ෂර අටේ පාද සතරකින් සකස්
වී ඇතැ.
''අම්බිතමේ නදීතමේ
දේවිතමේ සරස්වති
අප්‍රශස්තා ඉවස්මසි
අප්‍රස්තිමම්බ නස්කෘධි''
_ U U _ U _ U _
_ U U _ U _ U _
_ U _ _ U _ U _
_ _ U _ U _ U _
~බෘහතී,
අක්ෂර තිස්හයක් ඇති මේ
ඡන්දස වනාහී අක්ෂර 16 සහ 20 ලෙස බෙදී ගිය පාද දෙකකින් යුතු වැ හමුවේ. තව
ද මෙහි ලා පැහැදිලි කළ යුතු දෙයක් නම් මේ සෑම ඡන්දසක මැ අවසන එන්නා වූ ලඝු ස්වරය
ගුරක් ලෙස සැලකීම යැ.
"ඉමා බ්‍රහ්ම සරස්වතී ජුෂස්ව වාජිනාවති
යා තේ මන්ම ගෘත්සමදා ඍතාවරි ප්‍රියා දේවේෂු ජුහ්වති"
U _ _ U U _ U U U _ U _ U _ U _ (16)
_ _ _ U _ U U _ U _ U _ U _ _ _ U _ U _ (20)
~පඞ්ක්තී,
මෙහි එක් පාදයකැ දහයක්
ලෙස තබා හතලිහක් වූ අක්ෂර යොදා ඡන්දස කැරැ ඇති බැව් දැක්ක හැකැ.
"ආ විශ්වත: ප්‍රත්‍යඤ්චං ජිඝර්ම්‍ය
රක්ෂසා මනසා තජ්ජුෂේත
මර්යශ්‍රී: ස්පෘහයද්වර්ණෝ අග්නිර්
නාභිමෘශේ තත්වා ජර්භුරාණ:"
_ _ U _ _ _ _ U _ _ (10)
_ U _ U U _ _ U _ _ (10)
_ _ _ U U _ _ _ _ _ (10)
_ U U _ _ _ _ U _ _ (10)
නුමුත් ඇතැම් විට අක්ෂර දාසයේ පේළි දෙකකින් ද අටේ පේළි එකකින් ද යෙදී ඇති
බව දැක්ක හැකැ.
"ආ යාහි කෘණවාම ත ඉන්ද්‍ර බ්‍රහ්මාණි වර්ධනා
යේභි: ශවිෂ්ඨ චාකනෝ භද්‍රමිහ ශ්‍රවස්‍යතේ
භද්‍රා ඉන්දුස්‍ය රාතය:"
_ _ U U U _ U _ _ U _ _ U _ U _ (16)
_ _ U _ U _ U _ _ U U _ U _ U _ (16)
_ _ _ _ U _ U _ (8)
~ ත්‍රිෂ්ටුප්,
ඉතා මැ ජනප්‍රිය ලෙස ඍග්වේදයේ
භාවිත මෙම ඡන්දස උක්ත සේ මැ පාදයකැ අක්ෂර එකොළොස බැගින් යෙදී ඇති අක්ෂර 44කින්
යුතු ඡන්දසකැ.
"යෝ ජාත ඒව ප්‍රථමෝ මනස්වාන්
දේවෝ දේවාන් ක්‍රතුනා පර්යභූෂත්
යස්‍ය ශුෂ්මාද් රෝදසී අභ්‍යසේතාං
නෘම්නස්‍ය මහ්නා ස ජනාස ඉන්ද්‍ර:"
_ _ U _ _ U U _ U _ _ (11)
_ _ _ _ U U _ _ U _ _ (11)
_ U _ _ _ U _ _ U _ _ (11)
_ _ U _ _ U U _ U _ _ (11)
~ ජගතී,
එක්පාදයක අක්ෂර දොළොස
බැකින් ඇති මෙම ඡන්දස දු ප්‍රසිද්ධ ඡන්දසක් ලෙස දැක්විය හැකැ.
"රථේ තිෂ්ඨන්නයති වාජින: පුරෝ
යත්‍ර යත්‍ර කාමයතේ සුෂාරථි:
අභීශුනාං මහිමානං පනායත
මන: පශ්චාදනු යච්ඡන්ති රශ්මය:"
U _ _ _ U U U _ U _ U _ (12)
_ U _ U _ U U _ U _ U _ (12)
U U _ _ U U _ _ U _ U _ (12)
U _ _ _ U U _ _ U _ U _ (12)
මෙසේ දැක්වූ ඡන්දසයන්ට අමතර වැ බහුල වැ භාවිත වූ අක්‍රමවත් ඡන්දස් දු හතරක්
දක්නට ඇත්තේ යැ. එනම්,
- නිචෘත්
- භුරික්
- ස්වරාට්
- විරාට් යන්න යැ.
පාද සතරින් එකක ට පමණක්
අක්ෂරයක් අඩු නම් එය නිචෘත් නම් වේ. එක් පාදයකැ අක්ෂරයක් වැඩි නම් එය භුරික් නම්
වේ. පාද දෙකක යැ අක්ෂර වැඩි නම් එය ස්වරාට් නම් වේ. පාද දෙකක මැ අක්ෂරය බැගින් අඩු
නම් එය විරාට් නම් වේ. මෙම ඡන්දස් දු උක්ත ඡන්දස්වලින් මැ ගොඩනැගෙන්නේ යැ. මේ
පැහැදිලි කරනු වස් ඉන් ඡන්දස හතරක් ගෙන උක්ත අකුමවත් ඡන්සද් උදාහරණ කරන්නේ යැ.
~නිචෘත් -නිචෘද්ගයත්‍රී-
"අග්නි: පූර්වේශිර් ඍෂිභිර්
ඊඩ්‍යෝ නූතනේනරුත
ස දේවාන් ඒහි වක්ෂති"
_ _ _ _ _ U U _ (8)
_ _ _ U _ U _ (7)
U _ _ _ U _ U _ (8)
මෙහි දෙවන පාදයේ අක්ෂරයක් අඩු වන්නේ
අක්ෂර හතක් පමණක් ඇතැ. එනිසා එය නිචෘත් ඡන්දසක් වේ යැ.
~භුරික්
- භුරිගුෂ්ණික්
"අග්නීෂෝමා යෝ අද්‍ය චාමිදං වච: ස්පර්යති
තස්මෛ ධත්තං සුවීර්යං ගාවාං පෝෂං ෂ්වශ්ව්‍යම්"
_ _ _ _ _ _ _ _ U _ U _ _ U _ (15)
_ _ _ _ U _ _ U _ _ _ U _ _ (14)
සමස්ත අක්ෂර ගණන සැලකූ විට මෙහි එක් අක්ෂරයකැ වැඩියක් ඇතැ. ඒ නයින් මෙය
භුරික් ඡන්දසක් වේ යැ.
~ ස්වරාට් -
ස්වරාඩනුෂ්ටුප්
"ජඥානෝ හරිතෝ
වෘෂා විශ්වමා භාති රෝචනම්
හර්යශ්වෝ
හරිතං ධත්ත ආයුධමා වජ්‍රං බාහ්වෝර් හරිම්"
_ _ _ U U _ U _ _ U _ _ U _ U _ (16)
_ _ _ U U _ _ U _ U U _ _ _ _ _ U _ (18)
මෙහි සම්ස්ථය ලෙස ගත් විට පාද දෙකකට අක්ෂරය බැගින් වැඩි වී ඇතැ. එමනිසා මෙය
ස්වරාට් ඡන්දසක් වේ යැ.
~ විරාට්
- විරාඩ්බෘහතී
"අති තෘෂ්ටං වචක්ෂිථෘථෛව සුමනා අසි
ප්‍රපාන්‍යෙ යන්ති පර්යන්‍ය ආසතේ යේෂාං සඛ්‍යෙ අති ශ්‍රිත:"
U U _ _ U _ U _ _ U U U _ U _ (15)
U _ _ _ U _ _ U _ U _ _ _ _ _ U _ U _ (19)
මෙහි ලා පාද දෙකකැ අක්ෂරය බැගින් අඩු වී ඇතැ එනිසා මෙය විරාට් ඡන්දසක් වේ
යැ.
මෙහි දී ඉතා සැකවින්
දක්වා ඇති ඡන්දස් විස්තරය වනාහී වෙසෙසින් ඍග්වේදයේ ඇසුරින් සකසා ඇති අතර අන්‍ය
වේදයන් ගේ ද මීට සමාන භාවිතාවක් බහුල වන නුමුත් ඇතැම් විට මීට වෙනස් වූ ඡන්දස්
භාවිත යැ. ඍග්වේදයේ ම වුව මීට අන්‍ය වූ ඇතැම් දිව්‍යෙතර ඡන්දස් ඈ කීපයක් භාවිත යැ.
No comments:
Post a Comment