මිනිස් ඉතිහාසය තුළ සොයාගත් අතුල්‍ය වූ සොයාගැනීම නම් භාෂාව යැ. එය ට හේතුව මානවයා අද සිටින තත්වය ට දියුණූ වීම ට භාෂාව අවශ්‍යයෙන් ම නො මද පිටිවහලක් වී තිබීම යැ. එය එසේ වුවත් ලොවැ තමන් ට මැ හිමි භාෂාවක් සහිත ජාතීහු ඉතා අල්ප වෙත්. එම අල්පය අතරැ සිංහලයා ද සිටී. වර්ෂ දෙදහස් තුන්සියක පැහැදිලි ඉතිහාසයක් ඇති සිංහල භාෂාවේ ප්‍රභවයේ සිට වත්මන් ස්වරූපය තෙක් වර්ධනය වීමෙහි ලා සංස්කෘත සහ ප්‍රාකෘත (පළමු ප්‍රාකෘතය වන පාළිය ද සමග) විශේෂ ස්ථානයක් භජන කරයි.
එම නිසාවෙන් සිංහල භාෂාව තුළ දක්නට ලැබෙන සකු ශබ්ද ගණනින් බොහෝ වන්නේ යමෙක් ඒ පිළිබඳ විචාරවිවරනය කරන්නේ නම් එහි දී සංස්කෘත ශාස්ත්‍ර පිළිබඳ දැනුම අවශ්‍ය අඞ්ගයක් ව්නනේ යැ. මෙහි ලා ශාස්ත්‍ර යනු කුමක් ද යන්න පිළිබඳ ඉතා සැකවින් දැක්වීම වටින්නේ යැ යි හඟිමි. ශාස්ත්‍ර යනු මෙහි දී ව්‍යාකරණය සලකා ඍග්වේදය ට ලියැවුණු පදපාඨයන් ප්‍රාතිශාඛ්‍යයන් ගේ පටන් ශික්ෂා, නිරුක්ති, ව්‍යාකරණ, මහර්ෂි පාණිනි කෘත අෂ්ටාධ්‍යායී සහ ඒ මැ ආධාරභූත වූ සියලු ව්‍යාකරණ කෘතීන් සේ මැ බර්තෘහරීන් වැනි භාෂාව දෙස දාර්ශනික දෘශ්ටියකින් බැලූවන් ගේ කෘති ආදි සියල්ල මැ ගැණෙන අතර මෙහි ඇති ප්‍රාමාණිකත්වය වන්නේ මෙම කෘතීන් ගේ මූලාරම්භය සංස්කෘතය මෞඛික භාෂාවක් වශයෙන් වඩාත් ව්‍යාප්ත වැ පැවති යුගයේ පටන් අද දක්වා ක්‍රමයෙන් වර්ධනය වෙමින් ක්‍රමවත් විධියක් අනුව පවතින්නා වූ නිසාවෙන් යැ. මෙම ක්‍රමය තුළ ඉදිරිපත් කෙරෙන කරුණු බොහෝවක් සම්බන්ධ වන්නේ සංස්තෘතියේ ඉතිහාසය සමගින් වන නිසාවෙන් එම කරුණු විද්‍යාත්මක භාවයෙන් ද අඩුවක් වන්නේ නැතැ. සකුව පිළිබඳ පරීක්ෂණ කළා වූ අපරදිග උගත්හූ පවා මෙම ශාස්ත්‍රය ට ගරු කළ බව ඔවුහු එය නො ඉක්මවා කටයුතු කිරීමෙන් පැහැදිලි වේ.
සිංහල භාෂාවේ අක්ෂර හැටක් ඇති අතර එයින් දහ-අටක් ස්වරයෝ වෙති. තව ද අ, ආ, ඇ, ඈ, ඉ, ඊ, උ, ඌ, ඍ, ඎ, Ì" Ï, එ, ඒ, ඓ, ඔ, ඕ, ඖ යන ස්වරයන් ගෙන් ඇ, ඈ, එ සහ ඔ යන ස්වරයන් හැරැ අන් සියලු ස්වරයෝ සංස්කෘත ස්වරයෝ වන අතර ඍ, ඎ, Ì" Ï, ඒ, ඓ, ඕ, ඖ ස්වරයෝ පැහැදිලි ව මැ සකු සර වන්නේ යැ. මක්නිසා ද යත් ප්‍රාකෘත හෝ සිංහල ශබ්දයන් ගේ මෙම ස්වර නො යෙදෙන නිසාවෙන් යැ.
කෙසේ වුවත් දැන් දැන් “අළුත්“ ව්‍යාකරණයක් ලියන්නන් විසින් මේ සකුවෙන් ආ ස්වර පිළිබඳ තමන් ට රිසි විවරණ ඉදිරිපත් කරමින් සන්ධක්ෂර හතරක් නො ව දෙකක් පමණක් වේ යැ යි කීම අරඹා ඇතැ. මෙවන් ශාස්ත්‍රය මරා දැමීම් සිදුවන්නෙ ශාස්ත්‍රය නො වේනම් ඒ එ ශබ්දයන් ගේ ඉතිහාසය සහ භාවිතය පිළිබඳ ඒ ශබ්දයන් සැබැවින් මැ අයත් භාෂාව ට අනුව කළා වූ අධ්‍යයනයක් හෝ සොයා ලැබීමක් නොමැති කම නිසා යැ. මෙහි ලා බලාපොරොත්තු වනනේ මෙම සන්ධ්‍යක්ෂර පිළිබඳ ගැටලුව නිරාකරනය කිරීම වන අතර ඒ සඳහා ශාස්ත්‍රාගත සහ ඓතිහාසික වාග්විද්‍යාත්මක සාධක සලකා බැලීම සිදුකෙරේ.
ශාස්ත්‍රය පිළිබඳ සලකා නම් මෙරට සකුව හදාරන්නන් අතර ප්‍රචලිත සාරස්වත ව්‍යාකරණයේ හි ‘එඓඔඖසන්ධ්‍යාක්ෂරාණි‘ ලෙස දක්වා ඇති අතර අප විසින් පැහැදිලි කර ගත යුතු වනනේ මෙය මේ ආකාරයෙන් සිදුවන්නේ කුමක් නිසා ද යන්න යැ. ඒ පිළිබඳ ශාස්ත්‍රයන් ගේ අදහස් හමුවන තැනක් නම් ස්වරයන් ගේ ගුණ වෘද්ධි පිළිබඳ දක්වන තැන යැ. මෙම ගුණ වෘද්ධ වීම සන්ධි කාර්යයේ දී ඉතා මැ වැදගත් විධියක් වන අතර එය අද දක්වා ම ප්‍රායෝගික වැ භාවිත වන්නත් ද වේ.
මහර්ෂී පාණිනි විසින් ‘ආදෙඞ්ගුණ#‘ ලෙස අ, එ, ඔ, අර් සහ අල් ගුණ ස්වර වශයෙන් දක්වා ඇති අතර ‘වෘද්ධිරාදෛච්‘ ලෙස ආ, ඓ, ඖ, ආර් සහ ආල් වෘද්ධි සව්ර වශයෙන් දක්වා ඇතැ.
ඉ > එ බව ට ගුණ වේ
උ > ඕ බව ට ගුණ වේ එමෙන් මැ
එ > ඓ සහ
ඕ > ඖ වන්නේ වෘද්ධි වීමෙන් යැ. මෙහි දී සිදුවන්නෙ ස්වර ශක්තිමත් වීමක් බව මැක්ඩොනල් පඬිවරයා තමන් ගේ Sanskrit Grammar for Student නම් කෘතියේ දක්වා ඇතැ. එම ස්වර ශක්තිමත් කිරීම සඳහා සිදු කරනුයේ සරල ස්වරයන් ට පිළිවෙලින් ‘අ‘ කාරයක් එක් කිරිම බව ද එහි මැ දක්වා ඇතැ. එය සන්ධී කාර්යයේ දී හොඳින් පැහැදිලි වේ.
නර + ඊශ > නර් + අ + ඊ + ශ > නරෙශ
නල + උපාඛ්‍යාන > නල් + අ + උ + පාඛ්‍යාන > නලොපාඛ්‍යාන
මෙමගින් ස්ඵුට වන කරුණ නම් අ සහ ඉ එක් වීමෙන් එ වන බව යැ. එනම් ඒ යනු සරල ස්වරයක් නො වන බව යැ. මේ හැසිරීම අද දක්වා මැ මේ ආකාරයෙන් පවතිනනේ තවත් ඒ බව සනාථ වන්නේ යැ. ‘අළුත්‘ සිංහල ව්‍යාකරණයක් ලියන්න ට යන්නෝ ඉතා පණ්ඩිතමානී වැ කියනුයේ එහි දී සිදුවනු යේ ආදේශයක් මිස ස්වරයා ගේ වෙනස් වීමක් නො වන බව යැ. නුමුත් එහි දී ආදේශය සිදුවන්නේ කුමන ස්වරයා ට ද? ආදේශය නම් එක් සවරයක් වෙනුවෙන් විය යුතු නුමුත් මෙහි දී මුලින් පැවති ස්වර දෙක මැ අවිද්‍යමාන වන්නේ එයින් ගම්‍ය වනුයේ ස්වර දෙක මැ එක් වීමෙන් අනෙක් ස්වරය වූ බව යැ. එසේ නො වේ නම් අදේශ වූ ස්වරය හැරැ අනෙක් ස්වරයා විද්‍යමාන විය යුතු යැ. තව ද එය ආදේශ සන්ධියක් වන්නේ නම් ශාස්ත්‍ර තුළ එය ආදේශ සන්ධි ලෙස නො දක්වා ගුණ සන්ධි ලෙස වෙන මැ සන්ධි විධියක් ලෙසින් දැක්වීම හුදු හේතු විරහිත ක්‍රියාවකැ යි පිළිගැනීම වියරණ හැදෑරූවන් ට නම් කළ නො හැක්කේ නුමුත් ගුණ සන්ධිය ජීවිතයේ කෙදිනකැ හෝ ඇසැ නො ගැටුණු පිරිසක් විසින් මේ සිදුවන්නේ ආදේශයකැ යි ගුණ සන්ධිය ආදේශයක් කිරීමට යත්න දැරන්නන් කෙරෙහි අනුකම්පා උපදවමු.
දැන් විමසිය යුතු වන්නේ ඓතිහාසික වාග්විද්‍යාවට අනුව එ සහ ඔ සන්ධ්‍යාක්ෂර වන ආකාරය යැ. ඒ පිළිබඳ ප්‍රාමාණික සටහන් ආතර් එ. මැක්ඩොනල් පඬිතුමාගේ සහ විලියම් ඩ්වය්ට් විට්නි පඬිතුමා ගේ කෘතීන් තුළ දක්නට ලැබෙන්නේ ඔවුන් දෙනො ගේ මැ නිගමන එකක් මැ දු වන්නේ යැ.
ඔවුන් දෙදෙනා ගේ මැ අදහස වනුයේ එ සහ ඔ යන අක්ෂරයන් අදට ශේෂ වැ ඇති පැරණී මැ ප්‍රාතිශාඛ්‍යය වන ඍග්වේද ප්‍රාතිශාඛ්‍ය යුගය වන විටත් ඒ ආකාරයෙන් මැ උසුරුවා ඇති බව යැ. (බලන්න ඍ.වෙ ප්‍රාතිශාඛයයේ 40 ට විට්නි ගේ ව්‍යාඛ්‍යාව) එය වෛදික ව්‍යාකරණයේ දී (9.පි) මැක්ඩොනල් විසින් ද අනුමත කර ඇතැ. මෙම පඬිවරු සාක්ෂ්‍ය සහිත වැ මෙම ස්වරයන් දෙකෙහි මුල් ශබ්දය වන්නේ ‘අයි‘ සහ ‘අව්‘ (ǎi ǎu) බව දක්වති. එය ග්‍රීක ශබ්ද සකුව ට ඒමේ දීත් සකු ශබ්ද ග්‍රීක බස ට යෑමේ දීත් සිදුවන වෙනස්කම් මගින් සනාත වන බව තව දුරටත් පවසති. ඒ සමග මැ එය විද්‍යමාන වන්නා වූ සාධක ඍග්වේදයේ දැ දැකගත හැකැ.
කෙකය > κηκεοι
ගොණ්ඩ > Γδυδαλοι
Καμηλος > කරමෙලක
Ωρα > හොරා
ග්‍රීක භාෂාව සමග සැලකීමේ දී මෙසේ වෙනස් වූසේ මැ වේදයේ දැ සන්ධී කාර්යයේ දී අ + ඉ ඓ වූ අවස්ථා දක්නට ලැබෙන්නේ යැ.
ප්‍ර + ඉශයු > ප්‍රෛශයු (ඍ.1.120)
අ + ඉන්ද්‍ර > ඓන්ද්‍ර (සා. 1.2.1.45)
මෙමගින් පැහැදිලි වන කරැණ නම් ‘ඒ‘ යනු ‘ඓ‘ හි පශ්චාත්තන රූපය වන බවත් එය භාරතීය ආර්ය භාෂාවන් ගේ සන්ධ්‍යාක්ෂරයක් ලෙස මැ ක්‍රියා කරන බවත් යැ. එය පූර්වෝක්ත අ + ඉ > එ යැ යි සන්ධීවන්නා වූ ප්‍රායෝගික උදාහරණ මගින් වඩාත් හොඳින් පැහැදිලි වන්නේ යැ.
තව ද එ, ඓ සහ ඔ, ඖ අක්ෂරයන් ගේ ඇති වීම ඉකාරයේ පටන් ක්‍රමයෙන් ‘අ‘ කාරය එක් වීමෙන් ශක්තිමත් වීමක් බව පැහැදිලි වන අතර ඉ, එ, ඓ, උ, ඔ, ඖ සඳහා සන්ධීකාර්යයේ දී වන ස්වර සම්ප්‍රසාරණ මගින් ද මෙම ස්වරයන් ගේ නිෂ්පන්න වීම ඉතා මැනවින් පැහැදිලි කරගත හැකැ. මෙතැන් සිට පිළිවෙලින් එය විමසමු.
සන්ධිකාර්යයේ දී ‘ඉයංස්වරේ‘ සූත්‍රෙයන් අන්‍යතර ස්වරයා පර වූ ‘ඉ‘ වර්ණය ට ‘ය්‘ කාරය වේ. එසේ මැ අන්‍ය සව්රයා පර වූ ‘උ‘ වර්ණය ට ‘උවංස්වරේ‘ යටතේ ‘ව්‘ කාරය වේ.
අති + ආනන්ද > අත් + ඉ + ආ + නන්ද > අත් + ය් + ආ + නන්ද > අත්‍යානන්ද
වධු + ආසන > වධ් + උ + ආ + සන > වධ් + ව් + ආ + සන > වධ්වාසන
මෙහි දී සිදුවන්නේ සම්ප්‍රසාරණයෙකැ විරුද්ධෘකාරයකැ. එනම් ස්වරය අර්ධස්වරයක් බව ට පත්වීම යැ. මේ ආකාරයෙන් මැ සන්ධි කාර්යයේ දී ‘එ‘ සදහා ‘අය්‘ වන්නේ ‘එඅය්‘ සූත්‍රයෙනි.
නෙ + අන > න් + එ + අ + න > න් + අය් + අ + න > නයන
මෙයින් ‘එ‘ කාරය ‘අය්‘ වන ආකාරය ඉතා හොඳින් පැහැදිලි වේ. මෙය වඩාත් විමසීමෙන් බලන්නෙකු ට එය කෙසේ සිදුවන්නේ ද යන්න පහත ආකාරයෙන් දැකිය හැකැ.
නෙ + අන
න් + එ + අ + න
න් + එ (=අ+ඉ) + අ + න
න් + අ-ය් (ඉ > ය් - ඉයංස්වරෙ) + අ + න
නයන
මින් පැහැදිලි වන්නේ උක්ත ‘එ‘ කාරය ට ‘අය්‘ වන්නේ එ කාරයේ අග ඇති ‘ඉ‘ කාරය සම්ප්‍රසාරනය වීම නොහොත් අර්ධස්වරයක් වීමෙන් බව යැ. එනම් මෙඉන් පැහැදිලි වන්නේ ‘එ‘ ස්වරය තුළ ‘අ‘ සහ ‘ඉ‘ යන ස්වර ඇති බව යැ.
‘ඔඅව්‘ සූත්‍රාණුසාරයෙන් ‘ඔ‘ කාරය ට ‘අව්‘ වන්නේ පහත පරිදි දැක්විය හැකැ.
භො + අති
භ් + ඔ + අ + ති
භ් + ඔ (=අ+උ) + අ + ති
භ් + අ-ව් (උ > ව් - උවංස්වරෙ) + අ + ති
භවති
මෙහි දී පැහැදිලි වන පරිදි ‘ඔ‘ කාරය තුළ ඇති ‘අ‘ කාරය ට පසුව යෙදෙන ‘උ‘ කාරය ට ‘ව්‘ කාරය ලෙස අර්ධස්වරයක් බව ට පත් වීමෙන් ‘අව්‘ බව ට පත් වන්නේ යැ. මෙයි පෙනී ය්නනේ ‘ඔ‘ කාරය දු සන්ධ්‍යක්ෂරයක් වන බව යැ. මෙය වඩාත් පැහැදිලි වන්නේ ඓ, ඖ සදහා පිළිවෙලන් ආය් සහ ආව් වීම නිසා යැ. එය පහත පරිදි දැක්විය හැකැ.
ඓආය් සූත්‍රෙයන්
නෛ + අක
න් + ඓ + අ + ක
න් + ඓ (=අ+අ+ඉ) + අ + ක
න් + ආ-ය් (අ+අ>ආ+ඉ>ය්) + අ + ක
නායක
ඖආව් සූත්‍රෙයන්
නෞ + ඉක
න් + ඖ + ඉ + ක
න් + ඖ (අ+අ+උ) + ඉ + ක
න් + ආව් (අ+අ>ආ+උ>ව්) + ඉ + ක
නාවික
මෙයින් පූර්වෝක්ත ‘එ‘ සහ ‘ඔ‘ යනු ‘ඉ‘ සහ ‘උ‘ ස්වරයන් ට පිළිවෙලින් ‘අ‘ කාරයක් එක්වීමෙන් සෑදුනා වූ සන්ධ්‍යක්ර බව වඩාත් පැහැදිලි සහ තහවුරු වන්නේ යැ.
නූතන වියරණය ලියන්න ට යන්නන් බහුතරයක් වියරණ දන්නේ නැතැ යි කීමෙන් වරදක් නො වනනේ යැ. දුක ට කරුණ නම් උගැන්ම ට දු උවමනාවක් නැති වීම යැ. විධ්‍යාත්මක වියරනයක් සෑදියු යතු යැ දැන් මේ ඇත්තේ අවිද්‍යාත්මක මෝඩ වියරණයකැ යි කියන්නෝ වූ ‘බුද්ධිමත්-ධීමත්හු‘ අවිද්‍යාත්මක වැ නන්දොඩවත් යැ යි කීම ට මීට වඩා කුමක් නම් සාක්ෂ්‍ය වේ දැ. අප දන්නා වූ විද්‍යාත්මක භාවය නම් යමක ‘විධිය‘ පිළිබඳ අධ්‍යයනය කැරැ ඒ අනුව එහි හැසිරීම සහ පැවැත්ම නිර්ණය කිරීම යැ. එය වර්ධනය කිරීම යැ. අරකේ නම් මෙහෙම නැතැ එනිසා මේකේ මෙහෙම තිබීම අවිධ්‍යාත්මක යැ යි කියා කැලී කැපීම ට යාම නම් අන්ධභක්තිය හෝ මුග්ධත්වය මිස විද්‍යාව නම් නො වන්නේ යැ.
---ඉසුරු උපනාද---
No comments:
Post a Comment