ඊශාවස්‍යමිදං. ලෙස ආරම්භ වීම නිමිත්තෙන් ඊශාවස්‍යොපනිෂදය
හෝ ඊශොපනිෂදය ලෙසෙ හඳුනාගනු ලබන මෙම උපනිෂදය පැරණි ම උපනිෂදයක් ලෙස ද හඳුන්වනු ලැබේ.
එය ට හේතුව වන්නේ මෙය යජුර්වේදයේ හතලිස්වැනි අධ්‍යාය ම වන නිසාවෙන් යැ. එහි පළමු
අධ්‍යාය තිස්නමයක් පුරා කර්මකාණ්ඩය පිළිබඳ කරුණු දැක්වෙන අතර හතලිස්වන අධ්‍යායයේ
ඥානකාණ්ඩය පිළිබඳ අදහස් දැක්වෙන බව දැක්ක හැකැ.
ඉතා කෙටි
උපනිෂදයක් වන මෙහි දක්න ට ලැබෙන්නේ මන්ත්‍ර දහ-අටක් පමණ යැ. නුමුත් මෙම උපනිෂදය
තුළ උපනිෂද් දර්ශනය ට අදාල වන්නා වූ මූලික කරුණු සියල්ල පිළිඳ විස්තර කෙරෙන අතර,
ජීවාත්මන් සහ
බ්‍රහ්මන් යනු එකක් මැ යි දෙකක් නො වේ යන මතය වැනි මතයන් මේ තුළ වඩාත් විශෙෂ
රූපයෙන් දැක්ක හැකැ. එමෙන් මැ කර්ම සහ ඥානෙමාර්ගය පිළිබඳ දු වඩාත් පතිරුණු
ආකාරයකින් අදහස් ඉදිරිපත් වන ආකාරය දැක්ක හැකැ.
1. ඕං ඊශා වස්‍යමිදං
සර්ව යත්කිඤ්ච ජගත්‍යාම් ජගත්
තෙන ත්‍යක්තෙන
භුඤ්ජීථා මා ගෘධ: කිස්‍යස්විද්ධනම්.
අන්වය -
ජගත්‍යාං යත් කිං ච ජගත් සර්වං ඉදං ඊශා වාස්‍යම්. තෙන ත්‍යක්තෙන භුඤ්ජීථාඃ කස්‍යස්විද්
ධනං මා ගෘධ:
අර්ථය -
විශ්වයේ කිසියම් චරාචර දෙයක් වේ ද ඒ සියල්ල පරමේශ්වර විසින් වාසය කෙරේ. එම නිසා
අත්හැරීමෙන් පරිභොග කරනු කිසිවෙකු ගේ ධනය කෙරෙහි ආශා නො කරනු.
විස්තරය - මෙය උද්ගීතයෙන් ආරම්භ කර ඇත්තේ නමස්කාරාර්ථයෙන් යැ. මක්නිසා ද යත් උපනිෂදයන් හි
උද්ගීතය නොහොත් ඕම් කාරය පරබ්‍රහ්ම පිණිස වූ විශේෂිත නාමයක් වශයෙන් දක්වා ඇතැ. ප්‍රමාණ
වශයෙන්,
ඡාන්දෝග්‍යොපනිෂදාරම්භයේ “ඔමිත්‍යොතදක්ෂරමුද්ගීථමුපාසීත...“
ලෙස දක්වන තැනැ ආදි ශඞ්කරාචාර්යයෝ
තම භාෂ්‍යයෙහි උද්ගීථ නොහොත් ඕම් කාරය බ්‍රහ්මන් පිණිස භාවිත නමක් වන්නේ එය උපාසනා
කළ යුතු යැ යි දක්වති.(Chandogyopanishad
Sanuwad Shankarabhashyasahit p. 23-25)
මාණ්ඩුක්‍යොපනිෂදයේ “ඔමිත්‍යෙතදක්ෂරමිදං සර්වං තස්‍යොපව්‍යාඛ්‍යානං
භූතං භවද්භවිෂ්‍යදිති සර්වමොඞ්කාර එව“ (Ishadi Nau Upanishad
shankarabhashyartha p. 536) ලෙස මේ අක්ෂරය ම සියල්ල වන්නේ යැ. අතීත අනාගත සහ
වර්තමානයේ යම් කිසිවක් වේ ද ඒ සියල්ල මැ එහි ව්‍යාඛ්‍යාව මැ වේ. එම නිසා මේ සියල්ල
මැ ඕම්කාරය මැ වේ.
සියල්ල මරමේශ්වර විසින් වාසය කෙරෙන්නේ වේ නොහොත් “ඊශා
වාස්‍ය.“ යනු අන්තර්යාමී ස්වරූපයෙන් පරමාත්මන් හෙවත් බ්‍රහ්මන් සියලු ජීවාජීව
වස්තූන් හී පැතිර පවතිනා බව යැ. මෙය භගවත් ගීතාවේ, “මයා තතමිදං සර්වං ජගදව්යෙඅක්තමූර්තිනා - මත්ස්ථානි සර්වභූතානි න චාහං
තෙෂ්වවස්ථිතඃ.
(Goyandaka p. 228 “චාතුර්වර්ණ්යං මයා
ස්රුෂ්ටං ගුණකර්මවිභාගශ: - තස්‍ය කර්තාරපි මාං විද්ධ්‍යකර්තාරමව්‍යයම්. 4.13, න මාං කර්මණි ලිම්පන්ති න මේ කර්ම ඵලො ස්පෘහා - ඉති මාං
යො‘භිජානාති කර්මභිරින ස බධ්‍යතෙ... 4'14) ලෙස මනස ඉන්ද්‍රියාදියේ හි විෂය නො වන අව්‍යක්ත රූපයෙන් මම (පරමාත්මන්)
මේ සමස්ත විශ්වයේ හි ව්‍යාප්ත යැ. මම ව්‍යාප්ත නො වූ වස්තුවක් නැතැ. යැ යි දැක්වේ.
(වැඩි විස්තර සඳහා ශඞ්කරභාෂ්‍ය බලන්න) එනම් ලොකයේ පවතින්නා වූ යමක් වේ ද ඒ සියල්ලේ
තථ්‍යස්වභාවය නොහොත් යථාභූතය නම් පරමාත්මන් මැ වන්නේ යැ.
අතහැරීමෙන් පරිභෝග කරනු නොහොත් “ත්‍යක්තෙන භුඤ්ජීථාඃ“.
යනුනෙහි අර්ථය වන්නේ උක්ත ලෙස සියල්ල තුළ පවතින යථාස්වභාවය වන්නේ පරමාත්මන් නම්
සියල්ල යථාර්ථ වශයෙන් එකක් මැ වන්නේ යැ. එම නිසා දෙයකට ආශාකිරීම සුදුසු නො වන්නේ
යැ. සියල්ල මැ තමා වන්නේ තමා සියල්ල ම වන්නේ යන්න එහි අර්ථය යි. එනිසා වෙන් සියල්ල
කෙරෙහි සමදෘෂ්ඨියක් පැවැත්විය යුතු අතර පරිභෝග කිරීම කළ යුතු මුත් කිසිවක බැඳීම නො
විය යුතු අතර සියල්ලේ යථාර්ථය දෑනැ සියල්ල අතහැර හුදු පැවැත්ම විෂයෙහි පරිභෝග
කිරීම කළ යුතු යැ. මෙම පරිභෝගී ස්වභාවය පිළිබද යම් අදහසක් ගීතාවේ භගවාන් ගේ
අකර්තෘක ස්වභාවය දක්වන්නා වූ තැනින් ගත හැකැ.
2. කුර්වන්නෙවෙහ කර්මණී ජිජීවිෂෙච්ඡතං සමා:
එවං ත්වයි නාන්‍යෙථෂො‘ස්ති
න කර්ම ලිප්‍යෙත නරෙ.
අන්වය -
ඉහ කර්මණි කුර්වන්නෙව ශතං ජිජිවිෂෙත්. එවං ත්වයි නරෙ ඉතඃ අන්‍යතා නාස්ති කර්ම න
ලිප්‍යාතෙ
අර්ථය - මෙම ලෝකයේ කර්ම කරමින් සියක් වර්ෂයක් ජීවත් වීම
ට ආශා කරන්න. මේ ආකාරයෙන් ජීවත් වනු පාපයන් ආලේප වන අන්‍යාකාරයකින් නො වෙයි.
විස්තරය - මෙහි ලා “කර්මණි.“ ලෙස දක්වා ඇත්තේ හුදු සියලු
කර්ම නො වැ ඊශ්වරාර්ථ කර්ම හෙවත් යඥ කිරීම යි. ආදි ශඞ්කාරාචාර්ය මතය වන්නේ මෙහි දී සංන්‍යාසී ජීවිතයක් ජීවත් විය නො හැකි මිනිසුන් විෂයෙහි, සියක් වර්ෂයක් ජීවත් වීමට ආශාවක් මිනිසෙකු තුළ වේ නම්
කර්මයන් ආලේප නො වී වැසිය යුතු නම් අග්නිහොත්‍රාදී කර්ම කරමින් වාසය කළ යුතු බව යැ (Ishadi Nau
Upanishad shankarabhashyartha p. 28-29 “යෙන
ප්‍රකාරෙණාශුභං කර්ම න ලිප්‍යතෙ කර්මණා න ලිප්‍යත ඉත්‍යර්ථඃ. අතඃ ශාස්ත්‍රවිහිතානි
කර්මාණ්යග්නිහොත්‍රා§නි කුර්වන්තෙව ජිජීවිෂෙත්)
මෙම උපනිෂදයේ ලා පළමු මන්ත්‍රයෙන් සංන්‍යාසී වූ
ආත්මාවබෝධය ලැබීමට මාර්ගගත වූ කෙනෙකුන් විසින් ආත්මන් පාලනය කළ යුතු ආකාරයක් එසේ
කළ නො හැක්කා විසින් ඊහ්වරාර්ථ කර්ම කරමින් පැවතිය යුතු ආකාරය යැ. මෙයට සමාන
අදහසකින් හෙබි මන්ත්‍රයක් ශ්‍රීමද්භගවද්ගීතාවේ එන්නේ යැ.
“යඥාර්ථාත්කර්මණො.න්‍යත්‍ර ලොකො.යං කර්මබන්ධන:
තදර්ථං කර්ම කෞන්තෙය මුක්තසඞ්ගඃ සමාචර. ගීතා3.9 “
මෙහි අර්ථය නම් යඥාර්ථක කර්ම කරන්නා කර්මබන්ධනයට අසු
නොවන බවත් අනෙක් කර්ම කරන්නා එයට අසුවන බවත් යැ. මෙය ට භාෂ්‍ය සපයන්නා වූ ආචාර්යයෝ
තෛත්තරීය සංහිතාවේ එන්නා වූ “යඥො වෛ විෂ්ණුඃ.“ යන්න උල්ලේඛ කරති. එනම් යඥය මැ
විෂ්ණු හෙවත් පරමාත්මන් වන්නේ යැ යි ශ්‍රැතිය වන්නේ යැ. ඒ නයින් යඥාර්ථක කර්ම යනු
ඊශ්වරාර්ථක කර්ම මැ වන්නේ යැ.
මේ ආකාරයෙන් පළමු මන්ත්‍රය ඥානමාර්ගය සහ දෙවන මන්ත්‍රය
ඥානමාර්ගයට පූර්වාගම වු කර්මමාර්ගය පිළිබ`ද දක්වා ඇතැ. නුමුත් ශංකරාචාර්යයන් සෑම විට ම පාහේ ඥානමාර්ගයේ ඇති අර්ථවත්
භාවයත් සාධනීය භාවයත් පිළිබඳ කරුණු දැක්වීමට යුහුසුලු වූ බව එතුමානන් ගේ භාෂයයන්
හී දී දැක්ක හැකැ. (ඡාන්දෝග්‍ය උපනිෂදයේ ශඞ්කරාචාර්යයන් ගේ සම්බන්ධ භාෂ්‍ය සහ බ්‍රහ්මසූත්‍රයේ
අධ්‍යාසාධ්‍යාය භාෂ්‍ය බලන්න.)
මෙහි දී දැක්ක හැකි විශේෂ ලක්ෂනයක් නම් මෙම උපනිෂදයේ දී කර්මමාර්ගය පවා වර්ණනා කර තිබීම යැ. පැරණි ගද්‍යොපනිෂදයක්
වන ඡාන්දෝග්‍ය උපනිෂදයේ දු පළමු අධ්‍යාය ඕම්. කාරය පිළිබඳ කෙරෙන දැක්විම(Chandogyopanishad
Sanuwad Shankarabhashyasahit p. 18-98) සමග මෙය ද සලකා
නම් මේ ද්විත්වය තුළ මැ දක්නට ලැබෙන්නේ යම් ආකාරයක කර්මමාරගයේ සිට ඥානමාර්ගය ට
පැමිණිම යැ යි කිව හැකැ. කෙසේ වුවත් මෙහි ලා ඉදිරිය ට මෙම මාර්ගද්වය පිළිබඳ කරුණු දැක්වෙන්නේ
යැ.
3. අසුර්යා නාම තෙ ලොකා අන්ධෙන තමසාවෘතා:
තාංස්තෙ ප්‍රෙත්‍යාභිගච්ඡන්ති යෙ කෙ චාත්මහනො ජනා:
තාංස්තෙ ප්‍රෙත්‍යාභිගච්ඡන්ති යෙ කෙ චාත්මහනො ජනා:
අන්වය -
අන්ධෙන තමසාවෘතාඃ අසුර්යා නාම ලොකාඃ. යෙ කෙ චාත්මහනො තාන් ජනාඃ ප්‍රෙත්‍ය
තෙ.භිගච්ඡන්ති.
අර්ථය -
අදර්ශනාත්මක අඥානාන්ධකාරයෙන් ආච්ඡාදිත හෙවත් වැසුණු ලෝකය අසුර ලොකය නම් වේ.
ආත්මඝාතක වන්නා වූ යමෙක් වේ ද එම ජනයා මරනයෙන් පසු එ(ම අසුර ලෝකය ට) පිවිසෙති.
විස්තරය -
මෙහි අසුර ලොකය ලෙස ඇතැමෙකු කෘමි සහ පණුවන් ආ§ සත්ත්ව ලෝක සලකන්නේ මුත් ආÈශඞ්කරාචාර්යයෝ දේව්ලොව පවා අසුර ගණයේ
සලකති. (Ishadi
Nau Upanishad shankarabhashyartha p. 31 “සුර්යාඃ පරමාත්මභාවමද්වයමපෙක්ෂ්‍ය දෙවාදයො.ප්‍යසුරාස්තෙෂාඤ්ච
ස්වභූතා ලොක අසුර්යා නාම“) එමෙන් මැ කර්මඵලයන් ලබන්නා වූ ලෝකය ලෙස ද එය හඳුන්වා
ඇතැ. (-do- “තෙ ලොකාඃ කර්මඵලානි“)
එනම් මෙහි දී
අසුර ලොකය
ලෙස දක්වා ඇත්තේ බ්‍රහ්මන් සමග එක් නොවූවා වූ සියලු මැ ජීවීන් විසින් වාසිත වූ
පූර්ණ බ්‍රහ්මාණ්ඩය මැ බැව් පැහැදිලි වේ.
මෙහි අදර්ශනාත්මක සහ අඥානාන්ධකාරයෙන්
වැසුණු ආදී ලෙස ගෙන
ඇත්තේ පරමාත්මන් ගේ ස්වභාවය හෙවත් තමා තුළ පවතින්නා වූ සැබෑ යථාභූතය පිළිබඳ
පවතින්නා වූ අනවබෝධය සහ එය මැ නො දැකීම යැ.
ආත්මය නසන්නා ලෙස මෙහි දක්වා ඇත්තේ
ආත්මය නො පිළිගන්නා අනාත්මවාදී වූ පිරිස යැ. ඔවුහු ආතමන් ගේ අජරාමර වූ ස්වරූපය පිළිබඳ
වූ නො දැන්ම නිසා මේ ස්වභාවය ට පත්ව ඇතැ. මෙය වනාහී උක්ත අඥානයේ සහ අදර්ශනයේ
ඵලරූපය වන්නේ යැ. එමෙන් මැ මේ පිරිස පාපක්‍රියාවන් කිරීමෙහි යෙදෙනුයේ සත්‍ය
ස්වභාවය පිළිබඳ ඇති අඥානී ස්වභාවය නිසාවෙන් යැ.
මේ ආකාරයේ ආත්මඝාතී වූ පුද්ගලයා
මරණයෙන් පසු නැවතත් මේ සංසාරය ට මැ පැමිණෙන්නේ යැ. මෙහි දී උක්තාතාරයෙන්
අසුර ලෝකය යනු කෘම්‍යාදීන් ගේ ලොකය යැ යි සලකන්නේ නම්,
මරණයෙන් පසු
එම යෝනීන් ගේ ඉපිද එයින් දුකට පැමිණෙන්නේ යැ යි අර්ථ ගත යුතු යැ. නුමුත්
ශඞ්කරාචාර්ය මතය අනුව යා නම් එයින් අදහස් වන්නේ මිනිසා නැවතත් මේ සංසාරය ට මැ
පැමිණෙන බව යැ. එනම් විමුක්තියක් නො ලබන බව යැ. මෙය ට සමගාමී අර්ථයක් සහිත ශ්ලෝකද්වයක් භගවද්ගීතාවේ එන්නේ යැ.
“තානහං
ද්විෂතඃ ක්‍රෑරාන් සංසාරෙෂු නරාධමාන්
ක්ෂිපාම්‍යජස්ත්‍රමශුභානාසුරීෂ්වෙව
යොනිෂු. ගීතා.16'19
ආසුරීං
යොනිමාපන්නා මූඪා ජන්මනි ජන්මනි
මාමප්‍රාපෛහ්ව
කෞන්තෙය තතො යාන්ත්‍යධමාං ගතිම්. ගීතා.16'20“
මා කෙරෙහි (භගවාන් හෙවත් භගවාන්
විසින් ±ක්වූවා වූ
මාර්ගය) සහ සාධුපුරුෂයන් කෙරෙහි වෛර කරන්නා වූ, ක්‍රෑර වූ,
අශුභ හෙවත්
පාපකර්මයන් කරන්නා වූ මනුෂයයන් ජන්මයෙන් ජන්මය ව්යෙආඝ්‍ර සිංහ ආදී වූ ක්‍රෑර
යෝනීන්ට ම යවමි.
ඒ අඥානයෝ ජන්මයක් ජන්මයක් පාසා අසුර
ලෝකයේ ම උපදින්නෝ එම යෝනීන් හි අධමගති මැ ප්‍රාප්ත කරන්නේ මා (පරමාත්මන්) ප්‍රපාත්
නො කරන්නේ යැ. මෙහි දී දක්න ට ලැබෙන්නේ ක්‍රෑර ලෙස හැසිරෙනවුන් සිංහ ආදී වූ ක්‍රෑර
ජන්මයන් හී ඉපිද කෙදිනක හෝ තමා ගේ විමුක්තිය ලැබිය නොහැකි ලෙස සංසාරයේ වැටෙන බව
කියැවෙන්නේ නුමුත් මෙහි සමස්ථාර්ථයවන්නේ තමා ගේ තථ්‍ය ස්වරූපය නො දන්නා වූ පාපකර්ම
කරන්නා වූ මනුෂයයා අසුර ලෝකයේ ඉපදෙනා බව යැ. නොහොත් මේ සංසාරයේ මැ වැටෙනා බව යැ.
-මතු සබඳී-
----ඉසුරු
උපනාද----
No comments:
Post a Comment