අභේගිරිය සංස්කෘත ශිලාලේඛනය. Abhegiri Sanskrit Graffiti.

ප්‍රවේශය

යුගයෙන් යුගයට විවිධ භාෂා මතුවීම සහ වියැකී යාම ඉතිහාසය පුරා ලෝකයේ සියලු දේශයන් හී දැක්ක හැකැ. මහා සංස්කෘතියක් හිමි භාරත වර්ෂයේ ද එහි ආභාසය යටතේ වර්ධනය වූ හෙළයේ ද එය ඒ ආකාරයෙන් මැ සිදු විය. මෙසේ භාෂාවන් ගේ නැගීම සහ බැසීම විවිධ හේතූන් නිසා සිදුවන අතර බොහෝ දෙනා ගේ පිළිගැනීම අනුව මෙරට තුළ හෙළබසේ නැගීම මහේන්ද්‍රාගමනයෙන් සිදු වූ අතර ඒ සමග පැමිණි ථෙරවාදී බෞද්ධ ධර්මයේ මාධ්‍ය භාෂාව වූ පාලි භාෂාවේ ආගමනය සේ මැ ව්‍යාප්තිය දු එයින් මැ ආරම්භ විය.
පාලිය යම් සේ ථෙරවාදීන් විසින් තමන් ගේ මාධ්‍ය භාෂාව ලෙස තොරාගත්තේ ද මහායානිකයෝ තමා ගේ මාධ්‍ය භාෂාව ලෙස එතෙක් බ්‍රාහ්මණයන් ගේ අධිකාරයේ පැවති දේවවාණීය වූ සංස්කෘතය තොරාගත්තෝ යැ. මහායානිකයන් විසින් පුරුදකළා වූ වර්ණනාතිශයෙන් සහ දාර්ශනික න්‍යායවිධින් ගෙන් ආඪ්‍ය වූ සූත්‍ර සාහිත්‍යයට මාධ්‍ය භාෂාව ලෙස සංස්කෘතය ඉතා හොඳින් ගැලපී ගියේය.
මහායාන සම්ප්‍රදායේ ආගමනයත් සමග ඔවුන් ගේ මාධ්‍ය භාෂාව වූ සංස්කෘතයේ ද සැලකිය යුතු න්‍්‍යාප්ත වීමක් සිදු වු අතර මෙරට සිටි මහායාන අදහස් දැරූවෝ ද තමන් ගේ මාධ්‍ය භාෂාව ලෙස සංස්කෘතය මැ තෝරාගත්හ. ඒ හේතුවෙන් සකුවෙන් ලිවීම සහ කියවීම ආරම්භ වූ අතර නිදහස් මාධ්‍ය භාෂාවක් ලෙස වර්ධනය වීමේ ලක්ෂණ පහලවන්නට වීය. එහි මූලිකාඩ්ගයක් වශයෙන් හඳුනාගත හැකි වන්නේ මෙරට බිහි වූ සංස්කෘතාභීලේඛන යැ. මක්නිසා ද යත් යම් භාෂාවකින් ප්‍රසිද්ධ ලේඛනයක් ලියැවෙන්නේ එම භාෂාව කියවා තේරුම්ගත හැකි සැලකියි යුතු පිරිසක් සිටින සමාජයක පමණක් නිසාවෙන් යැ.
සංස්කෘතයෙන් ලියැවී තිබීම නිසාවෙන් මැ වුවත් උල්ලේඛනීය වන්නේ සේ මැ අන්තර්ගත කරුණු අතින් ද සංස්කෘත ශිලාලේඛන වැදගත් ස්ථානයක් භජනය කරන්නේ යැ. ඒ අතරින් කුච්චවේලි ශිලාලේකනය, තිරියාය ශිලාලේඛනය සහ මිහින්තලේ ත්‍රිකායස්තව ලිපිය ආදිය තත්කාලීන සමාජවිශ්වාසයන් සහ බෞද්ධ ආකල්ප මෙන් මැ මහායානයේ ස්වභාවය ආදී විෂයන් ගෙන් උල්ලේඛනීය වන අතර බෞද්ධ ආරාමයන් ගේ ස්වභාවය සහ පරිපාලනය පිළිබඳවත් එයින් ලාඩ්කීය ජනසමාජය සහ විහාරාරාම අතර පැවති සම්බන්ධය සේ මැ ජනජීවිතය පිළිබඳව දු වැදගත් කරුණු රැසක් උකහාගත හැකි වූ ශීලාලේඛනයක් වන්නේ ජේතවන සංස්කෘත ශිලාලේඛනය නමින් හඳුන්වන අභයගිරිපරීශ්‍රයෙන් හමු ව ූශිලාලේඛනය යැ. මෙහි දී විමසා බැලෙනුයේ මෙම ශිලාලේඛනය මගින් තත්කාලීන විහාරාරාම පරිපාලනය පිළිබඳ අදහසක් ගැනීම විෂයෙහි ඇති උපයෝගීතාව යැ.

අභයගිරි සංස්කෘත ශිලාලේඛනය හැඳින්වීම සහ අන්තර්ගතය.

  ව්‍ය.ව දසවැනි සියවසට පූර්ව යුගයකැ යි නිගමනය කළ හැකි අභයගිරි විහාර සංකීර්ණයේ ගොඩනැගිල්ලකින් 1894 වර්ෂයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේනතුව විසින් සොයාගන්නා ලද දිගින් අඩි හතරකුත් අඟල් හතරක් සහ පළලින් අඩි තුනකුත් අඟල් තුනක් ද වන ගල්පූවරුවකැ කොටා ඇති ාමම ලිපිය නිදන් සොරුන් විසින් පලුදු කෙරී ඇතැ. පහළ කොටස කොටස් හතරකට කැඩී ඇති තඅර මැද කොටස් ගිනනෙන් හානි වී ඇතැ. එම නිසා පේළි හතලිහකින් යුතු මෙම අභිගේඛනයේ අවසාන පේළි තුන, දොළොස් වැනි පෙළේ සිට විසිඅට වැනි පෙළ දක්වා කොටස්, සිත්පස්වැනි කොටස සහ සිත්හත්වැනි පේළිය ද කියවිය නො හැකැ. මෙහි මායිම අඟලක් පමණ පුළුල් වැ යොදා ඇති අතර එක් පේළියක් ද අඟලක් පමණ වන සේ ගෙන ඇතැ. එනම් එක් පේළියක් අඩි තුනකුත් අඟලක් පමණ වන සේ ගෙන ඇතැ. මෙහි ඇති විශේෂත්වයක් නම් වෙනත් කිසිදු තැනැකැ දැක්ක නො හැකි ආකාරයේ නෙළුම්මල් දෙකක සලකුණු සෙල්ලිපියේ මුදුනෙහි දෙපසැ දැක්ක හැකි වීම යැ.
මහානාම හිමියන් ගේ බුද්ධගයා ශිලාලේඛනයට සමාන දඹදිව උතුරු පෙදෙසට අයත් වන ව්‍ය.ව නවවැනි සියවසට පමණ අයත් වන්නා වූ මාගධි නාගරී අක්ෂර වෙසෙසක් මෙම ලේඛනයේ හි ලා භාවිත කැරැ ඇතැ. කෙසේ වුවත් මෙම අක්ෂර සහිත ලිපි භාරතයේ දකුණු දිගින් හමුවන තැනක් වන්නේ මේ යැ. තව ද මෙයට සමාන අක්ෂර ඇති ලිපි කීපයක් හමු වන නිසාවෙන් තත්කාලීන භික්ෂූ සමූහයා මෙම අක්ෂරමාලාව හොඳින් දැන සිටින්නට ඇතැයි සිතිය හැකැ.ස
මෙහි භාවිත භාෂාව විෂයෙහි අවදානය යොමු කරන්නේ නම් සංකීර්ණ ස්වභාවයට නො ගියා වූ සරල ව්‍යාකරණයෙන් රචිත මෙම ලිපියෙහි සන්ධි විධි පිළිබඳ වැඩි අවදානයක් දී නොමැති බව දැක්ක හැතැ. එමෙන් මැ මෙහි දක්නට ලැබෙන අක්ෂර වින්‍යාසයේ දු වෙනසක් දැක්ක හැකැ. එනම් භාරතවර්ෂයේ සෙල්ලිපි හී සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ආකාරයෙන් ‘ර්’ කාරයට පූර්වයෙන් සේ මැ පශ්චිම දු ව්‍යඤ්ජණ ද්විත්ව කිරීම යැ. එමෙන් මැ ‘රි‘ වෙනුවට ‘ඍ’ කාරයේ භාවිතය සහ වාක්‍යාවසානයේ අනුස්වාර භාවිතය දු දැක්ක හැකැ.
මෙම ලේඛනය කිරීමේ අරමුණ ලෙස පෙනී යන්නේ ‘ලහසිකා’ ‘උරුල්ගෝණුන්’ ආදී වූ විහාරාරාමයන් ගේ පරිපාලනය විෂයෙහි වූ පැනවීම් ඉදිරිපත් කිරීම බව දැක්ක හැකැ. මෙම ලේඛනයෙහි ඇති වැදගත් භාවයදු ඒ යැ. එනම් මෙයින් අපට උක්ත විරාරාමාවකාශය පිළිබඳ යම් අදහසක් ගැනීමේ හැකියාව ඇත්තේ වෙසෙසින් ආරාම පරිපාලනය කෙසේ වුයේ ද ඒ තුළ පැවති විනය සහ විධින් කුමනාකාර වූයේ ද සේ මැ ගෘහස්ථයන් සහ භික්ෂූන් අතර පැවති සම්බන්ධය කුමනාකාර ගත්තේ දැ ආදී කරුණු බිළිබඳ මෙයින් යම් අදහසක් ගැනීමේ හැකියාවක් ඇත්තේ යැ. මෙම ලිපිය හමුවන්නේ අභයගිරි පරිශ්‍රයෙන් වන්නේ එය වනාහී මහායාන ලක්ෂණයන් ගෙන් යුතු වූයේ මයාවිහාර සම්ප්‍රදායෙන් ඈත් වූයේ යැ. ඒ නයින් මෙයින් සමස්ථ ආරාම පරිපාලනය ගැන නො වැ හුදු මහායානිකයන් ගf් මෙරට පැවති ආරාම පරිපාලනය පිළිබඳ අවබෝධයක් ලැබිය හැකි වන්නේ යැ යි පැවසීමට කෙනෙකු සමර්ථවන්නේ නුමුත් මෙහි අන්ිතර්ගත කරුණු අනුව ථෙරවාදී සම්ප්‍රදායෙන් වෙනස්වන්නේ යැ යි පැවසීමට තරම් ප්‍රාමාණිත කරුණු හමු නොවන්නේ පනවා ඇති ආචාරධර්මයන් අනුව වුව දු ථෙරවාදී ලක්ෂණ මැ පෙන්නුම් කරන්නේ මෙයින් සමස්ථාරාම පරිපාලනය පිළිබඳ කරුණු උකහාගත හැකි යැ යි කිව හැකැ.
වෙසෙසින් විහාරාරාම පරිපාලනය පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් මෙහි දී අපට දැකිය හැකි කරුණ වන්නේ එම යුගයේ දී වර්ග කීපයකට බෙදා දැක්විය හැකි නීති මාලාවක් ඔස්සේ මෙම ආරාම පාලනය කෙරුණු බව යැ. එය අධයයනයේ පහසුව තකා සහ පැහැදිලි කරගැනීම් විෂයේ වෙන් වෂශයෙන් දැක්විය හැකි වන්නේ නුමුත් මේ සියල්ල එකිනෙක අත්‍යන්ත වශයෙන් බැඳී ඇති බව දු වෙසෙසින් දැක්ක හැකැ. ඕනෑම ආයතනයක් පරිපාලනය කිරිමේ දී ඍජුව මැ පරිපාලනයට අදාල වන්නා වු ක්‍රියාකාරකම් එනම් එම ආයතන සාමාජිකයන් ගේ වගකීම් පැනවීම් පවතින අතර ආයතන සාමාජිකයන් විෂයෙහි පවතින්නා වූ විනය මාලාවකින් සහ නීති මාලාවකින් යුතු වන්නේ යැ. එමෙන් මැ ආයතනයේ කාර්යයෙහි නියුතු වූවන් ගේ නොහොත් සාමාජිකයන් ගේ වෙතනයන් පිළිබඳ දු විධිමත් ක්‍රමවේදයක් පවතින්නේ යැ. මෙහි දී ආරාම පරිපාලනය පිළිබඳ කරුණු විෂයෙහි මෙම ලිපියේ ඇති වැදගත්කම විමසීමේ දී උක්ත මාතිකා යටතේ මෙම ලේඛාන්තර්ගත තොරතුරු වමසෙන්නේ යැ.
කර්තව්‍යයන්
ජේතවන සෙල්ලිපියෙහි ලා ආරාමයන් හී වාසය කරන්නා වූ භික්ෂූන් වහන්සේලා විසින් ඉටු කළ යුතු කාර්යයන් සේ මැ ආරාමයට අයත් ග්‍රාමයන් හී වාසය කරන්නා වූ ගෘහස්ථයන් විසින් ඉටු කළ යුතු කාර්යයන් පිළිබඳ දු දැක්වීම් කර ඇතැ. මෙම අභිලේඛනයේ හුදු ලහසිකා ආදි ග්‍රාමයන් හී ඇති විහාරයන් සහ එම ග්‍රාමයන් පිළිබඳ දක්වා ඇති නුමුත් මෙයින් දැක්ක හැකි වන්නේ විහාරාරාම වාසී භික්ෂූන්ට සේ මැ එම ආරාමයන්ට ගම්වර ලෙස හිමි වූ ග්‍රාමයන් ගේ ජීවත් වූ ගෘහස්තයන්ට ද නියමිත වූ කාර්යභාර්යයන් තිබු බව යැ.
“ත්‍රිභිර්භීක්ෂූභිර්ලහසිකාපර්ණශාලායාං ද්වාභ්‍යාං ශ්‍රාමණේරාභ්‍යාං සහ නිවසිද්භර්ලහසිකාම් උරුල්ගෝණුම් චීවරකර්මණේ නියුක්තාඤ්ංශ්ච ග්‍රාමාන්සම්‍යගාලෝච්‍ය තත්‍ර තත්‍ර ලාභන්තෛස්තෛ: කුටුම්භිරාධිෂ්ඨිතම්විහාරම්ප්‍රෙව්ශ්‍ය වර්ෂපරිසමාප්තෞ තත්‍ර තත්‍ර සමස්තමායාං ව්‍යයං කර්මිභි ගර්ණකෛශ්ච සංඝානුඥාතේෂු භික්ෂුපූර්වදර්ශ්‍ය පරිශුද්ධපරිවාරකෛර්හථාසුඛමත්‍ර”
උක්ත කොටසින් පැහැදිලි වන්නේ සාමණෙර දෙනමක් සමග වාසය කරන්නා වූ භික්ෂූන් විසින් නියමිත ගම් පිරික්සා ඒවායෙහි ආදායම් ඒ ඒ ගමැ පිහිටි පන්සලට ගෙන්වා ගත යුතු යැ. එයින් පැහැදිලි වන්නේ එකල ආරාමයට අයත්වැ තිබූ ග්‍රාමයන් හී ආදායම ඍජුව මැ පන්සලට ගෙන්වා ගැනීම භික්ෂූන් විසින් කළ බව යැ. මෙම ගෙන්වා ගැනීමෙන් කටයුතු අවසාන නො වන්නේ ආදායම පිළිබඳ විමසා බැලීම දු භික්ෂූන් විසින් මැ කළ බව දැක්ක හැකි වන්නේ යැ.
නුමුත් ආදායම විමසා බැලීම වනාහී ඉතාමත් විධිමත් සහ විනිවිද ස්වරූපයෙන් සිදු කෙරුණු බව දැක්ක හැකි වන්නේ යම් කලෙකැ ආදායම විමසන්නේ දැ එකලැ කම්කරුවන් සහ ගණකයන් යන සියල්ලෝ මැ සිටිය යුතු අතර එය හුදු පෞද්ගලික වැ නො වුණු අතර සංඝයා ඉදිරියේ එනම් අවශ්‍යයෙන් මැ පත්කළා වූ සංඝමණ්ඩලය දැනුම්වත් කරමින් එය සිදු කළ යුතු විය. එයින් පෙනී යන්නේ ආරාමයන් ගේ පාලනය බාර වූ සංඝමණ්ඩලයක් පැවති බව යැ. මෙහි දී ආරාමවාසී වූ සියලු දෙනා වහන්සේලා විසින් නියම කළා වූ භික්ෂුමණ්ඩලයක් අදහස් කළ බව දැක්ක හැකැ. කෙසේ වුවත් මෙහි ලා සැකයක් ඇති වීමට හෝ අක්‍රමිකතාවක් සිදුවීමට ඇති ඉඩ නැති වන ආකාරයෙන් කට යුතු කළ බව පැහැදිලි වේ. එමෙන් මැ පරිපාලනය විෂයෙහි නියුක්ත වූ සියලුදෙනා වහන්සේ විසින් පත් කළා වූ සංඝමණ්ඩලයක් ද පැවති බව පෙනී යයි.
“පඤ්චිකාස්ථවිරෛරේව පලාදායිකා නිරූපණීයා”
මෙයින් පැහැදිලි වන්නේ අයවැය වාර්ථා කරන්නා වූ උක්ත භික්ෂූන් වහන්සේ විසින් මැ යම් අධිකරණ කටයුත්තක් නොහොත් නීතිමය විසර්ජණයක අවශ්‍යතාවක් ඇති වුවහොත් එය දු විමසා කළ යුතු බව යැ. එයින් පෙනෙනුයේ අධිකරණ ක්‍රමයක් ද ආරාම ආශ්‍රයෙහි පැවතුණු බව යැ. ඍජු සඳහනක් දක්නට නො ලැබෙන මුත් මෙම යුගයේ දී අධිකරන ස්ථර හෝ ක්‍රම කීපයක් පැවති බව ට දු මෙයින් සාධක උකහාතග ශැකැ. මක්නිසා ද යත් මෙහි මැ එක් තැනැකැ යම් වරදක් කැරැ එයට නියමිත වූ යම් දණ්ඩනයෙක් වේ ද ැඑය නිමවා පැමිණියවුන් ගැනැ දැක්වෙන්නේ එය ඇතැම් විට වෙනස් අධිකරණ ක්‍රමයකින් පැනවූවක් විය හැකැ. එසේ මැ අවශ්‍යයෙන් මැ මෙම යුගයේ වන විට දු භික්ිෂූ විනය සම්බන්ධ වූ අධිකරණ ක්‍රමයක් දු පවතින්න ට ඇතැ. මෙහි දැක්වෙන අධිකරණ ක්‍රමය බොහෝ විට ආදායම සහ විහාර පරරිපාලනය සම්බන්ධ විෂයෙහි ගත්තා විය හැකැ.
“තථා ද්විතීයස්‍යාපි ජීවිතදානකාය ඒව කමාර්දිකම්ප්‍රතිනිරීන්ෂ්‍ය පඤ්චිකාපුස්තකේ අභිනිකාතස්‍ය තස්‍ය නාම තත්තත්කර්ම චාභිලිඛ්‍ය දාතව්‍යම්”
මෙහි දී පැවසෙන්නේ යම් කලැ සේවකයන් ගේ වැටුප් දෙන්නේ වේ දැ එකල් හී අයවැය සටහන් තබන්නා වූ පොතෙහි සේවකයා ගේ නමත් ඔහු ගේ කාර්යයත් සටහක් කැරැ වැටුප් දිය යුතු බව යැ. මෙය ද මුදල් පරිපාලනය විෂයෙහි අයවැය වාර්තා පැහැදිලි වැ වාර්තා කරගැනීම පිළිබඳ සටහනක් වන්නේ අර්ථ පරිපාලනය වශයෙන් ඉතා වැදගත් සඳහනක් වන්නේ යැ.
“ආරාමභ්‍යන්තරතර්මතාරකෛ: පඤ්චකෞලිකෛරේව පරිච්ඡීද්‍ය කර්ම ග්‍රහීතව්‍යම් පරිශුද්ධශ්ච තෛරේව දාතව්‍යා”
මෙහි දී ගෘහස්ථයන් විසින් කමාට අදාල කටයුත්ත තමා විසින් මැ විමසා බලා භාරගත යුතු බවත් තමා විසින් මැ එය නිමවා දැක්විය යුතු බවත් දක්වන්නේ යැ. මෙයින් ඒ ඒ පුද්ගලයාට අයත් කාර්යයේ වගකීම පැහැර නො හැකි අකාරයෙන් කාර්ය පැවරීම සහ අවසන් කිරීමෙන් පසු වාර්තා කිරීම සිදු වී ආකාරය පැහැදිලි වේ. එනම් ආරාමයන් ගේ පරිපාලනයේ දී ආරාමික කටයුතු ගිහියන් සම්බන්ධ වන්නා වූ අවස්ථාවන් හී දී නිරවුල් සහ වගකීම් සහිත ආකාරයකින් එය පරිපාලනය කර ඇති ආකාරය පැහැදිලිවේ.
මෙහි ලා වෙසෙසින් දැක්වෙන්නා වූ කාරණයක් නම් නිකාය හතරෙන් විසිපස් නම බැගින් වැසිය යුතු අතර එම සියක් නම අතරින් හතලිස් නමක් ශාස්ත්‍රීය කරයුතුවලැ නියුතු වූවෝ විය යුතු වීම යැ. එනම් මෙහි සියලු නිකායන් හී භීක්ෂූන් වසය කළ අතර ශාස්ත්‍රීය කටයුතු පිළිබඳ දු වැඩි පැහැදිලි අවධානයක් දුන් බව පැහැදිලි වේ.
සමස්තයක් ලෙස සැලකූ විට විහාරාරාම පාලනයේ දී එකිනෙකාට විධිමත් වැ පැවරූ කර්තව්‍යයන් පැවතී ඇති අතර ඒ හා බැඳුණු මණ්ඩල හෝ සභා ක්‍රමයක් ද පැවති බව දැක්ක හැකැ. පුද්ගල කලමනාකරණයේ විධිමත්ස්වභාවයක් මෙහි දී දැක්ක හැකැ. එමෙන් මැ ඒ ඒ පුද්ගලයාට සාධාරණයක් ඉටුවන ආකාරයෙන් සහ අන්‍යයන්ට අසාධාරණයක් ඉටු නො වන ආකාරයෙන් සහ ආරාමයේ පැවැත්මට කිසිදු ආකාරයක හානියක් නො වන ආකාරයෙන් ඒ ඒ කාර්ය ඒ ඒ පුද්ගලයන් අතර බෙදා දී තිබුණු අතර ඒවා විමසීමට කල්වී තිබුණු බව පැහැදිලි යැ.

වැටුප් සහ දීමනා

පෙර පරිච්ඡෙදයෙන් දැකවූවා වූ විහාරාරාම වාසී වූ භීක්ෂූන් වහන්සේලාට සහ ආරාමයට අයත් වැ පැවති නින්දගම් හී වාසිත පුද්ගලයන් විසින් සාධනය කළ යුතු කර්තව්‍යයක් යම් ආකාර වන්නේ දැ එම කර්තව්‍යයන් සාධනය කිරීමට අය වශයෙන් ඒ ඒ පිරිසට විධිමත් වූ වැටුප් ක්‍රමයක් පැවතී ඇති ආකාරය දැක්ක හැකැ. මෙහි දැක්ක හැකි වෙසෙස් මැ කරුණක් නම් ආරාමවාසී භික්ෂූන් වහන්සේලාට ද රජය මගින් වැටුපක් ලබා දී තිබීම යැ.
“ඒකෛකශ්ච ශ්‍රාමණේර: තෘණ්වපි ග්‍රාමේෂු ප්‍රත්‍යෙතම් ස්ථාප්‍ය: පාලිකා තත්‍ර ප්‍රත්‍යෙක ද්විගුණා න චීවරිකා විහාරේ වනකර්ම්මකෘතෝරපි තථා”
මෙහි දී පැවසෙන කරුණූ මගින් පෙනී යනුයේ ආරාමවාසී ශ්‍රාමණේරයන් වහන්සේලාට සහ නවකර්ම කරන්නවුන්ට ආහාර-පාන සහ චීවර පිණිස දීමනාවක් හිමිවූ බවත් යැ. මෙම ලිපියෙන් එයින් ආහාරය පිණිස හිමි වූ කොටස පමණක් දෙගුණ කළ යුතු බව දැක්වෙන්නේ යැ. පසුව නියමයක් වශයෙන් මෙහි පනවා ඇත්තේ තවත් දියයුතු දේ යැ එනම් දියයුතු සලාකයන් ගේ ඇතුළත් විය යුතු දෑ සහ ඒවායේ ප්‍රමාණයන් යැ. එය පහත පරිදි දැකවේ. එහි ලා ආහාර වර්ගයන් ඇතුළත් වැ ඇති බව දැක්ක හැකැ.
“පඤ්චෝපදශං ප්‍රස්ථාර්ධං දධි ප්‍රස්ථප්‍රමිතේන ඝෘතේන විංශති: පාලිකා”
භික්ෂූන් වහන්සේ පිණිස වැටුප එසේ වන අතර ගිහියන් පිණිස ලබා දුන් දීමනා ඉඩම් වශයෙන් ලබා දුන් බව දැක්ක හැකැ.
“තේෂාපර්ධාධිකමේකං කිරික්ෂේත්‍රම්ප්‍රත්‍යෙකං ජීවිතාර්ථං කුධාණ්‍යවාපානාය ස්ථලී චෛකා ප්‍ර්‍රත්‍යෙකන්දේයා”
මෙහි දී වඩුවන් මෙවත් ගල්වැඩ සහ ලී වැඩ කළ පිරිසට එක් අයෙකුට කිරියක් කරම් වූ කුඹුරක් සහ ගොඩ ඉඩම් හෙවත් හේන ගොවිතැන සඳහා ඉඩමක් ද දිය යුතු බව මෙහි ලා දැක්වෙන්නේ යැ. එනම් සාමාන්‍ය වඩුවෙකුට ගොඩින් සහ මඩින් ඉඩම් දෙකක් ලබා දී තිබුණු බව දැක්ක හැකැ. තත්කාලීන වැ ආදායම් ලබා ගැනීම ඉඩමින් මැ සිදුවූයේ ඉජමක් ලබා දීම මැ වටිනාකමකින් යුතු දීමනාවක් බව පැහැදිලි යැ. එපමණක් නො වැ වැඩ බලන්නා වූ සේවකයා නොහොත් කංකානම ස`චදහා දැ උක්ත දීමනාව මැ ලබා දී ඇති බව දැක්ක හැකැ.
මෙම පිලියෙහි තවත් වඩා වැදගත් දීමනාවක් පිළිබඳ දැක්ක හැකි වන්නේ යැ එනම් යම් ආරාමපාලකයෙක් තමන් ගf් කටයුතුවලැ දක්ෂ වන්නේ ද ඔහුට අමුතුවෙන් දිය යුතු දීමනාවක් නොවේ නම් එක් ආකාරයක දිරි දීමනාවක් නොහොත් ඇගයීමක් වශයෙන් දෙන්නා වූ දීමනාවක් පිළිබඳව දු දැක්වෙන්නේ යැ.
“පරිවහණස්‍යාපි අන්තර්බහිශ්ච රක්ෂාකුශලස්‍ය පදාලාං වර්ජංප්‍රත්‍යෙකං ප්‍රතිග්‍රාමං කිරිකිරික්ෂේත්‍රන්දාතව්‍යං”
මෙහි දී එක් එක් කමෙකින් කිරියක් ප්‍රමාණ වූ ඉඩමක් ආරාම පාලනයෙහි දක්ෂ වූ පාලකයාට දිය යුතු බව දක්වන්නේ අන්‍යයන්ට නො වන බව දු දැක්වේ එනම් මෙය දිරි දීමනාවක් වශයෙන් දෙනු ලබන්නක් යැ. මෙයින් පෙනී යනුයේ නූතනයට ඉතා මැ ආසන්න වූ මානවසම්පත් කලමනාකරණයක් මේ යුගයේ දු පැවතී ඇති බව යැ. ක්‍රියාවෙහි දක්ෂ සේවකයා මට දිරි දීමනා දීමෙන් ඔහුගේ සේවය වඩාත් යහපත් වන්නේ යන්න සැලකීම එකලැ දු වූ බව මෙයින් පැහැදිලි වේ.

ආචාරධර්ම මාලාව

ඕනෑම ආයතනයක් පවත්වාගෙන යෑමේ දී එම ආයතනය තුළ පවත්වාගන්නා වූ ආචාරධර්ම මාලාවක් වන්නේ යැ. එය වනාහී ආයතනයේ ඉදිරි පැවැත්මත් ගරුනාමයත් සේ මැ අරමුණ දැක්ම වැනි දේ දු ආරක්ෂා කර ගැනීමට හේතු වනනේ යැ. මෙම ලිපියෙහි ලා ආචාරධර්ම දැක්වීම යම් ආකාරයක නීතියක් දැක්වීම් වශයෙන් දක්වා ඇත්තේ යැ. එනම් මේ මේ ආකාරයේ ක්‍රියා කරන්නා වූ පිරිස් මෙහි වාසය නො කළ හැකි බව දක්වීමක් සිදු කෙරී ඇතැ. මෙම ආචාරධර්ම සංග්‍රහයට අයත් කරුණූ දාහතක් පමණ වන්නේ පහත පරිදි එය පෙළ ගැස්විය හැකැ.

  1. එක් වෙහෙරකින් දීමනා ලබන්නාට සහ එම වෙහෙරෙහි කටයුතු කරන්නාට වායස කළ නො හැකැ.
  2.  යමෙක්ට කෙත්වලින් (හෝ කුමනාකාරයක හෝ) ආදායමක් ලබන්නේ නම් ඔහුට භෝජන හෝ වස්ත්‍ර දීමනා ලැබිය නො හැකැ.
  3.  ශාසනයට අනුව නො පවතින්නා වූ අශාසනිකයාන වාසය කළ නො හැකැ.
  4. ස්ත්‍රී පෝෂකයෙකු නම් වාසය කළ නො හැකැ නුමුත් මවුපියන් පොෂණය කළ හැකැ.
  5.  ගෞරව සහ ලාබ පිණිස රජගෙට දැකුම් යවන්නා වාසය කළ නො හැකැ.
  6. අන් වෙහෙරකට උපකාර කරන්නන් වාසය කළ නො හැකැ.
  7. නිස නො මිදූවන් සමග වාසය කරන්නන්ට වාසය කළ නො හැකැ.
  8. නිස නො මිදුවා වරදක් කළ අනතේවාසිකයා ද එය නො වැලැක්වූ උපාධ්‍යායයන් ද වාසය කළ නො හැකැ.
  9.  උපසම්පදා වී උපැවදි වූවන් වාසය කළ නො හැකැ.
  10.  ගොවිතැන් සහ වෙළඳාම් කරන්නන් වාසය කළ නො හැකැ.
  11.  අන් වෙහෙරකින් නෙරපණ ලද්දන් වාසය කළ නො හැකැ.
  12. නිස නො රකින්නන් වාසය කළ නො හැකැ.
  13.  පූජා අතපසු කරන්නන් වාසය කළ නො හැකැ. සඟ කිස මග හැරුණ ද පූජා කර්ම කළ යුතු යැ.
  14.  අධර්මවාදීන් වාසය කළ නො හැකැ.
  15.  ගොදුරු ගම්වලැ නෑයන් වන්නන් වාසය කළ නො හැකැ.
  16.  පරුෂවචන, මුසාබස් කියන්නන් විසින් වාසය කල නො හැකැ.

මෙහි දී පෙනී යන දේ නම් ආරාමයන් හී නවාතැන් දීම නොහොත් වාසය කිරීමට අවස්ථාව දීමේ දී භික්ෂු විනය නිසි ආකාරයෙන් ආරක්ෂා කරන්නා වූ භික්ෂූන් පමණක් තෝරාගැනීමටත් වනය පමණක් නො වැ ධර්මය දු නිසි ආකාරයෙන් පිළිගන්නා නොවේ නම් ධර්මය යැ යි අධර්මයක් පවසන්නන් හඳුනාගැනීමටත් අවධානය යොමු කර තිබූ බව යැ.
මෙහි දැක්ක හැකි එක් විශේෂ නියමයක් වේ එනම් කුඩා මැ වූ ඉඩමකින් හෝ ආදායමක් බලන්නන් හට ආරාමයෙන් ආහාර සහ වස්ත්‍ර සඳහා වූ දීමනාවන් නො ලැබෙන බව යැ. මෙය ආයතනයක් පාලනයේ දී ගත යුතු ඉතා විවෘත්ත මනසකින් යුතු තීරණයකැ. මෙහි දී මූලික අවශ්‍යතාිව ලෙස සලකා ඇත්තේ ආගමික දිවිපෙවතක් ආගමානුකූලව එනම් විනය අනුව ධර්මය හදාරමින් සහ ආරක්ෂා කරමින් ගත කිරීම වන්නේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් රජය විසින් ලබා දීමත් ඒ අනුව ආරාම පාලනය කිරීමත් සිදු වී ඇති අතර යමෙක් ආදායමක් ලැබීමේ ක්‍රමයක් ඇති නම් ඔහුට වුව දු ආරාමයේ වාසයට ඉඩ ලැබී ඇතැ. නුමුත් අවශ්‍ය දීමනා ලැබෙන්නේ නැතැ. හුදු ආදායමක් ඉපැයීම තහනම් කරනු වෙනුවට මෙම ගෙන ඇති ක්‍රියාමාර්ගයෙන් පෙනී යන්නේ මුඛ්‍ය අරමුණ විශයෙහි ආරාම පරිපාලනයේ දී දී ඇති අවදානය සහ එය ක්‍රියාත්මක වූ විවෘත මනසී ස්වභාවය යි.
දාරකව්‍යාජයෙන් කටයුතු කරන්නන් වාසය කිරීම වාරණයෙන් අනකා ලේ වරද නො සලකා හැරීමේ අවස්ථාවත් පරම්පරානුගත වැ උරුමවන්නා වූ භුක්ති සම්ප්‍රදායක් හෝ කෙනෙකුට වැඩි සැලකිලි දැක්වීමක් හෝ යන කිසිවක් ඇති නොවීමට කටයුතු කර ඇති ආකාරය දැක්ක හැකැ.
අන් වෙහෙරකට උපකාර කරන්නන්, ස්ත්‍රීපෝෂකයන් සේ මැ ගොදුරුගම් හී නෑයන් ඇති පිරිස් වාසය කිරීම වාරණය කිරීම මගින් ආරාමයේ සම්පත් ආරාමයේ අරමුණූවලින් පරිබාහිර වූ වෙනත් අරමුණූ විෂයෙහි වැය වීම වලක්වා ගැනීමට කටයුතු කර ඇති ආකාරය දැක්ක හැකැ.
ගෞරවය හෝ ලාබ බලාපොරොත්තුවෙන් රජගෙට දැකුම් යවන්නා වූ පිරිස් වාරණය කිරීම මගින් පෙණෙනුයේ ආරාම පාලනයේ දී ආයතනික ගෞරවය සහ සමාජස්තරය තුළ ආයතනයෙහි ස්වභාවය සේ මැ ස්ථානය පිළිබඳ අවදානය යොමු කළ බව යැ.

නීති

ඕනෑම ආයතනයක් පවත්වාගෙන යෑමේ දී එයට අදාල නීති පද්ධතියක් පැවතිය යුතු අතර එයින් ආයනයේ පැවැත්ම තීරණය වේ. මෙම අභිලේඛනයෙන් ද ආරාම ආශ්‍රිත වැ පැවති නීති පද්ධතිය පිළිබඳ අදහසක් ලැබ්බ හැකි අතර එයින් පෙනී යන්නේ ආරාමික පැවැත්ම සදාචාරාත්ම සහ නෛතික පරිසරයක් තුළ බපැවති බව යැ. එමෙන් මැ මෙහි ඇති වැදගත්කම වන්නේ මෙම නීති හුදු භික්ෂූන් විෂයේ පමණක් නො වැ ආරාමයට අදාල කටයුතු කරන්නා වූ ඒ අයත් ග්‍රාමයන් හී වාසය කරන්නා වූ ගිහියන් විෂයේ දු බලපැවැත්වෙන ලෙස ඉදිරිපත් වී තිබීම යැ. මෙයින් පෙනී යනුයේ එකල දිවයිනේ ජනජීවිතයට සැලකිය යුතු බලපෑමක් ආලෝකයක් ආරාමයන් කෙරෙන් විසරණය වූබව යැ. පන්සල සමග බැඳුණු ජීවන රටාවක් තුළ ගැමියා දිවි ගෙවූ බව මෙයින් දැක්ක දැක්ක හැකැ.

  1.  යම් අයෙක් අපරිශුද්ධ නීති විරෝධි ආකාරයෙන් දිවි තෙවත් ද ඔවුහූ ගත් දේ නැවත දිය යුතු යැ.
  2.  අධික මාර්ගෝපනඛර ඇත්තා පවා සහල් ආදී වැඩි කර නො ගත යුතු යැ.
  3.  දඬුවම් විඳ නැවත පැමිණි ගිහියන්ට කෙත් ආදිය නැවත පැවරිය යුතු යැ.
  4.  ගම්වලැ සිටින්නවුන් සංඝයා සහ සේවානියුක්තයා යන්නන් විසින් රැකිය යුතු යැ.
  5.  තම තමන්ට පැවරුණු කර්තව්‍යය පිළිවෙලින් නිසියාකාරයෙන් නො කරන්නා වූ කම්කරුවන්ට ද වැරියන්ට ද දෝශ වේ නොහොත් අනතුරු හැඟවිය යුතු යැ. ඉදින් ඔවුහු වැරදි නිවැරදි නො කරගත්තෝ නම් වැටුප් නැවැත්විය යුතු යැ.
  6.  අදක්ෂ ආරාම පාලකතයාට පූර්වෝක්ත (විශේෂ) දීමනාව නො දිය යුතු යැ.
  7. දඬුවම් වශයෙන් සංඝයාට ගෙවිය යුතු මුදල් අනිනාර්යයෙන් සංඝයා විසින් භාරගත යුතු යැ.

මෙහි අවසාන නීතිය දෙස විමසීමෙන් බලා නම් එහි දී දැක්වෙනුයේ නීතිය හරියාකාරයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවදානය යොමු වී තිබුණු බව සහ එසේ නො කිරීම ද වරදක් ලෙස පිළිගැණුනු බව යැ. ආයතනයක් පරිපාලනයේ දී නීති පැනවීම සේ මැ නීතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට නීකිය ක්‍රියාත්මක කරනවුන් පෙළඹවීම ද ඉතා වටිනා පරිපාලනමය ක්‍රියාවක් වන්නේ යැ.
සමස්තයක් ලෙස සැලකූ විට පෙනී යන්නේ මෙම අභිලේඛනයෙන් දිවයිනේ අතීතයේ පැවති ආරාම පාලනය පිළිබඳ ඉතා වැදගත් කරුණු සමූහමයක් දැනගත හැකි වන බවත් එහි සැකැස්ම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි බවත් යැ.

No comments:

Post a Comment

සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

  සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය ·          පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. ·          කණ්ඩකාව්‍ය ගණයට අ...